පින්තාරු වූ යන්තර ගැන

පේරාදෙණියේ ඉංජිනේරු පීඨ කලා කවයේ කොල්ලො කෙල්ලො ටික අගේ ඇති වැඩකට මුල පුරලා තියෙනවා දැකලා මේ ටික ලියන්න හිතුනා.
පින්තාරු කළ යන්තර ! අගේ ඇති නමක්. සරල තේරුමෙන් ගත්තොත් නම් එකත් එකටම ඔය නම දාන්න ඇත්තේ ඉංජිනේරුවන්ට සම්බන්ධ කලා 
කටයුත්තක් හන්දා වෙන්න ඇති. ඒත් මට නම් හිතෙන්නේ ඒ නමේ ඊට වඩා ගැඹුරක් තියෙනවා කියලයි.


අපේ ජීවිත ගත්තත් හරියට පින්තාරු කරපු යන්තර වගේ තමයි. එහෙම පිටින් දුක් ගොඩක් මොනවාහරි මිහිරියාවකින් වහගෙන කාලය ගත කරන එක තමයි හැමෝම කරන්නේ.
කවුරුහරි එහෙම නෙවෙයි කියලා හිතනවානම්, එහෙම හිතෙන්නේ මොකක් හරි තාවකාලික මිහිරියාවකින් මොලේ හිරි වැටිලා තියෙන නිසා. ඉතින් මේ ගොරහැඩි
ජීවිත යන්තරේ පින්තාරු කරන්න දන්න තරම් දහම් ගැට දාන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. අපි කිරිසප්පයෝ කාලේ ලොකුම සැප කියලා හිතන්නේ
අම්මාගෙ තනේ සූප්පු කරන එක. ඒක ලබාගන්න ඉතින් දන්න දහම් ගැට දානවා. ඔහොම ගිහින් නාඹර වයසට ආවහම ඉතින් ගැටයන්ගේ ලොකුම වැඩේ
ගැටිස්සියන්ට ලයින් දාන එක. ගැටිස්සියන්ගේ ලොකුම වැඩේ ගැටව්ගෙන් ලයින් දම්මා ගන්න එක (මම මේ ලියන්නේ බහුතරයක්වූ අපි වගේ පෘතග්ජනයෝ ගැන,
අනෙක් බෝ පැල සමාවන සේක්වා !). ඉතින් ඔය ජරමර අස්සේ කොහොමින් කොහොමින් හරි කැම්පසුත් ආවයි කියමුකෝ. හතරවෙනි අවුරුද්ද විතර ලංවෙන කොට
ඉතින් හීන දකින්නේ කිරි ටොයියා වගේ දිවිය රතේක ඉස්සරහ සීට් එකේ දිවියාංගනාවක් වගේ ඉස්තිරියාවකුත් වාඩි කරගෙන ඉගිල්ලෙන හැටි තමයි. එක එක කාලෙට එක එක විදියට 
මේ යන්තරේ ලස්සනට පින්තාරු කරන්න අපි කන කට්ටක් හැබෑවටම. 


මටනම් හිතෙන්නේ කලාවෙනුත් කරන්නේ මේ ගොරහැඩි යන්තරේ පාට කරන එකම තමයි. හැබැයි ඉතින් නියම කලාවෙන්නම් ඒ ගොරහැඩි යන්තරේ පින්තාරු
කරන ගමන්ම ඇඟට පතට නොදැනීම ඒකෙ ගොරහැඩි බව පසක් කරලා දෙනවා. ඉංජිනේරු පීඨ කලා කවය හැමදාම ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඉදිරියටත්
එහෙමම වෙයි කියලා බොහොම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ජයවේවා !


                                                                                  ආචාර්ය ජනක විජයකුලසූරිය