2/14/2012

ටෙක්නිකල් ඉලෙක්ටිව්ස්




ටෙක්නිකල් ඉලෙක්ටිව්ස් යනු............
කෑම පිගානක් බදුය!

                      
 ස්වභාවය                                                    : හොදින් පිස ඈත.නමුත් බෙදන්නා අනුව රස වෙනස් වේ.
                                                                       බෙදූ විගස කෑම, දිරවීම පහසු කරයි.කෑමට කල් ගත වීමෙන් දිරවීම අපහසු වේ.

අනුභවය සදහා නීතී රීතී                                : 1) ගත්තොත් අනිවාර්යෙන් කෑ යුතුය
                                                                      2)පිලිවෙලට නොකෑවොත් අනාගෑනීමට සිදු වේ.
                                                                      3)අනාගතහොත් 1ට 2ක් කෑමට සිදුවේ.

සෙමෙස්ටරේ පලමු දවස                               : මීට වඩා රස කෑමක් නෑ.!
සෙමෙස්ටරේ සති 2 කින්                               : අද එපා!
සෙමෙස්ටරේ මෑද                                         :  වෙන කෑම 1ක් ගන්නයි තිබුනෙ.!
සෙමෙස්ටරේ අග                                          : බඩගින්නෙ හිටියත් ආයේ කෑම එපා. !
සෙමෙස්ටරේ ආරම්භයෙන් සති 16 කින්....      :   රසක් තිබූ බව දෑනේ.
                                                                       කල් ඉකුත් වී ඈත.

          ~Shakya~

2/12/2012

සෙමෙස්ටර් අලියා



කලකට පෙර "කලා කව පුවරුවෙන්" පෙන්වා දුන් ,තවමත් කාටවත් නොතේරෙන "අලියාය".
කාගේ නිර්මාණයක්දැයි නොදනිමු.තතු දත්තෝ පහදත්වා!
(ඡායාරූපයේ තිබෙන අපැහැදිලි  වචන අලුතින් එකතු කරන ලදී )

2/10/2012

~සුරංගනා ලෝකය~




"ඒකෝමත් එක රටක"
හැමදේම සිදුවිය...
කුමාරයෙක්..
කුමාරියක්..'
රස වැඩිවෙන්න..,
"දුෂ්ඨයෙකුත්"
මකරුන් සමග
කතාකරන
සත්වයින්
ඒවිතරක් නොවෙයි !
පණ තියෙන
ගස් ගල්
පටන් ගන්න කොට
"කුතුහලය"
මැද්දෙදි
"දුක කදුලු සමග භය! "
ඒත් අවසානෙදී......
"කුමාරයයි කුමාරියයි සතුටින් ජීවත් වෙයි !"
කිරි සප්පයින් හඩයි !
ළදරුවන් කට අයන් අසයි !
ඒත් වැඩිහිටියන්...?
සැබෑ ලොව තුල...
"එකොමත් එක රට "සොයයි....

දළබුවා‘9

1/12/2012

මට අහිමි ඇය

දිගන්තයේ
පෙම් සිසිල දැනෙන
මා එන්නම් එන තුරු එය
පෙර මග බලාන
පමා වැඩි උනත් මම
හිතට දැනෙන දුක අමතක කර
ඔබත් මමත් එකට සිටින
සිහින දකිමි තාමත් මම
කදුලු කවි කතා ලියන්න
මගෙ පන්හිද තවත් පණ පොවනු එපා


ගැටයා8









1/06/2012

ඉංජිනීරිං?හැහ් හැහ්!!! ඕක මකන කෝස් එකක්නෙ බං!


ගත්ත සුදු කොළයක්
ඇන්ද ඉරි තුන හතරක්
අංශක තිහ නම් අයිසො
අනූවනම් ඕතො
නානාවිධ රවුම් කොටු කතිර
හමාරය පැය තුනම
අහෝ පාපයකි !
මගේ දයාබර මකනය
කේන්ති නොගෙන මකපන් ඉතින්
මේ පළමු නිවැරදි කිරීමය
මතක් වුනා අර කාලේ....
"මොකකද උඹේ කෝස් එක?"
"ඉංජිනීරිං"
පුහ් හැහ් හැහ්!!!
ඕක මකන කෝස් එකක්නෙ බං!
















(From notice board)

12/20/2011

කියමි කෙසේ..??

උතුරු අහසේ තරුව විලසේ
සඳුට රහසේ දිලෙන්නම්

සොඳුරු පවසේ සුලග විලසේ
ලොවට රහසේ සරන්නම්

සොඳුරු දවසේ මතක විලසේ
හිතක රහසේ රැඳෙන්නම්

ඔබට රිසිසේ කියනු කෙලෙසේ
තනිව මෙලෙසේ හිදින්නම්

12/15/2011

වෙන් ලවු මේකිං



මුහුන පුරා දැලි රැවුලක්      ආවා
නාඹර විය මට ඉඟි බිඟි      පෑවා
මලවර විය දුටු කෙල්ලන්   ගාවා
අමුතුම පෙම් මල් සුවඳක්    ආවා

කෙල්ලන් පස්සේ මම ලුහු      බඳිමී
ඇය එන තුරා මහ මඟ පැල්    රකිමි
ඇයට ඇහෙන්නට බොරුවට කහිමි
තව එක සිගරට් උගුරක්           අදිමි

ඔබ මගෙ පෙම් කඳ ,රන් කඳ ,පොල් කඳ
මාසේ පෝයට පායන                පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින්          ඉඳ
නාලයි ආවේ දැන් නැහැ             ගස් ගඳ

තණ කොළ බිස්සේ-ලිය ගොමු   අස්සේ
පතෝල මැස්සේ -ඉඳලයි          බැස්සේ
තෙමි තෙමි වැස්සේ-පෙම් කළ   රිස්සේ
නිකන්ම ගැස්සේ -බැන්දට          පස්සේ

පෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
සිනමා හලකට රිංගමු       ජොලියේ
හිටියත් පැය ගනනක්  බැල්කනියේ
නමවත් නොදනිමි     චිත්තරපටියේ

කට්ලට් ,ඔම්ලට් ,ෂර්බට්         මස්කට්
දෙන්නද ඩාලිං කැඩ්බරි       චොක්ලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ     බිස්කට්

එනු මගෙ සුන්දර සූකිරි     බෝලේ
අපි දෙන්නට දැන් සිකුරගෙ කාලේ
දාගත්තට පසු පොල්කටු       මාලේ
ගයමු-රඟමු අපි ගහමින්     ඩෝලේ

කවදද සුදු ඔබ අයෙ මෙහෙ   එන්නේ
කෙලෙසද ඔබ නැති කළ මම ඉන්නේ
බඳිමුද ඇහුවම ඇයි නිල්      වෙන්නේ
කුමටද මඟුලට කම්මැලි         වන්නේ

අහසේ රන්තරු ගලවා     දෙන්නම්
මුහුඳේ මිනි මුතු අරගෙන දෙන්නම්
සසර වසන තුරු ඔබම    පතන්නම්
බඳිමුද ඇහුවොත් පැනල දුවන්නම්

දැක්කම විංකිං -නැතුවට         කිංකිං
පෙම් සයුරේ අපි යටටම          සිංකිං
වෙන් ලවු මේකිං -නෝ මෝ ජෝකිං
විල් යූ මැරි මී? අයෙ බණ     ටෝකිං

මේ අයි කිස් යූ?විල් යූ නොට් ගිවු?
ඩූ නොට් සේ දැට් යූ ඩූ නොට් ලවු
ඉෆ් යූ සේ සෝ අයි ෂැල් ඩයි නවු
ඕ මයි ඩාලිං,හවු කැන් අයි     ලවු

කාලෙකට පෙර කලා කව දැන්වීම් පුවරුවේ දමා තිබුණු රසවත් පද පේළි කිහිපයකි.රචකයා ගැන සඳහනක් නැත.පහළින් මෙවැනි සටහනක් පමණක් ඇත.
උපුටා ගෙන ඉදිරිපත් කළේ E/00/නිරාෂ

12/03/2011

~ පාර ~ (හදන ඇත්තෝ සහ යන ඇත්තෝ )


ගලා එන මඳ අඳුර පසාරු කරගෙන මෝටර් රථය ඉදිරියටම ඇදී යයි.නිවසට ළඟා වීමට තව වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවනු ඇත.
"හ්ම්..හෝම් ස්වීට් හෝම්..."
මම සුසුමක් හෙළීමි.අලුත්ම අලුත් ටොයෝටා යාරිස් රථය දුටු විට අපර්ණාගේ මුහුණෙන් මතුවන ප්‍රහර්ශය,ඒ සිනහව රිසිසේ විඳ ගැනීමට මම නොඉවසිලිමත් වීමි.වැඩිපඩි රැකියාව,විවාහය,අලුත් නිවස ,දැන් අලුත්ම කාරයක්! මිනිසෙකුට සැනසිල්ලේ ජීවත්වීමට අවැසි සියළු දේ මා සතුය.මම උදම් ඇනීමි.  
Life is beautiful!!.
කුඩා කළ කිසිසේත්ම විශ්වාස නොකළ නමුත් දැන් තරයේ අදහන "ධර්මය" සිහිවිය."සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ"
මුවඟට නැඟුනු සිනහව වැළක්වීමට උත්සහ නොකර සුක්කානමට ඇඟිලි තුඩු වලින් තාලයට තට්ටු කරමින් මම රථය වේගවත් කිරීමට යුහුසුළු වීමි. නමුත් ඒ සඳහා ඉඩක් නොවීය
"ෂෙහ්...රට කොච්චර දියුණු උනත් ,අපි කොච්චර දියුණු උනත් මේ කෙහෙල්මල් පාර නම්!!!"
සඳේ ආවාට මෙන් පෙනුනු ලොකු වලවල්වලට වැටෙමින් ඉදිරියට ඇදෙන කාරය දරුණු ලෙස වෙවුලන්නට විය.හිතට නැඟුනු ආවේගය ,සුක්කානමට පහරක් ගසමින් පිට කළෙමි.හැකි තාක් වලවල් බේරමින් සෙමෙන් සෙමෙන් ධාවනය කළෙමි.තව ටික වේලාවකින් රාවණාවත්ත හන්දියට  පැමිණෙන වගත් එතැන් පටන් පාර හොඳ බවත් සිහිවීම පමණක් හිතට සැනසිල්ලක් ළං කළේය.
"කම්කරුවන් පාරේ වැඩ" යනුවෙන් ලියා තිබුණු දැන්වීම් පුවරුවක් පාර අයිනේ ගසක එල්ලා තිබිණ.
"අහා පාර හදනවා එහෙනම් .හප්පච්චියේ ලොකු දෙයක්" මම මටම කියාගත්තෙමි.පාර සෑදීම ආරම්භ කර ඇත්තේ රාවණාවත්ත හන්දියේ සිට විය යුතුය.කොහෙන් පටන් ගත්තත් කොහෙන් ඉවර කළත් ,මින් පස්සේවත් සැනසිල්ලේ ගෙදර යා හැකිය.
දැන් හන්දිය පේන තෙක් මානයේය.සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමින් තිබුණ කාරය එක්වරම නතරකිරීමට සිදුවූයේ  අතක් ඔසවාගෙන ඉදිරියට පැන්න වයසක මනුස්සයෙක් නිසාවෙනි.මට නැවතී සිටින ලෙසට ඔහු හස්ත සංඥාවෙන් පැවසුවේය.පාරේ ඉතිරි කොටස හදන බවක් පෙනුනද පෙරකී මනුස්සයා හැරුණු කොට වෙනත් කිසිවෙකුත් දක්නට නොවීය.විනාඩියක් දෙකක් නොව විනාඩි පහක්ම ගතවිය.ඉවසීමේ සීමාව පනින්නට පෙරම මම එළියට බැස්සෙමි.මාර්ගය අවහිර කරගෙන උන් මිනිසා දෙසට ගියෙමි.
"මොකද මෙතන වෙන්නෙ?"
"පාර හදනවා මහත්තයෝ"ඔහු බුලත් කහටින් සැරසී තුබුණු දත් ඇඳි දෙකම පෙන්වා සිනාසිණි.
"හරි හරි මම ඒක දන්නවා..මම අහන්නේ දැන් මොකෝ මේ කරන්නේ ..වාහන නතර කරගෙන"
වාහනයයි බහුවචනයෙන් කීවද සිටියේ මා පමණකි.තව හවුරුහරිවත් සිටියානම්.
"පාරේ මේ ටික හදල ඉවර කරන්න තමා මහත්තයෝ හිටියේ.ඒ අස්සේ අපේ කොල්ලෙක්ට පොඩි කරදරයක් උනා..හොඳටම තුවාලයි..ඉස්පිරිතාලෙට ගෙනිච්චා...අර බලන්න මහත්තයා පාර පුරාම ලේ"
මට ඒ දෙස බැලීමට වුවමනාවක් නොවීය.
"ඒ කියන්නේ අද මේ පාර හැදෙන්නෙ නැද්ද?"
"ඉස්පිරිතාලෙ ගිය කට්ටිය  ඉක්මනට ඇවිත් හදාවි මහත්තයෝ...ඒගොල්ල මඟ එනවලු .වැඩි වෙලා යන එකක් නෑ."
"ඒගොල්ලෝ එනකල් මට මෙතන බලාගෙන ඉන්න ඕනෙද..හා හා කමක් නෑ..මනුස්සයෙක්ට කරදරයක් වෙලානෙ ."
"ඔව් මහත්තයෝ..අහිංසක කොල්ලෙක්..මං ඌට කිවුවා ආපු දවසෙම උඹට මේවා ගැළපෙන්නෙ නෑ කියල...සෝමාරි කමට හැදිච්චි එකෙක්...හොඳට ඉගෙනගෙන තියෙනව මහිතෙ,විස්ස විද්යාලෙට ළකුණු කොච්චරක්ද මදි වෙලා........."
"හ්ම්......කැම්පස් එකකටවත් ගියානම් මොකක් හරි එකක් කරගන්න තිබ්බ "
"ඒක තමා අපිටනම් කමක් නෑ ඉතින්...මාත් අවුරුදු විස්සේ ඉඳන්ම මේ පාරවල් වල වැඩ තමා කරේ....මටනම් පුරුදුයි..මේව්වා ලේසි වගේ පෙනුනට පුදුම දුකක් මහත්තයෝ..අවුවෙ කර වෙවී..දාඩිය පෙරාගෙන....ඒත් ඉතින් ඒ පාරේ මිනිස්සු ..වාහන සන්තෝසෙන් යනව දකිනකොට අපිටත් ආඩම්බරයි...මොකෝ අපි යන එකක්යැ වාහනවල...."ඔහු කොක් හඬ ලා සිනාසෙන්නට විය.
මමද මදහසක් නැඟීමි.කෙසේ නමුත්  මට එවේලේ අවශ්‍ය වූයේ එතැනින් පිටවීම පමණි.දවස පුරාම වැඩ කිරීමෙන් මමත් පාරවල් හදන මනුස්සයාට වඩා වෙහෙස වී සිටියෙමි.ගෙදරට වී මා එනතුරු බලා සිටින අපර්ණාගේ මුහුණ සිහිවිය.
."ශෙහ් අද කොච්චර ලස්සන දවසක් වෙන්නට තිබුණාද?"
ඇයට කතා කළ යුතුය.මම දුරකතන ඇමතුමක් ගෙන කාරය තුළට ගොස් හිඳගත්තෙමි.කතාවෙන් කතාවෙන් බොහෝ වෙලා ගතවිය..ඒ අතරතුරේ රෝහලට ගොස් සිට පැමිණි කම්කරුවෝ නැවත වැඩ කරනු දුටුවෙමි.ඇමතුම නිමා වූ පසු දැවැන්ත වෙහෙසකින් ශරීරයම පෙළෙන්නට විය.මටත් නොදැනීම මගේ නෙත් පියවිණි ඇත.මට කාර තුළම නින්ද ගොස් ඇත. කොපමණ වේලාවක් ගත වෙන්නට ඇත්දැයි නොදනිමි. එක්වරම කන ළඟින්ම ඇසුණු ශබ්දයකින් මම තිගැස්සී අවදි වීමි.අර මනුස්සයාගේ මුහුණ කාරයේ ජනෙල් වීදුරුව තුළින් දිස්විය.බුලත් කහටින් වැසුණු දත් දෙපල තිගැස්සි අවදි වුණු මට තවත් තිගැස්මක් ඇති කළේය.මම වීදුරුව පහත් කළෙමි.ඔහු කතා කළේය.
"මහත්තයා පාරනම් හදල ඉවරයි..දැන් මහත්තයට පුලුවන් හැටට හැටේ යන්න.."

ගැටයා


11/30/2011

පුංචි කතාවක්.... හිතලා බලන්න.....

ඉතිං කොහොමද? කාලෙකට පස්සේ කොටන්ඩ ගත්තේ කවි කියන්ඩ නම් නෙවේ. පොඩි සිද්දියක් මතක් උනා. ඒක කියල යන්ඩ ආවේ.කැම්පස් කාලේ හරි සුන්දරයි නේද? කරපු විකාර වැඩ කොච්චර තියනවද? වැඩි හරියක් කරේ ඒවා තමා. අතරින් පතර වැඩකට ඇති වැඩත් කරා. මගේ කැම්පස් කාලේ මතක් කරද්දි ඉස්සරහටම එන එකක් තමා ඉංජිනේරු පීඨ කලා කවේ කියන්නෙ. දැන් ඉතිං නත්තල් කාලෙත් ලඟ එනවනේ. අපි ගිය අවුරුද්දේ නත්තලට පොඩි වැඩක් කරා. අපි කියන්නේ ඔය කලා කවේ කොල්ලො කෙල්ලො ටිකයි අපේ වැඩට උදව් කරන ෆැකල්ටියෙ උන් ටිකයි, අපේ ජනක සරුයි. මුලින්ම අපේ අදහස තිබුනේ කවදාවත් කරලා තිබුනේ නැති හින්දා කැරොල් එකක් කරලා බලන්ඩ. අපි එකතු වෙලා ප්‍රැක්ටිස් කරගන යනකොට හිතුනා ඊට වඩා හරවත් දෙයක් කරන්ඩ කියලා.
ඉතින් අපි ලෑස්ති උනා නත්තල් උත්සවේ නියම සතුට සමරන්නත් එක්ක කට්ටිය එකතු වෙලා ලමා නිවාසෙකට ගිහින් එහෙ ඉන්න අහිංසක ලමයි ටිකක් එක්ක ඒ සතුට බෙදාගන්න. අපි සින්දු ටිකක්කුත් ලෑස්ති කරගන පුලු පුලුවන් විදියට තෑගි ටිකකුත් හදාගන නුවර ලමා නිවාසෙකට ගියා.
එතෙන්ට ගියාට පස්සෙයි අපිට තේරුනේ අපි කරේ කොච්චර ලොකු දෙයක්ද කියන එක. ඒ පොඩි උන්ගේ මූනේ ඇඳිච්ච අහින්සක හිනාව දැක්කම, ලැජ්ජාවෙන් වගේ ඉස්සරහට ඇවිත් පොඩි සින්දුවක් කිව්වම.... ඒ නත්තලේ අපිට හම්බුනු ලොකුම තෑග්ග තමයි ඒ හිනාව. අපිට පොඩි උන්ට ලොකු දෙයක් දෙන්ඩ බැරි උනා. ඒත් ඒ පොඩි උන් අපෙන් ලොකු දෙයක් බලාපොරොත්තු උනෙත් නෑ. අපිත් එක්ක එකතු වෙලා විහිලුවක් කරලා හිනා වෙද්දි, අත්පුඩි ගගහා පොඩි සින්දුවක් කියද්දි, ඒ ලමයින්ගේ ඇස් වලින් පෙනුන හම්බුනු සතුට කොච්චරක්ද කියලා.

































මං හිතන්නේ ඒක තමයි අපෙන් ඇත්තටම වෙන්ඩ ඕනා. අපි මිනිස්සු විදියට තවත් මිනිහෙක්ගේ දුක අඳුරගන තව කාගේ හරි හිතකට සතුට ගෙනත් දෙන්ඩ ඕන. ඒක තමයි අපිට කරන්ඩ පුලුවන් ලොකුම පින. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ අපි පුහු දේවල් වලට කොයි තරම් සල්ලි, කාලය නාස්ති කරනවද කියලා. මං පිලිගන්නවා මං ඕනා තරම් එහෙම කරලා තියනව කියල. ඒත් බස් එකට අසරන මනුස්සයෙක් නැග්ගොත් රුපියල් දහයක් දෙන එක අපිට ගොඩක් අමාරු දෙයක්. අපි කැම්පස් එකෙන් යන්ඩ කාමර අස් කරද්දි අරක්කු බෝතල් කොච්චර ඕව ඇතුලේ තිබුනද? ඒ වගේ වෙලාවකට සල්ලි නාස්ති කරන එක අපිට ප්‍රශ්නයක් නෙමේ.
බලාගන යද්දි වෙලාවකට අපි ජීවිත යන්තරේ පාට කරන්ඩ අර ගන්නේ පුහු දේවල්. ඒ දේවල් වැඩකට නෑ කියලා තේරෙන්නේ කාලයක් ගියාම.
මං හිතනවා කලා කවේ මේ අවුරුද්දෙත් ඒ වගේ දෙයක් කරයි කියලා. එහෙම කරොත් ඒ අය විතරක් නෙමෙයි, මිනිස්සු ගැන හිතන්ඩ පුරුදුවෙලා ඉන්න මේ බ්ලොග් එක කියවන අයත් සහයෝගයක් දෙයි කියලා. ඇත්තටම අපි මොනා හම්බ කරත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ හිතේ සතුටයි සැනසීමයි විතරයි නේද?

11/27/2011

පිපීයන් එකම එක මලක්වත්....


නොනිමි දිගු මාවතක
මැකී ගොස් වැතිර ඇති
සියත් සිය දස දහස්
මේ මගේ පා ලකුණු....

සිනහවක් සැඟව ගොස්
මතකයන් ඉතිරි කර
පියනගමු අනන්තෙට
සුවඳ මතකය කැටුව....

පාට ඉටි මල් ගොඩක්
නූවාට කමක් නෑ
මඟ කොනක පිපීයන්
එකම එක මලක්වත්....

ගිනිකූරි 7

හන්තාන රතු එළිය



හන්තානෙ කඳු මුදුනින්-සම්ප්‍රේෂණ කණු තුඩගින්
ගණ මීදුම් සළු ඉරා නැඟී විත්
කාල මැදියමේ සඳ නැති දා
දෑස කෙවෙනි තුළ වැදෙනා
රක්ත වර්ණ ගිණි පුළිඟු නගන එළි
හදවත පතුළට වැද සැඟවී
දහසක් සිතුවිලි මුදා හරියි
සසල හදට කොඳුරා


ලෙයින් පෙඟී කඳුලින් නැහැවී ගිය
සරසවි නිම්නය පරාවර්තනය වී දෝ
ඒ එළි නැංවෙන්නෙ....

තෙරක තිරක් නැති අනාගතය දැක
කණ නෙත් අභිමුව අනතුරු අඟවාදෝ
ඒ එළි කැරකෙන්නෙ....

බොඳවී යන වස්සාන යාමයට
පර මැයි මල් ලෙස ඔච්චම් පාලා දෝ
ඒ එළි හිනැහෙන්නෙ....

සබඳ එළිය නුඹ
පායාපන් සඳ නැති හැම රෑකම
මිලාන තරු එළිය පරදාලා..
තද රතු පැහැයෙන් දිස්න දිදී
දහසක් තීව්‍ර හැඟුම් දිදී

M.P පරාක්‍රම

11/17/2011

අම්මාගේ ආ(ලෝකේ)....


අකිකරු දැල්ලක්ව,
විටින් විට එළිය දුන්,
ගෙදර තිබු කුප්පි ලාම්පුව,
සොරු අරං ගියා නොව...

ඉනික්බිති...,

ගෙදර තිබු මිණි පහණ,
නැති උනයි සෝ දුකින්,
වැළපෙනවා හැමදාම,
අම්මා එළියක් සොයා....

කළක් ගත වු කළි,
දැල්වෙමින් බැබළෙනා,
මිණි පහණකුත් අරං,
අයියා ගෙට ගොඩ උනා...

ටික දොහක් ගිය කල්හි...,

හෑම විටම බැබළුනත්,
නිවෙන්නට වෙර දරන,
ඉටි පහන වගෙ යැයි,
අම්මගෙන් අවලාද...


ඉනෝෂා

11/16/2011

ඔබේ ස්වරයයි..ඔබ මගේමැයි!!

අපි කැමතියි මේ නිර්මාණයේ  අයිතිකාරයා කවුද කියල දැනගන්න ..අය්යෙ ඔයා අපෙ බ්ලොග් එක දැක්කොත් පොඩ්ඩක් අපිට කියන්න ඔයා කවුද කියල ..

11/08/2011

අම්මාට දුර ඇමතුමක්


වෙනදාට වඩා මට 
අද අම්මා සිහි උනා 
ඔව්‍ ඕව් මම හොදින් 
බොරු නෙවේ ඇත්තමයි 


හරිම සතුටෙන් ඉන්නෙ
යාළුවො වටෙමනෙ 
මොකට බොරු කියනවද 
හොදයි මම තියන්නම්


--------------------------
--------------------------


හඩ නගා හැඩු මුත් 
නෑසු කන් ඇති ලොවක 
මගෙ එක ස්වරයක් 
වෙනස් උනොතින් ඒක
අම්මේ නුබ දැනගන්නෙ 
කොහොමදැයි මට පුදුම 


තව දවස් කීයක්ද 
සෙනසුරාදා වෙන්ට 
ලගින් ඉද නුබේ අතින් 
බත් කටක් මට කන්ට 


Shakya

ගංගාවක කතාව........

එකෝමත් එක දවසක් රූස්ස ගස් පෙළක් පාමුලින්
පුංචිම පුංචි උල්පතක් පටන් ගත්තා.
ඒ ගස්වල හෙවණින්, ආදරෙන් පෝශණය වුනු පුංචි වතුර පාරක්
හිමීට පහලට ගලන්ඩ පටන් ගත්තා.
වෙලාවක රලු ගල්වල හැපෙමින් පෙණ බුබුළු දාගන,
තවත් වෙලාවක බොහොම සන්සුන්ව මේ දොළ පාර ඇදුනා.

දවසක ඔය වගේ දොළ පාරවල් ගොඩක් එක තැනකදි හම්බුනා.
මහා ලොකු ශක්තියකින් ආවේගමත් වුනු තරුණ ගංගාව
බොහොම උජාරුවෙන් ඇදී ගියා.
වෙලාවක ගල්මුල් වලින් හැදුනු බාදක ශක්තියෙන් ඉවත් කරගන.
ඔය අතරමගදි බොහොම ලස්සන දියඇලිත් හැදුනා.
දවසක් ආවා. ආයෙමත් පොඩි ගංගා ගොඩකට බෙදුනා.

අමුතු රටකට ඇතුල්වුනු ගංගාව තනි උනා.
ටිකක් ඈතින් සමාන්තරව තවත් වතුර ගලාගන යනවා.
හැබැයි එකතු උනේ නෑ.
පුලුවන් තරම් වේගෙන් ඉදිරියට යන්ඩ හදනවා.
ගඟේ වතුර පාර වැඩී, ඒත් ලස්සනක් නෑ.
එදා වගේ පෙණ බුබුළු දාගන, දියඇලි හදාගන ගියකාලෙ මතකයක් විතරක් වෙලා.
තනිවෙච්චි ගංගාවට පහුකරගන යන මිටියාවත් දිහා බලන්ඩවත් වෙලාවක් නෑ.
මොනා කරන්නද කියලා හිතාගන්ඩ බෑ.
මෙහෙම ගිහින් මුහුදට වැටෙයිද? එතනින් එහාට????????

ප්‍රශ්නාර්ථයක් විතරක් ඉතුරු වෙලා......


11/07/2011

අප නුබෙන් අසන්නේ???

ජීවිතයෙන්
තුනෙන් එකක්
පොත් සමග ගතකල
පවටද?
සතුට ප්‍රීතිය
ඈත් කර
නියම ගැටලු ලංකරගත්
පවටද?
විඩාබර නෙත්
නිදි නොකර
පොත් සමග රැය පහන් කල
පවටද?
දෙනෝදාහක් පිස්සුකෙලිද්දී
නිදහස් අධ්‍යාපනයේ
නියම ඵල නෙලාගත්
පවටද?
ලක් වැසියනේ
සලකන්නේ
මෙලෙස අපට

දළබුවා‘9

11/05/2011

~~මුලාව~~

සරා සදම සිහින හොරෙන් හොරකම් කරගෙන   
මගේ ලගම තිබුන හිතෙත් කොටසක් අරගෙන
උදාගිරින් සිහින කැටුව අරුනලු අරගෙන
එනවා වගේ දුටුවේ එය බැස යන අන්දම


               සම්පත් ඇතුගල 

10/25/2011

ජීවිතේ ගැන කෙටියෙන්ම.......


ලස්සනම සිහින,
සුන්දරම බලාපොරොත්තු,
සතුට,
විතරක්ම පුරවපු
සංතෘප්ත අනාගතයෙන්.....

එක එක අරගෙන
බර වැඩ් කෑලි කපල අයින් කරලා
අන්තිමේට,
පුලුවන් විදිහකට අටවගෙන
වර්තමානය නම්වූ ඒදන්ඩ දිගේ.........

කොච්චර සතුටු දායක වූවත්,
කොච්චර දුක් දායක වූවත්,
ආයෙත් කවදාවත් කොහොමටවත් නොලැබෙන
අතීතයට යන ගමන.........


බට්ටා_(06)