7/15/2012

~මාවතේ ජීවිත 2~ වාසනා කූඩුව

මාවතේ ජීවිත 1


ජීවිතයෙ වාසනාව
ඇණ ගසාල ලෑල්ලකට
ලොකයාට වාසනාව
බෙදාදෙන්න සැරසෙන නුඹ......

බිහිකරනා ලක්ෂ කෝටි මිලියනපති
පසුකර යයි නුඹ යන මග
හෙටත් නුඹය බෙදාදෙනුයෙ
වාසනාව මග අද්දර..............

හිරු සැඟවෙන හොරාවක
අහස පොලව ගැට ගහන්න
බලා උන්නු නුඹෙ දෙනෙතෙ
පිරී තිබුනෙ සෙනෙහස දරු මුනුපුරු ..............

ඔටුවා 8



7/08/2012

මාවතේ ජීවිත 1


මැදුරු දොරකඩ වියලි සුලඟට වියරුවෙන්
සිනාසෙන නුඹ
තනිකමට ලොව මදුරු මැසි කැල සෙනෙහසින්
සනසනා නුඹ
සඳෑ සිරුරට වැදු දරු පෙම මාවතේ අද
මිලින වු නුඹ
නොපෙනුනෙ කිම කවුලුවට රිය සඟවනා
බිඳු කඳුලු නුඹ..................!



ඔටුවා (තෙවන වසර )

7/06/2012

මගේ හිත























මට ලැබුන
මම අකමැති
තනිකම


මට අහිමි වෙන
මම කැමති
ආදරේ


මම විඳින
මම විඳවන
තේරුම් ගන්න බැරි
ජීවිතේ

හිතෙන දේ නොකියවෙන
තේරුමක් නැති
වචන

                 මේ
                      මම...

ඩොලී 10


6/26/2012

වැඩබිම වෙස්සන්තරලා………


කාෂ්ඨක ගිනි අව්වේ
අකුණු හෙන මහ වැස්සේ
රුදුරු ගිනි දැල් අස්සේ
විඩාපත් නුඹ උන්නෙ....

ගිනි අව්ව නුඹේ දහදිය කඳුලු වියැළුවා
මහ වැස්ස නුඹෙ පැතුම් පොදි කඩා දිය කලා
ගිනි පුපුරු වලින් නුඹෙ මුලු දිවිය අලු වෙලා
දිවි බරින් බැඳි යදම් නුඹ මෙබිම සිර කලා

ලේ කඳුලු දහ දියද හෙලා නුඹ වෙහෙසුනා
නුඹේ හෙට දවස ඉන් යන්තමින් සරි වුනා
නුඹ පවා නොම දැනම ලේ කඳුලු වැපිරිලා
මගේ කෙත පුරා සරු සාර ඵල පීදිලා

නුඹේ පොඩි අතු පැලේ අග හිඟ බොහෝ මුත්
සිඳීගිය හිස් කුසින් පොඩි එවුන් හඬනමුත්
වැහැරි ගිය ශරීරේ වේදනා බොහෝ මුත්
නුඹ කොහොම දන් දුන්නෙ
නුඹට හිමි සියලු දේ අනෙකෙකුට
වෙස්සන්තරව වැඩබිමේ.....

                                                                බට්ටා (06)

6/25/2012

පිරිසක්

උගුර ලේ රහයි...
බැනේ එත් නවත්තන්න...
කොහොම කෑ ගහන්නද...
තව කට්ටිය ඉන්නවනේ...
හෙවන හරියක් බලමු...
අපි මෙන්න මෙහෙන් ඉමු...
අපේ අය අර හරියෙ...
එත් එහෙ අව්වයිනේ...
දැන් එකට කාලයිනේ...
යමුද අපහු ඉතින්...
කට්ටියට කියන්නකෝ...
අපි යනවා...
හා හොඳයි...
අරුං එන්නැද්ද දැන්...
නැතුව ඇති මගේ හිතේ...
ඇතටත් හරි සද්දේ...
ඉක්මනට ඉක්මනට...
අඩිය ඉක්මන් කරමු...
වැඩේ ඉවරයි වගේ...
හ්ම්ම්ම් ...
ජය වේවා... ජය වේවා... ජය වේවා...!!!

වටුවා 10

6/22/2012

ඩිජිටල් ප්‍රින්ටින්

ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක්‌ දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය.
නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය.
''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?''
''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න''
පිළිතුරක් නැත.
ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය .
''අ''
කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!.
ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය.
කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?''මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.
''හිතන තරං ඉක්මනටනම් අමාරුයි මහත්තයෝ ..මොකෝ හීන් සීරුවේ කරන්න එපෑ.වැරදුනොත් මකන්න කියලය ?''
''ඔව් නේන්නම්  ''හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.
''නි''
තවත් අකුරක් හමාරය.අකුරෙන් අකුර වචනයක් ,වචන ගොඩකින් වාක්‍යයක් !!
මම ඔහු සිටි කුටියෙන් එළියට අඩි කිහිපයක් ඇවිද ගියෙමි.කලින් විසිකළ සිගරැට් කොටය ඇස ගැටිණ.දැන් එය සිදුවී හමාරය .පසුතැවීම නොහොබී.
එක් වරක් පාර දෙසද බැලුවෙමි .බසය දැන්ම එන පාටක්නම් නැත. 
කාන්සියට ඇස් එහෙ මෙහෙ හරවද්දී, ලණු වල ආධාරයෙන් පාර හරහා එල්ලා තිබුණු දැවැන්ත බැනරයක් දුටිමි.
''අනිච්චාවත සංඛාරා''
අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
දන්නා කියන කෙනෙක් නොවේ.
''ගමට ඇවිල්ලත් මාසයයි.කොහොමද හැම මිනිහම දැනගන්නේ ''මම මටම සිනාසුනෙමි.
ඒහාත් සමගම සිනාසිය හැකි තවත් කාරණයක් සිහියට නැගුණි.''බැනරය'!!'
''ඩිජිටල් ප්‍රින්ටින්''
මගේ හිතේ අර මිනිසා ගැන අනුකම්පාවක් ඇති විය.අමුතුම කලාවක්,රටාවක් ,තාලයක් ඇති බව සැබෑය.නමුත් මෙතරම් වෙලාවක් නාස්ති කර අඳින පරණ තාලේ බැනරයත් ,මේ ඩිජිටල් බැනරයත් අතර වෙනස!!!

මට නැවතත් ඔහුව බැලීමට වුවමනා විය.
''තාම මිනිස්සු මෙතනින් බැනර් ඇඳගන්න එනවද ලොකු උන්නැහේ?''
උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.
''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''
ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.
''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.
නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.
''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''
''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?
''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''
නිශ්ශබ්දතාවයකි
මා බලාපොරොත්තු වූයේ මීට වඩා දිග පිළිතුරකි.නමුත් ඔහු කතා කරන පාටක් නැත.මිනිහගේ හිත රිදුනද දන්නෙත් නෑ.
මද වේලාවක් ගත විය.මම ඔහුට පිටුපා සිටගත්තෙමි.මෙවර මගේ කාන්සිය දුරු කළේ ජංගම දුරකතනයයි.


තවත් විනාඩි කිහිපයක් ගත විය.
මගේ පිටුපසින් නැවතත් පුරුදු කටහඬ ඇසුණි.
තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද.
ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.
''අනිච්චාවත සංඛාරා'' 












ගැටයා

6/18/2012

"මිනිසා..."

පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවය මගින් ඉදිරිපත් කළ "තුන්වැනි සීනුව" වේදිකා නාට්‍යය වෙනුවෙන් නිර්මාණය වූ "මිනිසා" ගීතය








මිනිසා...//
අන්ධකාරේ කොහේදෝ යන්නේ
මිනිසා...//

මැරි මැරී තව වෙලෙයි දුක් තුළ
අනුන් හට හිස් සිනා දන් දී
මිනිසා...//

කොයිබටද නුඹ ඉතින් යන්නේ...//
තවත් කොයිබද
යන්න ඇත්තේ
මිනිසා...//

අනුන් උදෙසා බොහෝ දුක් විඳ
දොඩයි දෙබසක් කළින් සැකසුව //
රඟහලකි හිස් නුඹේ දිවියම
කඳුළු බෝ ඇත සිනා තැවරුව...///



audio :  Minisa

6/14/2012

සිංදුවක් කියවමුද 2............


ඉතිං කොහොමද යාලුවනේ. අලුතින් මොනා හරි දාන්ඩ ඕනා කියලා හිත හිත හිටියට ඔලුවට නිදහසක් නෑ. මේ පැත්තේ අව්වට ඔලුවත් එක්කම කර වෙලා ගිහින්. සෙල්සියස් 50 ට යනවා කියන්නේ එසේ මෙසේ කජ්ජක්යැ. :පී. අනික අපේ කලා රවුමේ උන් ටික සීගිරි නැගලා පොටෝ දානවා ඉවරයක් නෑ. කොමෙන්ට් කෑල්ලක් දැම්මේ නැත්තම් පොඩි උන් ටික තරහ වෙනවනේ. :පීපී
ආගිය කතා පස්සට. අද මේ පැත්තේ ආවේ කාලෙකින් සින්දුවක් කියවන්ඩ බැරි උන නිසා. මෙන්න දවසේ සින්දුව.
අතීත කතාව: මං ඔය කැම්පස් එක පැත්තේ එනකල් ක්ලැසිකල් මියුසික් කියලා ලොකු ආසාවක් තිබුනෙ නෑ. බස් අජිත්ලව නම් ඒ කාලෙ ඉඳලම පෙන්නන්ඩ බෑ. කොහොමින් හරි කැම්පස් පටන් අරන් ආට් සර්කල් එක පැත්තේ යන්ඩ පටන් ගත්තම මට තේරුනා මේකෙ ඉන්න උන් වගේ සින්දුවක් දෙකක් අහන්ඩ ඕනා කියලා. ඉතිං ඔහොම දවසක් බස් එකේ සින්දුවක් කනේ ගහගන එනකොට යනවා කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ මේ සින්දුව. මාත් ඉතින් හෙමීට සෙට් උනා මොකක්ද මේ කියන්නෙ බලන්ඩ. සින්දුව මට තේරුන විඩිය මන් කියන්නම්. (මේක කොටන්ඩ ලිරික්ස් පොටෝ එකක් හොයද්දි මට හිතුනා එක්කෝ මන් හිතපු විඩිය වැරදිද කියල. කියෝලම බලන්ඩකො )




"ගහක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරණේ මං, තවම සොයන්නෙමි"

පලවනි පද හතරෙන් පේන්නෙ රචකයාට ආදරයක් ඇති වෙලා තියනවා. කාට හරි හිත ගිහින් තියනවා. ඇයි හිත ගියෙ කියලා දන්නෙ නෑ. ඒක හොයනවා, තාම හම්බෙලා නෑ.

ඊලඟ වර්ස් දෙක අහද්දි මං ටිකක් කොන්පියුස් උනා.

"කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්,
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"

"සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේමනරම්
පුදුම වෙයි නුඹනම්"

මට මුලින්ම හිතුනේ මේක සාමන්‍යයෙන් පේන ආදර කතාවක් නෙමේ කියන එක. රචකයා භාවිතා කරලා තියන උපමා දෙක කවි දෙකේදි දෙවිදියක්. පලවෙනි එකේ කියනවා ලෝක ස්වභාවයට අනුව කාන්තාරේ හැමවෙලේම ඉරත් එක්ක බැඳිලා තියනවා, වැස්සක් වටෙන්නේ එහෙමත් කලාතුරකින් තමයි කියලා. ඉතින් ඇත්තනේ කතාව. හැබැයි කලාතුරකින් වගේ කාන්තාරෙකට වැටෙන වැහිත් තියනවා, ඒ වැස්සට පන වගේ ආදරේ කරන කාන්තාරත් තියනවා. මට මෙතන සොඳුරු වැස්ස කියද්දි මැවිලා පෙනෙන්නේ සුන්දර කාන්තාවක් හෙවත් ස්ත්‍රී ලිංගිකයෙක්.

දෙවනි කවියෙන් වෙනස් පැත්තකට ගිහින්. හඳයි තරුයි. සාහිත‍යයෙදි හැම වෙලාවෙම හඳ කියන්නෙ සුමට කාන්තාවට. ඒකේ කිසි ගැටලුවක් නෑනේ. ඉතකොට ඉර කියන්නේ රලු, ලොකු ශක්තියක් තියන උපමාවක්. පිරිමියෙකුට භාවිතා කරපු බවක් පේනවා. ඉතිං තරුවක් කියන්නෙත් ඉරක්නෙ. එහෙනම් මුල් පදේ පැහැදිලියි. හැම වෙලාවකම කාන්තාවට පෙම් කරන පිරිමින් ගැන. ඊලඟට කියනවා කලාතුරකින් එකක් හරි ඉරට පෙම් කරන තරුවක් තියෙන්ඩ බැරිද කියලා. රචකයා සම්මතයෙන් එලියට ඇවිත් කතා කරනවා. "පුදුම වෙයි නුඹනම්" කියන පදයෙන් පේනවා දෙවනි පාර්ශවය අපගමනය පිලිබඳ දක්වන අදහස.

මං මේ සිංදුව දැකපු විදිය හරිද කියන්ඩ මම දන්නෙ නෑ. ඒ උනත් හැමවෙලාවකම වැඩියෙන් වැදගත් වෙන්නේ ශ්‍රාවකයා කොහොම තේරුම් ගන්නවද කියන එක මිසක් රචකයගේ අතීත කතාව හෝ වස්තු බීජය නෙමේ. රචකයට පුලුවන්නම් තමන්ට අවශ්‍ය දේ ශ්‍රාවකයට ඒත්තු ගන්නන්ඩ, එතනදි රචකයා දිනනවා.
මෙතනදි මං දැක්කේ කවියාගේ තියන නිර්භීතකම. (මට අනුව.) අපි හරිය කියල කියන, අපි එල්ලිලා ඉන්න සමාජ සම්මත වලින් එලියට ඇවිත් සමාජයේ තියන, ඒත් සමාජය විසින්ම හංගන ඇත්තක් එලියට දෙන්න රචකයා සමත්වෙලා තියනවා. අපි හැමවෙලාවෙම සම්මතයෙන් එලියට එන්ඩ බයයි. ගොඩ දෙනෙක් එහෙමයි. සමාජෙට අනුව අපි හැඩගැහෙන්ඩ හදනවා මිසක් සමාජේ හරිද, සම්මතේ හරිද කියලා බලන්නේ නෑ. ලෝකේ තැටියක් වෙලා තිබුන කාලේ, රවුම් කියන්ඩ ගියාමත් ඒකයි උනේ. 
මං මේ සින්දුව කියවපු විදිය හරිනම්, මේ පොටෝ එක වැරදි. මං ජාලේ දැකපු හැම එකක්ම එහෙමයි. එක්කෝ කතාව තේරුම් අරන් තියන විදිය වෙනස්. නැත්තම් සම්මතයට අනුකූල කරලා දාලා තියනවා.

කොහොමින් හරි, මට කියන්ඩ ඕනා උනේ මං දැකපු සින්දුවක පැත්ත ගැන. ඔයාගේ අදහසත් මං දැනගන්ඩ කැමතියි. 

ලිව්වෙ, පරා '06





6/13/2012

තනියට නුඹ, ඇය, ඔබ.............


                තනියට    
      නුඹ,
 ඇය,
      ඔබ........

මට නුඹව මුලින්ම මුනගැසුනෙ පාසලේදි
ඇත්තටම නුඹ මට මුනගැසුනා නොවෙයි
මම නුඹව නිර්මාණය කලා
වැඩි කල් යන්න කලින්ම
මම නුඹට ආදරෙයි කියන්න හැදුවා
ඒත්,
ගුරුවරු හැමෝම මට විරුද්ද උනා
දඬුවම් කලා
මම වැරදියි කියුවා…
ඊට පස්සෙ,
මම නුඹට උගන්වන්න පටන් ගත්තා
නුඹ ගොඩක් හොඳට ඉගන ගත්තා
මගෙන් විතරක් නොවෙයි
තවත් බොහෝ දෙනෙකුගෙන්
ටික කලෙකින්,
නුඹ මටත් උගන්වන්න පටන් ගත්තා
අන්තිමට මට නුඹව දාල එන්න උනා
දුකින් විතරක් නෙවෙයි
ගොඩක් ආඩම්බරෙන්…..

හිතුවෙවත් නැති විදිහට ආයෙමත් හමුවුනා
නුඹමත් නොවේයි
නුඹ වන්ම ඇය,
සරසවියේදී......
නුඹට වගේම ඇයටත්
මම ආදරේ කලා
දුක, සතුට, ආදරේ බොහෝ විට විරහව
මම බෙදාගත්තෙ ඇයත් එක්ක
මේ ලඟදි මට ඇයත් අහිමි උනා
තවත් බොහෝ දේ වගේම
අමාරුවෙන් උනත්
දාල එන්න උනා.....

දැන්,
ටිකක් විතර තනි වෙලා
හිතෙන දේවල් කියන්න
දැනෙන දේවල් බෙදා ගන්න
කෙනෙක්....
නැහැ නොවෙයි ඉන්නවා,
දැන් මම මෙ ලියන්නෙ
ඒ ඔබට.....
                                                                   බට්ටා '06

පුත මධුර.........




රම්බෝ/07 (මචං මේක අපේ අම්මගෙන්)

6/09/2012

සදාකාලිකය ඒ ප්‍රේමය..........



මුණ හැසුණි මට ඔහු මුල් වරට
ගැලරියේ සිතුවම් ප්‍රදර්ශනයකදී
සිත්තරෙකි ඔහු
නම් පතල දිවයිනේ
පැමිණ සිටි වියොතුන්, ධනවතුන්
පැළඳ සිටි වෛවර්ණ අබරණින් පිරි ගැහැණුන්
බර වදන් වමාරන විවේචන
ආදරය පිලිබිඹු කෙරෙති ඒ සිතුවම්
අති සාර්ථකය
ඒ රුව ජීවමානය සිතුවම තුල
සිනාසෙන්නා වැනිය මොනාලිසා යංතමින්
ඔහුගේ ප්‍රිය භාර්යාවද?
සරල සිනාවකින් සැරසී රැඳී සිටී ඔහු ගැලරියේ
වියොතුන් ඔහු හා දොඩමලුව
හුදෙක් එක් පත්තරකරුවෙක් ලෙසින්
මුණ ගැසුණි ඔහු මට මිනිත්තුවකට
"මහත්මයාණෙනි, සැබැවින්ම වාසනාවන්තයි ඔබ බිරිඳ,
ඔබේ ආදරය වෑහේ සෑම සිතුවකින්ම"
සියුම් සිනාවක් පමණි ඔහු මුව.
"පැමිණියාට තුති මහතුනි".....


                            පසු දිනක වැඩ ඇරී එන මඟ නිවසට
                           දුටුවෙමි ඔහු නැවතත්
                           සුසානභූමියේ ගේට්ටුව අභියස
                           නැවතී බලාසිටියෙමි මා ඔහු දෙස
                          සොහොන්කොතක් ලඟ හිසනවා සිටී ඔහු
                          "මියගියා ඔහුගේ බිරිඳ හත් වසකට කලින්,"
                          දොඩමළු උනි කඩහිමියෙක් අසල මා සමඟ
                         "හැම සැඳෑවකම ඔහු එනවා ඇගේ සොහොනට."


                                                                               නමුත් ඒ ආදරය...........

ලිව්වෙ,
එරන්ද (පරා 06)

6/07/2012

අවසරයි සමු ගන්නට...


මතකද නුබට 2008/06/19 වෙනිද.....
අපි පේරාදෙණි සරසවි මාතාවට මුල්ම අඩිය තියපු දවස...
එදා සරසවිය ගැන අකුරක්වත් දන්නේ නැති අපිව
මේ ආදරණීය අම්මා ගොඩක් ආදරෙන් වැලද ගත්තා මතකද නුබට......?
එදා ඉදන් සිව් වසරක් ඒ සෙනෙහෙබර අම්මාගේ උකුලේ
කෙලිදොලෙන් ගත කරපු අපි මෙ හදන්නේ
ඒ අම්මාගෙන් සදහටම සමු අරන් යන්නයි
හිතපල්ලා අයෙමත් මෙ ආදරණීය අම්මගේ ආදරය විදින්න
ලබෙන්නේ නෑ කවදාවත්....
අඩන්න කදුලු නෑ අම්මේ..
නමුත් අපි යා යුතුමයි
යන්නම් නුබෙන් ඈත් වෙලා
ඉදින් අවසරයි වෙන් වෙන්නට.......
නුමුත්,
තව එක වතාවක් ඔය තුරුලේ නැලවෙන්න අවසර දෙන්න අම්මේ
ආයේ නො එන්නම යන්නම් ඔබෙන් ඈතටම.....

   නිසල් (ගෙම්බා 07)

6/03/2012

අහංකාර දෙවනියා....


දිනක මතකයක්,
අහංකාර දෙවනියා....



සින්තටික් මැවුම් හලේ
ඒ මේ අත නුඹ සෙව්වෙමි
අනෙකුන්ට හොරෙන්......
නෙත ගැටුනු විගස
ඉවත බලා මගේ සිනාවට
සරදම් කලා නුඹ.......

මතක සිත්තම්කරුට පින් සිදුවන්නට
සිත් පුරා විඳගත්තෙමි
ලං ලංව නුඹව.....
සියුමැලි සුරතේ පහස ලැබගත්තෙමි
ආඩම්බර වූ නුඹේ
සොඳුරු රැවුම් නොගෙන ගණනකට.....

සීතල සැමරුම් මැඳුරේ
දහසකුත් සුබ මොහොත් පසුවෙද්දී
මතකයේ ඇත්තෙ පමණකි
ඉවත බලා කට කොනින් නැගූ
නුඹේ ඒ සරදම් සිනාව…..

දිව බොජුන් දැක නුඹ සෙවූ කල
මටද නොකියා නුඹ විදියි රස....
දිනකට මා හට වෙන්වූ නුඹෙන්
මුදු මුසා බස්.......

දිවියේ සුන්දරම දිනක් නිමවිය
මාහට නොවේ…..
අවසන නුඹ දමා යමි
හෙට දිනට මිතුරියක කර......

“බට්ටා 06“


5/28/2012

ලන්ච් බොක්ස් එකක් සහ බත් මුලක්......



දවල් වැඩට ගිහින් අවිත් ඇඟපත් එහෙම හෝදගන මං ලන්ච් බොක්ස් එක අතට ගත්තා හෝදන්ඩ. හෙට උදේටත් බෙදාගන යන්ඩ ඕනනේ. ඉතිං ඕකට සබන් ටිකක් දානකොට මට ඉස්සර කාලේ මතක් උනා. අපි ඉස්කොලේ ගියෙ බත් මුලක් ඔතාගන. ලන්ච් බොක්ස් අරගන ගියේ නෑ. මට හොඳට මතකයි හතරේ පන්තියෙදි ශිශ්‍යත්ව පංතියකට ගියා. ඉතිං අම්මා උදේම නැගිටලා බත් මුලක් බැඳලා දෙනවා. පොඩි එකක්. පොඩි කොල්ලනෙ ඉතිං. ඉස්කෝලෙ ඉවර වෙලා අපි කට්ටිය එකතු වෙලා පොඩි ඉස්කෝලෙ පරණ බිල්ඩිමේ පඩිය උඩ ඉඳගන බත් කනවා. මායි, වරුනයයි, චතුරයයි, කස්සයි, ඔහොම ගොඩක් හිටියා. බත් මුල බිම තියලා දිග ඇරගන කට්ටියම වටකරගන කනවා. ලොකු දේවල් තිබුනේ නෑ. සමහර දාට තමබපු බිත්තරයක් හතරට කපල කෑල්ලක්. ඒත් අපි කට්ටිය ඕක බෙදාගන කෑවා. ඉවරවෙලා අඹ ගහ වටේ හිටපු කාක්කන්ට දැම්මා.

ඔහොම තව ටිකක් ලොකු උනා. ඒ එක්කම බත්මුල වටේ කට්ටියත් වැඩි උනා. අන්තිම බත් ඇටේටම වාශ්ප වෙන්ඩ තප්පර ගානයි ගියේ. කොහේ උනත් බත් මුලක් දිග ඇරුනොත් කට්ටිය එතෙන්ට පිරුනා.

කොහොමින් කොහොම හරි කැම්පස් එකටත් ආවා. එහේ බත්මුල් තිබුනේ නෑ. හිටියේ කාක්කෝ. සති අන්තෙට කවුරු හරි ගෙදර ගිහින් එනකල් බලන් ඉන්නවා අනික් උන් ටික. ඉතිං ගෙදරින් ආපු කාක්කව බොග මේසේ උඩින් තියලා දොර ගාවට ගිහින් කාක් කාක් කිව්වම කට්ටිය දුවන් එන්නෙ රෙදිත් නැතුව. සමහර වෙලාවට කාක් කාක් කියපු එකාට කන්ඩ කටක්වත් නැති වෙනවා. මේසෙ උඩ තිබුන අන්තිම බත් ඇටෙත් අහුලගන කට්ටිය පිටත් වෙනවා.

ඉතිං ඔය අතීත කතන්දර. මං තාම ලන්ච් බොක්ස් එක හෝදනවා. අපි දැන් වැඩ කරන ජනතාව. බොහොම බිසි මිනිස්සු. සමහරදාට ඔෆිස් එකේ එහා කාමරේ ඉන්න ඉන්ජන් කොල්ලත් එක්ක වචනයක් කතා කරන්ඩ වෙලාවක් නෑ. බරටම වැඩ. උදේ වැඩ කරලා 1 උන ගමන් මේසේ ලඟ ඉඳන්ම ලන්ච් බොක්ස් එක ගන්නවා අතට. එහා මේසේ එකත් එහෙම තමයි. බොහොම උජාරුවට හැන්දක් අතින් අරන් කනවා. කතා බහක් නෑඅ, බෙදා ගැනිල්ලක් නෑ. අපි අපේ පාඩුවේ අපේ එක කාලා පැත්තකට වෙලා ඉන්නවා. ඔඅං ඉතිං කල්පනා කරා මේ ලන්ච් බොක්ස් එකේ වැරැද්දක්ද කියලා. මොනා උනත් මේක පොඩියිනෙ. කොහොමද හතර පස් දෙනෙක් අතදාන්නෙ. එහෙමත් නැත්තම් අපි වෙනස් වෙලාද. පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි කැම්පස් එකේදි බෙදා ගත්ත හැටි අමතක වෙලාද. අපේ තත්වෙට ඒක ගැලපෙන් නැතිවෙලාද. නැත්තම් අපි නිකම්ම නිකම් ආත්මාර්ථය විතරක් තියන පුහු මිනිස්සු ටිකක් වෙලාද. මං දන්නෑ කොහොම මේ කතාව ඉවර කරන්නද කියල. දැන් ඉතිං ආයෙත් හෙට දවල්ට කනකල් ඒකෙන් වැඩක් නෑ.
එහෙමද?
?
?
?

5/25/2012

අය්ඩියල් (iDeal)


නුඔ කැමති මොනාටද?
උත්සාහවන්තයා ජය ගනී!
එහෙනම් නුඔටත්
එය
නුඕ කරගත හැක
අකැමැති දෙයක් වුනාද?
හැමදේම වෙන්නෙ හොදටයි !
වැඩිකල් යන්න
පෙර
හොද විදියට
හැමදේම සිදුවෙයි
අපිට අවැසි
ලෙස
එලෙස ලෝකය
කැරකෙයි නම්
මලලසේකරේ
මක්ස්ෆර්ඩ් එකේ
සෑඩ් 
කියා වචනයක්
තිබිය නොහැක !

දළබුවා‘9

5/12/2012

වසන්තය නිමෙන්නට ...!!

මහවැලිය සුවය වුන
මල් පිපී සුවඳ දෙන
සිව් වසක වසන්තය
නිමෙන්නට කාලයයි

එක රැහේ පොදි ගැහුන
නෙක්වර්ණ කුරුළු රැල
තටුගසා ඉගිලෙන්න
මේ ඔබේ වාරයයි

වියලි මහ වැලි කතරෙ
අසනි වැසි ගිනි සුලඟෙ
දිරිය ගෙන පියඹන්න
මා සොයුරු සියොතුනේ ...!!
 

4/29/2012

හොදම මිල අපෙන්... දැනුමට මිලක්.!


සිව් වසක් පුරාවට
හෙලූ දහදිය වලට
හිත හදන් වෙහෙස ගෙන
අහක බැලු මතකයට
වෙළදපොල ප්‍රවණතා
කිරා ගෙන මැන බලා
මිල නියම වෙන අයුරු
දකින නිදි වැරු නෙතට
උනන්නේ ඇයි කදුළු
සතුටටද දුකටදැයි
නොතේරේ මට තවම..














Shakya





4/19/2012

තුන්වැනි සීනුව


''තුන්වැනි සීනුව''
 අප්‍රේල් 24 වැනි අඟහරුවාදා සවස 7.30ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පිඨයේදී

4/13/2012

මගේ ළඟින් නුඹ නැතිදා,අවුරුදු මට නෑ


බක් මාසෙට වැව් ඉවුරේ එරබදු මල් පීදුනාට
මෙදා පාර එරබදු මල් සුවද හැමුවෙ නෑ

ගෙයි දොරකඩ ගස් අස්සේ කොවුල් හාමි මොරදුන්නට
වෙනද වාගේ ඒ සින්දුවේ තාලේ ඇහුනේ නෑ

කෑම මේසේ උජාරුවට කැවුම් කොකිස් රඟ දුන්නට
වෙනද වගේ කැවුම් ගෙඩියේ කොණ්ඩෙ ආවේ නෑ

ගේ පිරෙන්න තෑගි එවල සිදාදියේ නුඹ උන්නම
හිත ඉල්ලන හාදු නැතිව අවූරුදු එන්නෑ













හිනාමලී (පළමු වසර )
image-http://www.flickr.com/photos/27563565@N06/7031402075/

4/11/2012

කෙටියෙන්...!!

හද දවන
ගිනි නිවන
නෙතු දකින
දින කෙදින?

4/10/2012

මගේ කවිය


මගේ කියා සිතු කිසිවක්
මගේ  නොවේ………
සතුට කියා සිතු කිසිවක්
සතුට නොවේ………
ජයක් කියා සිතු කිසිවක්
ජයක්  නොවේ………
ජීවිතය කියා සිතු කිසිවක්
ජීවිතය නොවේ………
කිසිවක් නැත අද මා හට…….
කිසිවෙක් නැත අද මා හට……….
තනිවූවෙමි කිසිකල නොවුලෙස……
කඳුලක් ඇත තනියට
අද මා ළඟ…….

බුද්ධිම