2/28/2013

වෙනසක අරුම...............



දඟකාර සිනහවක්
නෙත් අසල නටබුන්වෙලා
අරුත්බර සිනහවක
සෙයාව පිබිදිල

මල් මාවතේ සැරූ
සමනල්ලු මියැදිලා
දඟකාර මල්සමය
නොකියාම නික්මිලා

තුරුලු කල පොත් මිටිය
ගෙයි කොනක තනිවෙලා
උදේ පිපි පොහොට්ටුව
ලැම අසල තනිවෙලා

මවගේ ඇකයේ නිදන
පුංචි පුත  ගුලි වෙලා
මා  මිතුරි මා සොයුරි පෙරදිනක
අද නුබට මව් වෙලා

ඔටුවා_08

2/24/2013

මිනිසත්කම............


සකල සිරියෙන් පිරුණු 
ඉසුරුමත් මුදු බිමක 
ශුද්දවූ මෘගයන් 
අසිපතින් සිදහෙලු 

පෙර දිනක සැදෑවක 
බෝ සුසුම් හිර කරන් 
සුසානේ කෙළවරක 
වල දැමු මිහිරියාව 

සිහිවටන කිසිත් නැත 
ගල්පුවරු මත ඇදුනු 
මතක සැමරුම් නොමැත
ඉටිපහන් මල් පිදුණු

යදම් ලා සුළි සුළග
වියලුවා මහා සයුර 
පුපුරවා ගිරි අරණ
ඇවිදිනා ගල් පිලිරු

නෙත් කොනක යම් දිනක
මතු වුනොත් කදුලු බිදු
සිත් කොනක මතුවෙය
මරාලූ මිනිස් කම 

ඔටුවා_ 08

2/17/2013

බොහෝ දුර අතීතෙට -නොකියාම හිත ගිහින්


බොහෝ දුර අතීතෙට
නොකියාම හිත ගිහින්
ඔබේ හඬ ඔබේ රුව
කඳුලු වැල් පුබුදවන්

ආදරෙයි නොකියාම
ආදරේ දෝ නොදැන
රිදුනු හදවත සිහිව
අදද දෑසම තෙත්ව

ඔබ නොදුටු
මා හැඬවූ
ආදරේ අද නැතත්
ඔබ හිඳී
මා හිඳී
අහිමි ඒ අතීතයම පමණයි



ඇනෝනිමස්


2/10/2013

ලං වෙනවලු හැර යන දිනය නුඹ....




හිනැ හෙන්න වරම් දුන්            
හඬන්නට කඳුලු දුන්
තෙවසරක් ලඟින් උන්
සදාදර මහවැලිය
ලං වෙනවලු හැර යන දිනය නුඹ....



පාලුවට ලගින් උන්
ස්නේහයෙන් බලා උන්
තෙවසරක්  සෙවන දුන්
දයාබර හන්තාන
ලං වෙනවලු හැර යන දිනය නුඹ....


08_සොබා

2/06/2013

"කල්පිත" ලෝකයේ (අ)කල්පිත කථාවක්....!!!!

       ඔන්න එකොමත් එක රටක කඩ ගොඩාක් තිබුණා. ඒ අතරින් කඩ දෙකක් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණා.
මේ කඩ දෙකෙන් එක කඩයක කොළ පාට බෝඩ් එකක් එල්ලලා තිබුණා.


    
   
අනිත් කඩේ එල්ලලා තිබුණේ නිල් පාට බෝඩ් එකක්.



      ඉතින් මේ බෝඩ් දෙක නිසාම මිනිස්සු, කොළ පාට බෝඩ් එක තියෙන කඩේට "කොළ කඩේ" කියලත්, නිල් පාට බෝඩ් එක තියෙන කඩේට "නිල් කඩේ" කියලත් කිව්වලු.

     ඔය නිල් කඩේ කරේ එකම පවුලේ නෑදෑයෝ ටිකක් ලු. ඒකේ මුදලාලි ගමේ ඉඳන් නගරෙට ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙච්ච කොලු ගැටයෙක්ලු ඕං. කඩේ දියුණු වෙනකොට එයාගේ නෑදෑයෝ ටිකත් කඩේ වැඩට අරගත්තලු. නෑදෑයෝ ටිකත් එක්ක හරිම සහයෝගයෙන්, ව්‍යාපාරික ඥානය උපරිමයෙන්ම යොදවල (එහෙම බැරි නම් ගැන්සි පාට් එකෙන් හරි) කරගෙන ගිහිපු නිසා මේ කඩය බොහොම සාරවත් වුණාලු.

     කොළ කඩේ කරේ බොහොම ඔතෑනි, සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි කෙනෙක්ලු. ඔය කඩේ වැඩ කරෙත් එක එක තැන් වලින් ඇවිත් පැලපදියම් වෙච්ච උදවියලු. මේ කඩය බොහොම පරණ කඩයක්ලු. ඉතින් කාලෙකට කලින් මේ කඩේ අයිති වෙලා තිබුණ මුදලාලි කෙනෙකුගේ පුතෙකුත් මේ කඩේ වැඩ කරාලු. ඒ පුතා නිතරම උත්සාහ කරේ කඩේ මුදලාලි වෙන්නලු. ඒත් අර සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි ඒකට ඉඩ දුන්නැල්ලු. කඩේ ගොඩක් අය එයාට කැමති නැති වුණත් කොහොම හරි බලෙන්ම එයා දිගින් දිගටම මුදලාලි කමේ හිටියලු. මේ කඩේ සේවකයොන්ගෙන් කොටසක් කලින් මුදලාලිගේ පුතාගේ පැත්ත අරන් එයාට මුදලාලි කම අරන් දෙන්න සෑහෙන්න උත්සාහ කරන අතරේ තවත් කොටසක් සුද්දා වගේ මුදලාලි ගේ මුදලාලිකම රැකදෙන්න උත්සාහ කරාලු.


     ඔය වගේ ප්‍රශ්නයක් තියෙනකොට ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් තියේ යෑ, හැමදාම ඔය කඩේ රණ්ඩුලු ඕං. ඔය රණ්ඩු නිසා වගේම මුදලාලිට අකමැති ගොඩක් දෙනා නිසා මේ කඩේට මිනිස්සු එන එක එන්න එන්න අඩු වුණාලු.
      
      කොළ කඩේ ඉරණම ඔය විදියට ලියවෙනකොට නිල් කඩේ වෙළඳාම දවසින් දවස වැඩි වුණාලු. වෙළඳාම ටික ටික සරු වෙනකොට මුදලාලිගේ පුතාලට පිටරට තියෙන ඉස්තරම් කෑම ජාති එහෙම කන්න ආස හිතුණලු.  ඉතින් මුදලාලි තකහනියක් ඒ එක එක කෑම ජාති පිටරටින් ගෙනත් " අඩු මුදලට " විකුණන්න පටන් ගත්තලු.(එතකොට කඩේ තිබුණ අනිත් බඩු වල මිල වැඩි කරා.) ඒත් මුදලාලිගේ පුතාලා වගේ උදවියට ඒ කෑම ගන්න පුළුවන් වුණාට සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බැරි තරම් ම ඒවා ගණන් ලු.
     
       මේ කඩේ කැෂියර් විදියට වැඩ කරපු නෝනත් හරි විශේෂ චරිතයක්. මුලදි මුලදි එයා කඩේට එන මිනිස්සුන්ට බොරු බිල් දීලා සෑහෙන්න මුදල් වංචා කරාලු. ඒකෙන් එයා ගොඩක් පොහොසත් වුණාලු. ඒ බව මුදලාලි දැනගෙන හිටියට නොදන්න ගානට හිටියාලු( ඒකෙන් එයාට ප්‍රශ්නයක් නැති නිසා). ටික කාලයක් යනකොට ඒ නෝනට තේරුණාලු මේ වැඩේ අසාධාරණයි කියලා. ඊට පස්සේ එයා බොහොම සාධාරණ විදියට බිල් හැදුවා වගේම හැම නිතරම කඩේට එන අයට සාධාරණයක් ඉෂ්ඨ කරාලු. ඔය අතරේ කඩේ මුදලාලි අලුත් සැලසුමක් හැදුවලු කඩේට එන මිනිස්සුන්ගෙන් කඩේට එන සල්ලි ප්‍රමාණය වැඩි කර ගන්න විදියක් ගැන. ඒක කැෂියර් නෝනට කිව්වම කැෂියර් නෝනා විරිද්ධ වුණාලු. අනේ එතකොට මුදලාලි කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? කඩේට එන හැම මනුස්සයටම නෝනා අර කලින් කරපු මුදල් වංචා ගැන කියලා නෝනා දෙකේ කොලේට දාලා. අර "අසරණ අහිංසක" නෝනා බලෙන්ම කැෂියර් කමෙන් අයින් කරලා කඩෙන් එලවලා දාලා.

       දැන් මේ කඩේ බොහොම සරුසාරයිලු. කොළ කඩේ මුදලාලි චාටර් නිසා මිනිස්සු ඒකට යන්නේ නැල්ලු. කාලෙකට කලින්, රතු බෝඩ් එකක " ජනයාගේ විස්වාසයෙන් පෙරටම"  කියලා ගහලා තිබුණ, ටිකක් සරුසාරෙට තිබුණ කඩයත් දැන් වල් වැදිලලු. ටොපියක්, ලොසින්ජරයක් වගේ දෙයක් වත් ඉඳලා හිටලා හරි ඒකෙන් ගන්නේ හරිම අමාරුවෙන්ලු.

      ඉතින් මිනිස්සුන්ට වෙන යන්න තැනක් නැති නිසා එන්නේ නිල් කඩේට විතරයිලු. ඒ නිසා බඩු හිතුණු හිතුණු හැටියට විකුණන්න, හිතුණු මිල ගණන් වලට විකුණන්න වගේම, මිනිස්සුන්ට අවශ්‍ය අනවශ්‍ය හැම දේම විකුණන්න දැන් නිල් කඩේට පුළුවන්ලු. 

      නිල් කඩේ වැඩ කරලා පුරුදු හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙන කෙනෙක් අලුත් කඩයක් දානකං වෙන කර කියාගන්න දෙයක් නොතිබුණ මිනිස්සුන්ට වුණේ බැන බැන හරි නිල් කඩේට යන එක විතරලු.......

(3 වෙනි ඡායාරූපය maruwaxx.files.wordpress.com ලිපිනයෙන් උපුටා ගන්නා ලදි.)

   

2/04/2013

" රට නැළවිල්ල " හෙවත් මහින්ද තොටිල්ල -


(මූණු පොතෙන් ඊයේ පෙරේදා දිනයක උපුටා ගන්නා ලද්දකි)

රාජ පස්ස සිඹිමින්නේ
අරලිය ගහ පෙදෙසින්නේ
කිරිබත් සුවඳයි එන්නේ
මගේ පුතා නලියන්නේ

නිදහස ෆුල් ආතල් වේ
එහි ත්‍රිල් එක මහ රජු වේ
ඒ බව සිහිකොට මෙරටේ
හිටපන් ! නැත්නම් කුඩු වේ

සුදු වාහන හිටි හැටියේ
ජඩ පිරිවර සමඟින්නේ
සොයමින් එන්නට ඉන්නේ
මගේ පුතා හැංගෙන්නේ

දෙන දිවි මුත් බඩ වෙනුවෙන්
' ජාතික දරුවන් ' යනුවෙන්
රණවිරුවන් ලිඟු නැඟුමෙන්
ලක් මවු කෙලෙසුවා සුවෙන්

තවුසන් සේ ඇඳ පැළඳා
පවු ! බං , කුක්කන් එන දා
' හලාල් ' සොයා කෙලවන දා
අවමඟුලක් රට මුළු දා

දෙව් පුර මෙන් දෙවියන්නේ
ලැම්බෝගිනි පියඹන්නේ
ලොකු බේබිලා සමඟින්නේ
උඹෙත් පුතේ ' ලොකු ' වෙන්නේ

ලස්සන විතරක් පොළොවේ
දැකපන් ! නිරුවත හමුවේ
කට වහගෙන නොහිටියොතින්
උඹට පුතේ කෙල - කෙල වේ

ජාතික රණ දෙරණ වටේ
එකී මෙකී නොකී අතේ
සුන්දර සුරඟනන් ඇතේ
' අන්තඃපුර බඩුය' පුතේ

මහ ජාතිය කෙරෙහි නැමී
දෙමළට වෙඩි තැබූ සොමී
හීනෙන් උඹ නැගිටවමී
පුත ! ඔය ඇස් වසමි යළී

ජාතිය නම් ' සිංහල ' වේ
ආගම පොදු ' බොදු ' මග වේ
එය රැකගෙන නැගෙනහිරේ
" නිදහස " සමරපන් ! පුතේ

' හැට පහ ' අභිමානය නම්
කට කහනවා ඇති වෙනකම්
පට පට ගා පුපුරයි මං
' කට , කට ! ' පුත, මට කියපන්......

පපුව පුම්බා අභිමානයෙන් කියමි...... මම ලාංකිකයෙක්මි!


  අද දවස වෙද්දි අපේ කැම්පස් වහල, ළමයි ගෙවල්වල, සර්ල ස්ට්‍රයික්. නිදහස් අධ්‍යාපනය මැරෙන්න ඔන්න මෙන්න කියල පන අදිමින් හිටපු වෙලවක යන්තම් හුස්මපොදක් දීල නැවතත් එයට ජීවය පෙව්වට, නිදහස් අධ්‍යාපනයෙන් පළ ලබපු, ලබන හා නිදහස් අධ්‍යාපනයට පන පොවන සියළු පෝශක කොටස් තිගැස්මකින් යුතුව අවදි කෙරුවට, මම හිතන්නෙ අපි අපේ ආචාරය, ආශිර්වාදය හා ස්තූතිය පිළිගන්වන්න ඕනෙ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට.

මේ සටන ඒ විදිහට, ඒ හේතුව වෙනුවෙන් සිදුවෙද්දි මේ හැමදෙයක්ම මැද්දෙ මේ ලෝකෙම විශ්ව ගම්මානයක් කෙරුවයි කියල සමහරු ආවඩන අන්තර්ජාලෙ සැරිසරද්දි, මාය දැක්ක එක එක පුද්ගලයො මේ දේ පිලිබඳව එක එක මතවාද වල ඉඳගෙන, එක එක පසුබිම් වල ඉඳගෙන, එක එක මට්ටම් වල ඉඳගෙන, තමන් මේ දේ බලන රාමුව තුළ ඉඳගෙන මේක විග්‍රහ කරල විශ්ලේශණය කරල තියන හැටි. මන් දවසක් පොතක දැක්ක මෙන්න මේ වගේ කතාවක් " මග තොට යන ලලනාවෝ මෙකල එමටය, කවීහු ඔවුන් විවිධ අයුරින් දකිති, එකකුට වෙසඟනක් වන ඇය තවකෙකුට සුරඟනකි, ඔවුන් කෙසේ ඇයව විග්‍රහ කලද, ඇය එදා සේම අදත් හෙටත් මතු අනාගතයේදීත් මග තොට ගමන් කරණු ඇත. ". මේකත් හරිය ඒ වගේ. මෙතනත් තියෙන පරම සත්‍යය වෙන්නෙ කවුරු කොහොම විග්‍රහ කරත් මේ සටන ඒ විදිහටම ඉදිරියට යාමයි. 


එහෙම වුනත් මම දැකපු විදිහට මේ සිද්දිය ගැන අර්ථකතන එකතු කරන බොහෝ දෙනා මෑත යුගගේදී නිදහස් අධ්‍යාපනය හා ඍජුව නොගැටුනෝ වෙති. ඒ කියන්නෙ මොවුන්ගේ උවමනාව සක්සුදක් සේ පැහැදිළියි. විවිධ දේශපානලන හෝ ජනමාධ්‍ය හෝ සමාජීය හෝ වේවා රාමු වල සිට ඔවුන් මේ කරනුයේ තවත් එක් මාකටිං එකකි. තම පුවත්පතේ වෙළඳාම ටිකකින් හෝ වැඩිකරගනීමට හෝ තම පක්ෂයට එක ඡන්දයක් හෝ වැඩිකරගැනීමේ පරමාර්තයෙන් ඔවුන් අප සටන් පාඨය උපුටාගනිත් නම් එය අතිශයින්ම පිළිකුල් සහගතය.මෙරට සැමදා සිදුවන්නේ මෙයයි. මෙරට යම්කිසි කොට්ඨාශයක් යම් දිනක කුමක් හෝ වෙනුවෙන් සටන් වදිත්ද, මෙරට බංකොලොත් දේශපලන පක්ෂත් පුවත්පතුත් ටික කලකට හෝ ඔවුන්ගේ සටන් පාඨ ණයට ගනී. ඔවුන්ගේ සටනට සහය වෙමින් මේ ණයට කැහීම සිදු කරන්නේනම් ඒත් කම් නැත, එහෙත් එය එසේ නොවේ, ඔවුන් මේවා ණයට ගන්නේ බොහෝවට තම පෞද්ගලික අබිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට පමණි.


මෙවන් වූ මුග්දයන්, ආත්මාර්තකාමී කැනහිලුන් සිටිනා රටක, එරටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමතුන් විසින් කෙරෙන්නා වූ සටන් විහිළුවක් බවට පත් වෙයි. කිමද මේ අම්බරුවන් අපගේ සටන් පාඨ තම සිතැඟි ලෙස,ඔවුන්ගේද සටනක් ලෙස ජනතාව ඉදිරියේ තබද්දී, ඔවුන්ගේ දීර්ඝ කාලීන ක්‍රියාකලාපය තුළ ඔවුන් පවසන දෑ විහිළුවක් සේ තකන සාමාන්‍ය ජනතාව අතර මෙම සටන් පාඨද විහිළුවක්ව යනු ඇත. ඉන්පසු අප ජනතාව අතරට ගොස් මේ ප්‍රශ්නය පැහැදිලි කිරීමට පටන් ගන්නා මොහොතේම ඔහුගේ සිත තුලද අපට ගොං ලේබලය වැදී අවසානය. ඔවුන් කිසිවක් නොපවසනු ඇත, එහෙත් අප කතාව අවසානයේ අවඥාවෙන් පිරුණු මදහසකින් යුතුව "යන්නම් පුතා" කියා නික්ම යනු ඇත. එහෙත් කුමක්නම් කරන්නද, නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලය ලබන අප කර මත පැටවුන වගකීමක් ඇත. ඔවුන් කුමක් සිතුවද ඒ සියලු සිතුම් බිඳදමා ඔවුන්ගේ සිත තුළ මේ නිදහස් අධ්‍යාපනයට අයිති වන්නට යන ඉරණම ගැන කම්පනයක් ඇති කිරීම දැන් අප ඉදිරියේ ඇති අභියෝගයයි.මා මේ කියූ දෙය නිසා එය බරක් කර නොගනිත්වා. මේ අම්බරුවන් නිසා අප කල යුතු කාර්යය දෙගුණ වී ඇත. ලංකාව තුළ යමක් වෙනුවෙන් සටනක් කරන්නේනම් එහි යතාර්ථය ජනතාව අතරට ගෙන යාම පියවර දෙකක ක්‍රියාවලියකි, මුලින් ඇත්තේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියකි, ඔවුන්ගේ සිතේ ඇති වැරදි වැටහීම ඉවත් කිරීම පියවර අංක 1කය. පියවර අංක 2නම් සත්‍ය තත්වය පහදා දීමය. එහෙත් කුමක්නම් කරන්නද,

 මා ලාංකිකයෙකුව ඉපදුනු බව අභිමානයෙන් යුතුව පවසනු හැර.

ආදරය වේවිද මට සැමදාම අභිරහසක්ම????? හැකි වේවිද තේරුම් ගන්නට ආදරය මතු යම් දිනක???? නොදනිමි මම........................

Why do we close our eyes when we sleep? When we cry?
When we imagine? When we kiss?
This is because the most beautiful things in
the world are unseen.
 
We are all a little weird and life's a little weird
and when we find someone whose weirdness
is compatible with ours,
we join up with them and fall in
mutual weirdness and call it love.


 
 
 
 
 
 
 
 
 
There are things that we never want to let go of,
people we never want to leave behind,
but keep in mind that letting go isn't the end of the world,
it's the beginning of a new life..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Happiness lies for those who cry, those who hurt,
those who have searched and those who have tried.
For only they can appreciate the importance of the people
who have touched their lives.

A great love? It's when you shed tears and still
you care for her,
it's when she ignores you and still you long for her.
It's when she begins to love another and yet you still smile
and say I'm happy for you.
 
If love fails, set yourself free,
let your heart spread its wings and fly again.
Remember you may find love and lose it, but when love dies,
you never have to die with it.

The strongest people are not those who always win
but those who stand back up when they fall.

Somehow along the course of life,
you learn about yourself and realize
there should never be regrets,
only a lifelong appreciation of the choices you've made.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
A true friend understands when you say, I forgot,
waits forever when you say, just a minute,
stays when you say leave me alone,
opens the door even before you knock and says can I come in?

Loving is not how you forget but how you forgive,
not how you listen but how you understand,
not what you see but how you feel,
and not how you let go but how you hold on.

It's more dangerous to weep inwardly rather than outwardly.
Outward tears can be wiped away while secret tears scar forever.

In love, very rarely do we win
but when love is true, even if you lose,
you still win just for having the tingle of loving someone
more than you love yourself.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
There comes a time when we have to stop loving someone
not because that person has stopped loving us
but because we have found out
that they'd be happier if we let go.

It's best to wait for the one you want than settle for one that's available.
Best to wait for the one you love than one who is around.
Best to wait for the right one
because life is too short to waste on just someone.

Sometimes the one you love turns out to be the one who hurts you the most,
and sometimes the friend who takes you into her arms
and cries when you cry
turns out to be the love you never knew you wanted.

LOVE IS THE LOVE FOR THE LOVE, But love is something that many a people can't
understand fully, including meee :)

11/28/2012

ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය


බොහොම බැරෑරුම් මාතෘකාවක් නේද? මාතෘකාව වගේම කතාවත්, ඒක පැහැදිලිව තේරුම් ගන්න එකත්, අපි කොතනද ඉන්නේ කියලා හිතන එකත් බොහොම වැදගත්. කාලෙකට පස්සේ ආවේ මේ පැත්තට. මං මේ ලියන්ඩ යන කතාවේ කොටස් කීපයක් තියනවා. මේ හැමදේකටම වස්තු බීජය උනේ ලඟකදි කියවපු සඳකඩ පහනක ගීතයේ විචාරය.  පලවෙනි එක තමා ඔය උඩින් තියෙන්නෙ. ටික කාලෙකට උඩදි කරපු මගේ නිර්මානයක්. ඊලඟට මං අදහස් කරනවා අමරසිරි පීරිස් මහත්තයගේ "ලඳුනේ" ගීතය ගැනත්, අර මුලින් කියපු "සඳකඩ පහනක" ගීතය ගැනත් ලියන්ඩ. අන්තිමට සංස්කෘතියක් විදිහට කාන්තාව හා ලිංගිකත්වය කියන දේවල් ගැන අපි දකින විදිහ ගැන බලන්ඩ.




























රංබණ්ඩා සෙනෙවිරත්න ශූරීන් විසින් ලියවුනු, ප්‍රේමසිරි කේමදාසයන් අතින් සංගීතවත් වුනු, අමරිසිරි පීරිස් ගායනා කරපු ලඳුනේ ගීතය සිංහල සංගීත ඉතිහාසයේ ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට ලක්වුනු ගීතයක්. මෙතනදි රචකයා උත්සාහ කරන්නේ සමාජයේ පහත් කියන මට්ටමට හංවඩු ගැහුනු, කාගේවත් සැලකිල්ලට ලක් නොවුනු "ගණිකාව" කියන චරිතය ගැන මානුශීය විදිහට බලන්ඩ. සිංදුව ගැන කියන්ඩ කලින් මේක ලියන්ඩ මුල්වුනු විදිහ කියන්නම්. නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයා නුවර උසාවියට ගිය වෙලාවක ඔහුගේ යාලුවෙක් එක්ක දළඳා මාලිගාව වඳින්ඩ ගිහින් තියනවා. එතනදි ඔවුන්ට දකින්ඩ ලැබෙනවා සුදු ඇඳුමින් සැරසුනු ලස්සන කාන්තාවක් තෙල් මල් අරගන මාළිගාවට යනවා. මෙතනදි රංබණ්ඩා මහත්තයගේ යාලුවා කියනවා මේ කාන්තාව ගණිකාවක් බවත්, හැමදාම හවසට මෙහෙම මාළිගාවට යන බවත්. මේ සිද්ධිය පාදක කරගන තමයි ලඳුනේ ගීතය ලියවෙන්නෙ.

ගණිකාවක් කියන වචනේ ඇහුනු ගමන් අපේ හිතට එන්නේ පිලිකුලක්. සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන ගැහැනියක්. ඉතාම පහත් ගතියක්. කන්ඩ නැතුව මැරිලා ගියත් හොඳයි මේ වගේ ජරා වැඩ නොකර. ඕක මට පෞද්ගලිකවම අහන්ඩ ලැබුනු දෙයක්. ලඳුනේ ගීතයේදි ගණිකාව ඇඟ විකුනන පහත් ගැහැනියකට වඩා, තවත් මනුශ්‍යයෙක්ය කියන අදහස මතු කරන්ඩ උත්සාහ කරනවා. බොහොම වෙලාවට කාන්තාවකට මේ වගේ තත්ත්වෙකට වැටෙන්නේ ජීවිතේ අන්ත අසරන තත්වෙකට වැටුනම නේද? තමන්ගේ කැමැත්තෙන් ඒ වගේ තත්ත්වෙකට වැටෙන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින් කියලයි මං හිතන්නේ. රංබණ්ඩා මහත්තයා මෙතනදි දකින්නේ ඒ කාන්තාව මිසක්, පිලිකුලට ලක්වුනු ප්‍රතිරූපය නෙවෙයි. 
"බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන, ඔබද පටාචාරාවකි, ඔබද කිසාගෝතමියකි" 
ඔහු මෙතනදි මේ කාන්තාව පටාචාරාවකට, කිසාගෝතමියකට සමාන කරනවා. පටාචාරා සහ කිසාගෝතමි කියන්නේ ජීවිතේ ඇතිවුනු ප්‍රශ්න ගොඩක් හමුවේ අසරන වුනු කාන්තාවන් දෙන්නෙක් . මේ සුදු ඇඳුමින් සැරසිලා පංසලට පියමන් කරන කාන්තාවගේ වර්තමාන තත්ත්වයටත් හෙතුව ජීවිතේ ඇතිවුනු ලොකු ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවන් නේද? අසරණ වෙච්චි ගෑනියෙක් ජීවත් වෙන්ඩ ගත්තු අන්තිම උත්සාහය වෙන්ඩ පුලුවන් නේද? ඒ පව් හෝදා ගන්ඩ පංසලට ආපු මේ කාන්තාව පටාචාරාවට, කිසාගෝතමියට සමාන කිරීමෙන් රචකයා මේ කාන්තාවගේත් ප්‍රශ්න ඇතිවුනු තවත් කාන්තාවකගෙත් වෙනසක් දකින්නේ නෑ. පටාචාරා හා කිසාගෝතමී අවසානයේ සමාජයේ පිලිගැනීමක් ලබනවා. මේ කාන්තවටත් ඒ අවධානය, අනුකම්පාව හා පිලිගැනීම ලැබුනොත් පහත් කියන තත්ත්වයෙන් මිදෙන්න බැරිද?
"අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ"
අපේ සමාජයේ වැරදි කරන, ඒ වැරදි තමන්ගේ සුදු රෙද්දෙන්, සල්ලි බලෙන් වහගන සිල්වත් ජීවිතයක් ගත කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රාත්‍රියේ මේ කාන්තාවගේ ඇසුර පතන මිනිස්සු දවල් එලියෙදි ඇයටම ගරහනවා.
"ළැම පමනක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ". 
සමාජය මේ කාන්තාව දිහා බලන්නේ පිටින් විතරයි. කෙනෙක් එලියෙන් පෙනෙන ළැම දිහා බලලා කාමාශාවක් ඇති කර ගද්දි, තවත් කෙනෙක් ඇගේ ජීවිකාව දිහා බලලා පිලිකුලක් ඇති කර ගන්නවා. හැබැයි හැමෝම දකින්නේ පිටින් විතරයි. ඒ කාන්තාව මේ තත්ත්වෙට එන්ඩ හේතු උනේ මොකක්ද කියන දේ තියෙන්නේ ඇගේ හිතේ. 
ලඳුනේ ගීතය ඉතාම මානූශීය ගීතයක්. ඕනෑම පුද්ගලයෙක්ට ගරහන්ඩ කලින් ඔහුගේ චරිතය දකින්ඩ කියලා රචකයා කියන්ඩ උත්සාහ කරනවා. කේමදාසයන් මේ ගීතයට අරුත්බර සංගීතයක් එකතු කරලා තියනවා. මට මතකයි දවසක් අමරසිරි පීරිස් මහත්තයා ඒ තනු නිර්මාණය ගැන කතා කරනවා. ගීතයේ අර්ථය වැඩි වෙන විදිහටත්, ශ්‍රාවකයාට හැඟෙන ප්‍රමාණය වැඩි කරන්ඩත් පුලුවන් විශිශ්ඨ සංගීත නිර්මාණයක්. (නෑයින් නෑකම නොකියන කොටසේ තනුව අහලා බලන්ඩ. මට ලියලා පෙන්නන්ඩ අමාරුයි.)

හොඳයි, ඊලඟට මං කියන්නම් සඳකඩ පහනක ගීතයේ ලඟකදි දැකපු විචාරයක්. මාත් මේක මූනුපොතේ දැක්කේ. ඒ විදිහටම මෙතන දාන්නම්.

""සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... 
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... 
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා 

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.""
මේක එක් ආකාරයක අරුත් දැක්වීමක් විතරයි. ඕනෑම කලා නිර්මාණයක අරුත ශ්‍රාවකයාට ගැලපෙන විදියට, හැඟෙන ප්‍රමාණයට වෙනස් වෙන්ඩ පුලුවන්. සම්පූර්ණ කතාවම මෙතන තියන හින්දා මං එතනින් නවතින්නම්.

ඉතිං ඔය ඔක්කොම ගැන කතා කරාට පස්සේ අපිට කොහොමද ඕක අදාල වෙන්නේ කියලා කවුරුහරි අහයි. (මේ මගේ අදහසක්. පිලිගැනීම හෝ විවේචනය ඔබේ වගකීමක්) සමස්තයක් විදිහට ගත්තම අපේ චින්තනය ඉතාම පටුයි. වෙනස් දෙයක් දිහා බලලා ඒක අවබෝධ කරගන්ඩ තියා, වෙනස දෙයක් පිලිගන්ඩවත් අපේ ගොඩක් දෙනෙක් කැමති නෑ. ගණිකාව කියන මාතෘකාව ඉතිහාසෙ ගොඩක් කල් ඉඳලම තියන කොටසක්. අදටත් ලංකාවේ ඕනතරම් ගණිකා ව්‍යාපාර් තියනවා, ඒවට යන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා. මං ගණිකාව සධාරනීකරණය කරන්ඩ හදනවා නෙමේ. රංබණ්ඩා මහත්තයා කිව්වා වගේ "අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ". අපි හැමකෙනෙක්ම මේ දිහා බලන්නේ පිලිකුලෙන්. ඒ අපි හිතන්ඩ පුරුදු වෙලා තියන හැටි. අපේ චින්තනය ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රතිරූපයට පිටිපස්සෙන් ඉන්නේ තවත් අපි වගේම මනුස්සයෙක් නේද. ඒ මනුස්සයට එතෙන්ට එන්ඩ හේතු උනේ මොකක්ද. කොලඹට, කටුනායකට දුර පලාත් වල ඉඳලා එන සමහර ගෑනු ලමයි අන්තිමට ගණිකාවක් වෙලා නතර වෙනවා. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ දුප්පත්කම. බඩගින්දරෙන් ඉන්න මිනිහට තේරෙන්නේ කන්ඩ දෙයක් කියන එක මිසක් සදාචාරේ නෙමෙයි. සමහර විට අපේ සමාජ විශමතා වෙන්ඩත් පුලුවන්. එහෙමත් නැත්තම් මනුස්සකම නැතිවෙච්චි අපේම මනුස්සයෙක් හින්දා වෙන්ඩත් පුලුවන්. කොහොමින් උනත් අපි දකින්නේ අන්තිමට සමාජෙන් පිලිකුල් වුනු කාන්තාවක් විතරයි.   
අපි ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? ඇත්තටම බැලුවොත් අපේ රටේ කාන්තාවක් හැම වෙලාවෙම ඉන්නේ පිරිමියෙක්ගේ හෙවනැල්ලක් යට නේද? මේක අපේ සංස්කෘතියත් එක්ක එන දෙයක්. ලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවලට පොදු දෙයක්. පිරිමියෙක් කවදාවත් කාන්තාවක් තමන්ගේ සම තැනින් තියලා බලන්නේ නෑ. ඇත්තටම ගත්තොත් අපිට අපේ සංස්කෘතික ආකල්ප වලින් එලියට බලන්ඩ පුලුවන්ද? ගෑනියෙක් පිරිමියෙක් එක්ක ටිකක් වැඩියෙන් කතා කරොත් අපි ඒක දකින්නේ කොහොමද? ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මං මුලිනුත් කිව්වා වගේ මේක මගේ මතය විතරයි. අපි හැමෝගෙම අදහස් බෙදාගමු. මේක මං හිතුවටත් වඩා දිග කතාවක් උනා. මට කියන්ඩ බලපොරොත්තු උනු දේවල් ඒ විදිහටම තියනවද දන්නේ නෑ. කොහොම උනත් කතිකාවට විවෘතයි.....   

11/23/2012

සංතකෙට මඟේ වන දින කෙදින.....


අශෛක්ෂ ඉටුවුනු පැතුම
මගේ දිවියේ නුඹ...
දලනිදු තරම් ආදරය දුන්
නිම නොවන....


අල්ප මාත්රයකුදු තරම් අඩු නොවුනද
නුඹේ විසල් සෙනෙහස
ගතිමි රිදවා සන්තානය
දොස් නැත නුඹද... මාද...

මිස,
 
ඉන්නට වරම් නැති,
තුරුලුව...
නුඹ මිණ,

එසඳ,

සංතකෙට මඟේ වන
දින කෙදින.....






                                           බට්ටා_06

11/13/2012

just a imaginary case...


විලේ දිය කඳ ගැඹුරු සේමා
දිවි මගක් විය නොදත් කිසිවෙක්
ඉකියකින් සිත රිදෙන සේමා
තනිකමක් විය ඇදුම් කන සිත්..

අසනි වැසි වැට
නුඹේ සෙනෙහෙට
විලේ දිය කඳ බෝම සැලුනයි

ඉකිය පරදන
නුහුරු හැඟුමින්
සිතේ නිම් තෙර පිරෙණු දැනුනයි

රුවන් මිණි කැට
ඉසුල නැතිවට
රුවේ පින් පිනි රැදෙනු බෝමයි.

සසල දිය කඳ
තුටින් සෙනෙහෙන්
ඉසිඹු නැති රැළි නගනු දැනුනයි

ගැඹුරු විල් තෙර අඳුරු මුල්ලෙත්
ඉතින් රැළියෙන් නොමැත අඩුවක්
පුරුදු ඉකියට යන්න කීවා
මඳ සිනා පෑ පුංචි කෙල්ලෙක්..



10/12/2012

සෙබලෙකුගේ අවසන් සටන ..............


මූකලන් බස්සාට 
රාත්‍රියේ ජය හිමි වෙවි..
තල් වැට අද්දර
සිහින් ඉකිබිඳීමක හඬ ඇසේවි......

නාඳුනන අමුත්තා නුඹවෙත
කඳුලු බිඳු රැගෙන එවි 
සාලේ එල්ලුනු අප්පච්චිගේ රුව
බිත්තිය සිපගනීවී..........

වීර පුතකු කියාවි බොහෝ දෙන
බලා විය නුඹ දෙසත් එලෙසින
කපරාරු නොකල බිත්ති අතර
හිස් බැල්මෙන් මා සිටිනු ඇත

හේවිසි දවුල් හඬ මැද
ගමන ඇරඹෙනු ඇත
නුඹ හා ඇවිද ගිය මාවතෙහි
යමි මම සොයුරන් මතින්

හිරු අවරට හැරුණු තැන
බොහොදෙන නික්ම යනු ඇත
අමු ගොක්කොල සුවඳ මැද
නුඹ පමණක් ඉතිරි වනු ඇත

රටට එකෙකු අහිමි වී ඇත
නුඹට මුලු රටම අහිමි වී ඇත
මමද එය දනිමි
එහෙයින් මම මසේ කියමි

මම නිහඬ වෙමි
නුඹට නොකියාම නික්ම යමි
හෙට අළුයම හමන සීතල සුලඟ කියවී නුඹට
මා නුඹේ සිහිනයෙන් නික්මුනුවග

අවදිවන්න නුඹ 
විවර කර කවුලු
ඉඩ දෙන්න හමායන්න
සුලඟට.................

08 ඔටුවා 

ප. ලි. 

ලංකාවේ යුද්දය පැවති සමයේ මම ද සෙබළෙකුගෙන් දුටුවේ වීරත්වය පමණී. එහෙත් සැම සෙබලෙකුම පුත්‍රයෙකු වන්නේය. බොහෝවිට  සැමියෙකු හෝ පෙම්වතෙකු වන්නේය. රට වෙනුවෙන් දිවි දුන්නද උන්ට උන්ගේ ලෝකය යැයි මට හැගුනු දේ පද වලට පෙරලුවෙමි. නිර්මාණයෙහි යම් පසුගාමී ස්වභාවයක් ද ඇතැයි මටම විටෙක සිතේ එහෙත් තීන්දුව ඔබට බාරයි............     

10/06/2012

පුලුවන්ද මට කියන්න

බොරු ගොඩක් මතකයේ රැන්දුව ..
වේදනාවක්..
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා

කිසිත් නොලැබුන..
ආදරේ යයි සිතුව..
වේදනාව
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා


ඇනෝනිමස්

9/13/2012

ඔහු, ඔහු සහ ඔවුන්.....


ඔහු,
හිස් බිම සිසාරා
ගිනි ගහන අව් කාස්ටකේ
රළු පොලව හා පොරබදිමින්
දහඩිය වගුරුවද්දී...


ලැබුනු සොච්චම් පඩියෙන්
පරණ ණය බර ගෙවමින්
පයිප්පේ වතුරත්
පරළු පාන් බාගෙත්
කුස ගිනි නිවද්දී....


                                                         ඔහු,
                                                         බැස අවුත් සැප රියෙන්
                                                         පැලඳ අව් කණ්ණාඩියක්
                                                         අණ දෙමින් වැඩ බිමට
                                                         සුදු ඇඳුම කොන වැකුනු
                                                         දුහුවිලි පිසිද්දී...


                                        ඔවුහු,
                                        ගත සවිය දිය කල
                                        දහදිය හෙලන ඔහු දෙස
                                        ඔරවමින් බලමින්
                                       "ජරා මිනිස්සු"


                                       ඇය,
                                       එලිවෙන පාන්දර
                                       කවුළුවෙන් හිස යොමා
                                       "මේ මොන කරච්චලයක්ද"
                                       ඔහුට බැන වදිද්දී...

                                                        ඔහු,
                                                        පැමිණ රතු පලස් මතින්
                                                        නැගුනු ඔල්වර හඬ මැද
                                                        ඈගේද ඔවුන්ගේද හරසර ලැබ
                                                        පීත්ත පටි කපද්දී....

ඔහු,
දහදිය වගුරවයි
රළු පොලවේ ගැටෙමින්
ගිනිගහන අව් කාස්ටකේ
තවත් එක් හිස් බිමක...



ලිව්වේ, පරා 06.




9/08/2012

මාවතේ ජීවිත ~7~" යනවා යනවා ගෙදර ගිහින් කනවා ...."


      "නිවාඩු දවසෙ වත් මෙ ළමයට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි...." උදේ බත් පිඟන අතට දෙන ගමන් අම්මා කියනවා.සතිය පුරාවට ගෙදර නොයින්න මම නිවඩු දවසටවත් ගෙදර ගෙදර ඉඳියි කියල අම්මගේ හිතේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. එහෙත් ඒ වචනෙට මට ගෙදර නවතින්න බැරි වෙනවා. ඊලග පොයට සෙට් වෙමු කියල යලුවන්ට කිව්වෙ ගොඩාක් කාලෙකට කලින් කියල මට මතක් වෙනවා.උදේ විතරයිනේ අම්මෙ දවල් කෑමට එනවනේ ඊට පස්සෙ හවස් වරුවම ඉන්නවනෙ මම අම්මට කියනවා. අහස තදින් කලුකරගෙන එනවා. අම්මො අදනම් වහින්න එපා ක්‍රිකට් ගැහිල්ල වැස්සට හේදෙයි මට හිතෙනවා. කටට දෙකට උදේ කැම කාලා මම බයිසිකලෙත් අරන් පිටවෙනවා. දවල් කැමට එන්න අම්ම ආයෙත් කියනවා. හරි අම්මේ මම උත්තර දෙනවා.
            බයිසිකලේ අතට ගත්තාම මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. කලින් දවසේ වැහැපු වැස්සට පාරෙ සමහර තැන් තාම වතුර පිරිල ලොකු වතුර වලවල් හැදිලා.වතුර වලවල් බේරගෙන මම රුං ගාල පල්ලියේ වත්තට යනවා. වත්තල පල්ලියට යාබදව පිහිටි විශාල භුමිය  ගමේ කොල්ලන්ට ලොඩ්ස් පිටියට වඩා වටිනවා. වැස්සට පිට්ටනියෙ කෙලවරක් මඩ වෙලා.කට්ටිය කතාවෙලා කණ්ඩායම් දෙක බෙදා ගන්නවා. පුංචිකාලේ තවත් එකෙක් හොයාගෙන, කරට අතදාගෙන   ටිකක ඈතට ගිහින් උඹ ඉර මම හඳ කියල උච්චි තෝල් දාල, කණ්ඩායම් බෙදපු හැටි මට මතක් වෙනවා.  ඒ පුංචි උන් දැන් ලොකු මහත් වෙලා , කාලය ගෙවිල ගිහිල්ලා. එහෙත් ශරීර වලින් ලොකු මහත් උනාට උන්ගෙ හිත් එදා වගේමයි කියල මට හිතෙනවා.
          තරඟය පටන් ගන්න සියල්ල සුදානම්. විකට් එකට කණු තුනක්  හොයාගන්න වෙනුවට පල්ලියේ තිබිච්ච කැඩුණු පුටු කබලක් ගෙන්ල්ල තියනවා. මමත් කොහොම හරි බැට් කරන කණ්ඩායමට තෙරිල තියනවා.
   පල්ලියේ දැවැන්ත ගේට්ටු අතරින් තවත් කෙනෙක් දුවගෙන එනවා. කාලගෝල නාට්‍යයේ කාලගෝල චරිතය වගේ මිටි මහත විරුපි විදියට දුව එන පුද්ගලයා පිස්ටෝ කියල මම අඳුර ගන්නවා. අන්න පිස්ටෝ එනවා කියල අපේ කෙනෙක් කෑගහල කියනවා.අපි කවුරුත් පිස්ටො කියල කිව්වට එයාගේ ඇත්ත නම අපි කවුරුත් දැන සිටියේ නැහැ. පිස්ටෝ අවුරුදු හතලිහකට පමණ වන කෙනෙක්. ඔහු අපි ලඟට ඇවිත් මොනවදෝ කියනවා. එ කියන දේ පැහැදිලි නැතත් ඔහුවත් එකතු කරගන්න කියනව කියල අපි තෙරුම් ගන්නවා.ෆීල්ඩ් කර්න පිල පිස්ටොව එයාලගෙ කන්ඩායමට ගන්නවා.
         පිස්ටො මනස නොවැඩින පවුලෙන් පුංචිකාලෙම අතහැරදමුනු කෙනෙක්. ඔහුගෙ නාවාතැන වුනේ පල්ලිය ඉදිරිපිට තියන දැවැන්ත ප්‍රතිමාවේ ආවරනය. පොයින්ට් ගලී ත'ඩ් මැන් ආදී කලාප වල මාගේ මිතුරන් පන්දු රකින අතර පිස්ටෝ මඩ වල අසල පන්දු රකිනවා මගේ සිත විස්තර විචාරය කරනවා.මඩ වල අසල උනත් මනුස්සයගේ මුහුනේ සිනහව පිරිල තියනවා. අද මමත් සෙල්ලම් කරනවා මනුස්සයට හිතෙනවා ඇති.
      විකට් එකක් වැටිල කට්ටිය සතුටු වෙනකොට පිස්ටොත් කට්ටියට එකතු වෙලා උඩ පැනල නාටනවා . එහෙත් කිසිම හේතුවක් නැතුවත් පිස්ටො අතේ ඇඟිලි සෙරම දිගැරල  කට්ටියට "පහක් දාලා" අත්දෙකන් මුන වහගෙන හිනාවෙනවා. අපෙ අයත් එක බලාගෙන පිස්ටොට හිනාවෙනවා.වේගයෙන් ගහන බෝල පාරක් මඩ වලට යනවා. පිස්ටො මඩ වල පුරාම දුවල ගිහින් බෝලේ අරගෙන ලඟම ඉන්න කෙනාට විසිකරනවා.
   ටිකෙන් ටික වැහි වලකුලු එහෙ මෙහෙ වෙලා අහාස පැහැදිලිව පෙනෙනවා. එක පාරටම බෝලේ මම ඉන්න දිහාවට උඩින් ඇදිල එනවා. මමත් බොලේ අල්ල ගන්න ඉස්සරහට දුවනවා. මගෙ අත් දෙකේ   රැඳුනු බෝලේ අඟිලි අතරින් රිංගල පපුව බඩ දිගේ රූටල  ගිහින් බිමට වැටෙනවා. මම අයෙත් බිමට නැවිල බොලේ අහුලල විසිකරනවා. මච්ං උඹ බුදියන්ද ඉන්නේ අපෙ කෙනෙක් මගෙන් අහනවා. නිවාඩු දවසෙ මොකට ආවද කියල මටම හිතෙනවා.
       දවල් වෙනකොට එකාදෙන්නා මරුවෙලා යනවා.අන්තිමට පිට්ටනිය අයිනේ දැවැන්ත පිහිඹිය ගහ යට ඉතුරු උනේ අපි හයදෙනෙකුයි පිස්ටොයි විතරයි. කට්ටියගේ ආගිය කතා ඉවරවෙනකොට හොඬටම දවල් වෙලා.බඩගින්නත් ටිකෙන් ටික දැනෙන්න පටන් අරන්.මමත් ගෙදර යනවා කියල අපෙ කෙනෙක් නැගිටල යන්න ලෑස්තිවෙනවා. බඩ ගිනියි මචන් කොහෙන්ද කන්නේ කියල තව එකෙක් අහනවා. ගෙදර ගිහින්ම කනවා අම්ම දවල් කැමට ගෙදර එන්න කියල කිව්වා මම කියනවා.අපේ කතා අහන් හිටපු පිස්ටො මොනවදෝ කියාගෙන පිටවෙනව. හරියටම තෙරුනේ නැතත් කියවුනේ යනවා යනවා ගෙදර ගිහින් කනවා වගේ කියනවා අපට තේරේනවා. අපිත් පල්ලියේ පයිප්පෙන් මුන කට හොදගෙන ගෙදර යන්න පල්ලියේ මහ ගේට්ටුව ලඟට එනවා.පිස්ටෝ පල්ලියේ ඉස්සරහ ප්‍රතිමාව යටට වෙලා පාරෙ යන එන වාහන දිහා බලන් ඉන්නවා.
පිස්ටො අපිටත් කලින් ගෙදර ගිහින් අපෙ එකෙක් කියනවා.
ඔව් පිස්ටො ගෙදර ගිහින් අව්වට වැස්සට පිස්ටො ඉන්න ප්‍රතිමාවෙ ආවරනය යටට ගිහින්.
මට යන්න ගෙදරක් තියනවා ...... ඒ ගෙදර කුස්සියේ මේසේ උඩ තියන වලං වල අම්ම උයාපු දවල් කෑම තියනවා. මට විශ්වාසයි ඒත් පිස්ටොට...........

ගෙදර යනවා ගෙදර ගිහින් කනවා පිස්ටො කියන්න හදාපු වචන දවල් කෑම එක අම්ම බෙදල දෙනකොට මගේ ඔලුවෙ මැවිල පෙනෙනවා. ..............

පිස්ටො .,තමන්ගෙ හිසට වහලක් නැති , කුසට අහරක් නැති තවත් එකෙකු පමනයි
පිස්ටොලා දහස් ගනනක් මේ පුංචි ආශ්චර්යමත් භුමිය තුල තවත් කොතෙකුත් ඇත්ද මට හිතෙනවා..........

ප ලි .
පිස්ටෝ මනඃකලිප්ත නමක් යෙදු සැබෑ චරිතයකි
සත්‍ය සිදුවීමක් නොවේ .

ඔටුවා 08