12/20/2011

කියමි කෙසේ..??

උතුරු අහසේ තරුව විලසේ
සඳුට රහසේ දිලෙන්නම්

සොඳුරු පවසේ සුලග විලසේ
ලොවට රහසේ සරන්නම්

සොඳුරු දවසේ මතක විලසේ
හිතක රහසේ රැඳෙන්නම්

ඔබට රිසිසේ කියනු කෙලෙසේ
තනිව මෙලෙසේ හිදින්නම්

12/15/2011

වෙන් ලවු මේකිං



මුහුන පුරා දැලි රැවුලක්      ආවා
නාඹර විය මට ඉඟි බිඟි      පෑවා
මලවර විය දුටු කෙල්ලන්   ගාවා
අමුතුම පෙම් මල් සුවඳක්    ආවා

කෙල්ලන් පස්සේ මම ලුහු      බඳිමී
ඇය එන තුරා මහ මඟ පැල්    රකිමි
ඇයට ඇහෙන්නට බොරුවට කහිමි
තව එක සිගරට් උගුරක්           අදිමි

ඔබ මගෙ පෙම් කඳ ,රන් කඳ ,පොල් කඳ
මාසේ පෝයට පායන                පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින්          ඉඳ
නාලයි ආවේ දැන් නැහැ             ගස් ගඳ

තණ කොළ බිස්සේ-ලිය ගොමු   අස්සේ
පතෝල මැස්සේ -ඉඳලයි          බැස්සේ
තෙමි තෙමි වැස්සේ-පෙම් කළ   රිස්සේ
නිකන්ම ගැස්සේ -බැන්දට          පස්සේ

පෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
සිනමා හලකට රිංගමු       ජොලියේ
හිටියත් පැය ගනනක්  බැල්කනියේ
නමවත් නොදනිමි     චිත්තරපටියේ

කට්ලට් ,ඔම්ලට් ,ෂර්බට්         මස්කට්
දෙන්නද ඩාලිං කැඩ්බරි       චොක්ලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ     බිස්කට්

එනු මගෙ සුන්දර සූකිරි     බෝලේ
අපි දෙන්නට දැන් සිකුරගෙ කාලේ
දාගත්තට පසු පොල්කටු       මාලේ
ගයමු-රඟමු අපි ගහමින්     ඩෝලේ

කවදද සුදු ඔබ අයෙ මෙහෙ   එන්නේ
කෙලෙසද ඔබ නැති කළ මම ඉන්නේ
බඳිමුද ඇහුවම ඇයි නිල්      වෙන්නේ
කුමටද මඟුලට කම්මැලි         වන්නේ

අහසේ රන්තරු ගලවා     දෙන්නම්
මුහුඳේ මිනි මුතු අරගෙන දෙන්නම්
සසර වසන තුරු ඔබම    පතන්නම්
බඳිමුද ඇහුවොත් පැනල දුවන්නම්

දැක්කම විංකිං -නැතුවට         කිංකිං
පෙම් සයුරේ අපි යටටම          සිංකිං
වෙන් ලවු මේකිං -නෝ මෝ ජෝකිං
විල් යූ මැරි මී? අයෙ බණ     ටෝකිං

මේ අයි කිස් යූ?විල් යූ නොට් ගිවු?
ඩූ නොට් සේ දැට් යූ ඩූ නොට් ලවු
ඉෆ් යූ සේ සෝ අයි ෂැල් ඩයි නවු
ඕ මයි ඩාලිං,හවු කැන් අයි     ලවු

කාලෙකට පෙර කලා කව දැන්වීම් පුවරුවේ දමා තිබුණු රසවත් පද පේළි කිහිපයකි.රචකයා ගැන සඳහනක් නැත.පහළින් මෙවැනි සටහනක් පමණක් ඇත.
උපුටා ගෙන ඉදිරිපත් කළේ E/00/නිරාෂ

12/10/2011

ඒ ගොඩනැගිල්ල අපට හදලා දුන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අයියලා අක්කලා

ඉංජිනේරු පීඨයේ "අරුණැල්ලෙන්" ඇතාබැඳිවැව කණිටු විදුහලට තෑග්ගක්.......වැඩි විස්තර

12/03/2011

~ පාර ~ (හදන ඇත්තෝ සහ යන ඇත්තෝ )


ගලා එන මඳ අඳුර පසාරු කරගෙන මෝටර් රථය ඉදිරියටම ඇදී යයි.නිවසට ළඟා වීමට තව වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවනු ඇත.
"හ්ම්..හෝම් ස්වීට් හෝම්..."
මම සුසුමක් හෙළීමි.අලුත්ම අලුත් ටොයෝටා යාරිස් රථය දුටු විට අපර්ණාගේ මුහුණෙන් මතුවන ප්‍රහර්ශය,ඒ සිනහව රිසිසේ විඳ ගැනීමට මම නොඉවසිලිමත් වීමි.වැඩිපඩි රැකියාව,විවාහය,අලුත් නිවස ,දැන් අලුත්ම කාරයක්! මිනිසෙකුට සැනසිල්ලේ ජීවත්වීමට අවැසි සියළු දේ මා සතුය.මම උදම් ඇනීමි.  
Life is beautiful!!.
කුඩා කළ කිසිසේත්ම විශ්වාස නොකළ නමුත් දැන් තරයේ අදහන "ධර්මය" සිහිවිය."සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ"
මුවඟට නැඟුනු සිනහව වැළක්වීමට උත්සහ නොකර සුක්කානමට ඇඟිලි තුඩු වලින් තාලයට තට්ටු කරමින් මම රථය වේගවත් කිරීමට යුහුසුළු වීමි. නමුත් ඒ සඳහා ඉඩක් නොවීය
"ෂෙහ්...රට කොච්චර දියුණු උනත් ,අපි කොච්චර දියුණු උනත් මේ කෙහෙල්මල් පාර නම්!!!"
සඳේ ආවාට මෙන් පෙනුනු ලොකු වලවල්වලට වැටෙමින් ඉදිරියට ඇදෙන කාරය දරුණු ලෙස වෙවුලන්නට විය.හිතට නැඟුනු ආවේගය ,සුක්කානමට පහරක් ගසමින් පිට කළෙමි.හැකි තාක් වලවල් බේරමින් සෙමෙන් සෙමෙන් ධාවනය කළෙමි.තව ටික වේලාවකින් රාවණාවත්ත හන්දියට  පැමිණෙන වගත් එතැන් පටන් පාර හොඳ බවත් සිහිවීම පමණක් හිතට සැනසිල්ලක් ළං කළේය.
"කම්කරුවන් පාරේ වැඩ" යනුවෙන් ලියා තිබුණු දැන්වීම් පුවරුවක් පාර අයිනේ ගසක එල්ලා තිබිණ.
"අහා පාර හදනවා එහෙනම් .හප්පච්චියේ ලොකු දෙයක්" මම මටම කියාගත්තෙමි.පාර සෑදීම ආරම්භ කර ඇත්තේ රාවණාවත්ත හන්දියේ සිට විය යුතුය.කොහෙන් පටන් ගත්තත් කොහෙන් ඉවර කළත් ,මින් පස්සේවත් සැනසිල්ලේ ගෙදර යා හැකිය.
දැන් හන්දිය පේන තෙක් මානයේය.සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමින් තිබුණ කාරය එක්වරම නතරකිරීමට සිදුවූයේ  අතක් ඔසවාගෙන ඉදිරියට පැන්න වයසක මනුස්සයෙක් නිසාවෙනි.මට නැවතී සිටින ලෙසට ඔහු හස්ත සංඥාවෙන් පැවසුවේය.පාරේ ඉතිරි කොටස හදන බවක් පෙනුනද පෙරකී මනුස්සයා හැරුණු කොට වෙනත් කිසිවෙකුත් දක්නට නොවීය.විනාඩියක් දෙකක් නොව විනාඩි පහක්ම ගතවිය.ඉවසීමේ සීමාව පනින්නට පෙරම මම එළියට බැස්සෙමි.මාර්ගය අවහිර කරගෙන උන් මිනිසා දෙසට ගියෙමි.
"මොකද මෙතන වෙන්නෙ?"
"පාර හදනවා මහත්තයෝ"ඔහු බුලත් කහටින් සැරසී තුබුණු දත් ඇඳි දෙකම පෙන්වා සිනාසිණි.
"හරි හරි මම ඒක දන්නවා..මම අහන්නේ දැන් මොකෝ මේ කරන්නේ ..වාහන නතර කරගෙන"
වාහනයයි බහුවචනයෙන් කීවද සිටියේ මා පමණකි.තව හවුරුහරිවත් සිටියානම්.
"පාරේ මේ ටික හදල ඉවර කරන්න තමා මහත්තයෝ හිටියේ.ඒ අස්සේ අපේ කොල්ලෙක්ට පොඩි කරදරයක් උනා..හොඳටම තුවාලයි..ඉස්පිරිතාලෙට ගෙනිච්චා...අර බලන්න මහත්තයා පාර පුරාම ලේ"
මට ඒ දෙස බැලීමට වුවමනාවක් නොවීය.
"ඒ කියන්නේ අද මේ පාර හැදෙන්නෙ නැද්ද?"
"ඉස්පිරිතාලෙ ගිය කට්ටිය  ඉක්මනට ඇවිත් හදාවි මහත්තයෝ...ඒගොල්ල මඟ එනවලු .වැඩි වෙලා යන එකක් නෑ."
"ඒගොල්ලෝ එනකල් මට මෙතන බලාගෙන ඉන්න ඕනෙද..හා හා කමක් නෑ..මනුස්සයෙක්ට කරදරයක් වෙලානෙ ."
"ඔව් මහත්තයෝ..අහිංසක කොල්ලෙක්..මං ඌට කිවුවා ආපු දවසෙම උඹට මේවා ගැළපෙන්නෙ නෑ කියල...සෝමාරි කමට හැදිච්චි එකෙක්...හොඳට ඉගෙනගෙන තියෙනව මහිතෙ,විස්ස විද්යාලෙට ළකුණු කොච්චරක්ද මදි වෙලා........."
"හ්ම්......කැම්පස් එකකටවත් ගියානම් මොකක් හරි එකක් කරගන්න තිබ්බ "
"ඒක තමා අපිටනම් කමක් නෑ ඉතින්...මාත් අවුරුදු විස්සේ ඉඳන්ම මේ පාරවල් වල වැඩ තමා කරේ....මටනම් පුරුදුයි..මේව්වා ලේසි වගේ පෙනුනට පුදුම දුකක් මහත්තයෝ..අවුවෙ කර වෙවී..දාඩිය පෙරාගෙන....ඒත් ඉතින් ඒ පාරේ මිනිස්සු ..වාහන සන්තෝසෙන් යනව දකිනකොට අපිටත් ආඩම්බරයි...මොකෝ අපි යන එකක්යැ වාහනවල...."ඔහු කොක් හඬ ලා සිනාසෙන්නට විය.
මමද මදහසක් නැඟීමි.කෙසේ නමුත්  මට එවේලේ අවශ්‍ය වූයේ එතැනින් පිටවීම පමණි.දවස පුරාම වැඩ කිරීමෙන් මමත් පාරවල් හදන මනුස්සයාට වඩා වෙහෙස වී සිටියෙමි.ගෙදරට වී මා එනතුරු බලා සිටින අපර්ණාගේ මුහුණ සිහිවිය.
."ශෙහ් අද කොච්චර ලස්සන දවසක් වෙන්නට තිබුණාද?"
ඇයට කතා කළ යුතුය.මම දුරකතන ඇමතුමක් ගෙන කාරය තුළට ගොස් හිඳගත්තෙමි.කතාවෙන් කතාවෙන් බොහෝ වෙලා ගතවිය..ඒ අතරතුරේ රෝහලට ගොස් සිට පැමිණි කම්කරුවෝ නැවත වැඩ කරනු දුටුවෙමි.ඇමතුම නිමා වූ පසු දැවැන්ත වෙහෙසකින් ශරීරයම පෙළෙන්නට විය.මටත් නොදැනීම මගේ නෙත් පියවිණි ඇත.මට කාර තුළම නින්ද ගොස් ඇත. කොපමණ වේලාවක් ගත වෙන්නට ඇත්දැයි නොදනිමි. එක්වරම කන ළඟින්ම ඇසුණු ශබ්දයකින් මම තිගැස්සී අවදි වීමි.අර මනුස්සයාගේ මුහුණ කාරයේ ජනෙල් වීදුරුව තුළින් දිස්විය.බුලත් කහටින් වැසුණු දත් දෙපල තිගැස්සි අවදි වුණු මට තවත් තිගැස්මක් ඇති කළේය.මම වීදුරුව පහත් කළෙමි.ඔහු කතා කළේය.
"මහත්තයා පාරනම් හදල ඉවරයි..දැන් මහත්තයට පුලුවන් හැටට හැටේ යන්න.."

ගැටයා