5/25/2015

කවියට කවියක්....................




ඇසිල්ලක් පාසා
කවියටයි හිත ආසා
නැතත් රස බාසා
එයින් වේවිද කුමන දෝසා

විරිත මත යතිය
රැකලම බොහොම හතිය
හුරු පුරුදු ගතිය
අතැර දැමුමට සිතක් නැතිය

සොඳුරු පද පාවී
හිත අද්දරට ඒවී
තවත් රස වේවී
නුඹේ සවනත සොයා ඒවී

දුක කඳුළ සින්දා
පාළුව තනිය බින්දා
කවිය නුඹ හින්දා
මමත් සැනසුම් සුවය වින්දා
.
.
.
.
.
චාලි - 11

Read more »

5/16/2015

තුන් ඈදුණු කතාවක් ~අවසන් කොටස ~ බණ්ඩාරගේ ගේ කතාව

එකිනෙක බැදුණු කථා තුනක තුන්වැන්න(අවසන් කොටස)

පළමු කොටස         
තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව 

දෙවන කොටස   තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව


අත වූ ටෙලිග්‍රෑම් කඩදහිය කුසුමා අතට දෙමින් ඒකනායක මාමා ලී පුටුවට බර වුනි. ඇත්තෙන්ම මනුස්සයෙක්ට මෙච්චර කරදර වෙන්න පුළුවන්ද යයි මාමාට  සිතුනි.
"ඒකනායක මල්ලිට කියන්න ඇත්තටම මල්ලි සතුටයි දුකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. දෙකම හැම වෙලේම තියන්නේ බොහොම ලගින්  එත් එක පාරකට පෙන්නේ එන්නේ එක්කෙනයි".
අතීතයේ දවසක කැන්ටිමේ ප්ලේන්ටියක් බොන ගමන් ඉතුරු ලැබුණු රුපියලේ කාසිය පෙන්වමින් බණ්ඩාර කියනවා මාමාට මතකය. බණ්ඩාරගේ ගම්පලාත නුවර කිට්ටුවය.
"අපි සිංහල රාජවන්සයේ ඈයෝ....".
බණ්ඩාර නිතර කියයි. කෙතරම් හිත හොද මිනිහෙකු වුවද බණ්ඩාරගේ මෙම රජවංස කතාව අනෙක් උදවියට එතරම් දිරවන්නක් නොවීය.

එත් හැමොගෙම් ජීවිත කණපිට පෙරලුනු අසුවේ ජුලි මාසයේ ඒකනායක මාමාට අත්වූ ඉරණම බන්ඩාරටද අත්විය. ඔහුගේ රැකියාව අහිමි වනවිට බණ්ඩාරගේ වැඩිමහල් පුතු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට  නියමිතව සිටියේය.
"ඉඩම් විකුණලා හරි මල්ලි කොල්ලට උගන්වනවා..... උගේ ආසාව දොස්තර මහත්තයෙක් වෙන්න...."

බණ්ඩාර කිවේ තමුන්ගේ පුත්‍රයා ඉහලින් සාමාන්‍ය පෙළ සමත් වූ දිනය. රස්සාව නොමැති වුවත් ඔහු යලිත් ඉක්මනට තමුන්ට රස්සාව ලැබෙතැයි බලා සිටියේය.  යලිත් නුවර තම ගම්පලාතට ගිය බණ්ඩාර ගැන මතකය කෙමෙන් කෙමින් ඒකනායක මාමගේ සිතෙන් ඇත් වන්නට විය.

එහෙත් එකතරා හැන්දෑවක හදිසියේම මාමගේ නිවසට බණ්ඩාර පැමිණියේය. ඔහු වැහැරී ගොසිනි. ඇද සිටී අදුමද  බෙහෙවින් කිළුටු වී තිබුණි. මුහුණේ දැඩි රැවුලක් මෙන්ම දිගට අපිලිවට වැවී තිබුණි කොණ්ඩය බණ්ඩාරගේ පෙර තිබුණු පෙනුම වෙනස් කර තිබුණි. දින ගණනකින් නින්ද ඔහු අසලටවත් පැමිණ නැති බව මාමාට සිතිනි.
"එකනායක මල්ලි පුතා අතුරුදහන් වෙලා දැන් මාස ගානක් වෙනවා මම රට වටේම හෙව්වා කිසිම ආරංචියක් නැහැ".
 ඒ බණ්ඩාරගේ අදොනාවයි. කිසිදාක නොසැලුණු මේ අභිමානවත් මිනිසාගේ දෑස් කදුලින් පිරී යනු මාමා බලාසිටියේය.  බණ්ඩාරගේ පුතා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වුයේ  මනහුවර දිත්රික්කයෙන්ම ඉහලින් සමත් වෙමිනි.

විශ්ව විද්යාල ඇතුලත්වීමේ සහතිකය මරණ සහතිකය වූ සමයක භීෂණයේ සෙවනැලි බණ්ඩාරලාගේ පුතුන්ගේ ජීවිත මතටද වැටී තිබුණි. ඒකනායක මමද බණ්ඩාර සමග හමුදා කදවුරු ගානේ ගියේය. හමු නොවූනු  දේශපාලන නායකයෙකු නොමැත. එහෙත් කිසිවෙකුත් පුත්‍රයා ගැන කිසිවක් නොදනියි. යනෙන සෑම ගමනකදීම බණ්ඩාර බසයේ වීදුරු කවුළුවෙන් හිස එලියට දමාගෙන මහමග දැවෙන තරුණ මලකදන් අතර තමන්ගේ පුත්‍ර යා ගේ මුහුණ සෙවීය.
"ඒකනායක මල්ලි එක්කෝ මුන් පුතාව මැරුවත් කමක් නැහැ දස වද  දිදී තියාගෙන ඉන්නේ නැතුව..." මරණය රජ කරන සමයක ආදරණීය පියෙකුට වුවද තම පුත්‍රයාගේ මල සිරුර දැකීම එක්තරා ආකාරයක සැනසීමක් බවට පත්කර තිබුණි. ඔහු සිය පුත්‍රයාගේ ඉරණම දනී මාමාට සිතේ .

මාමාට අවසන් වරට බණ්ඩාර හමුවූයේ පසුගිය සතියේ බණ්ඩාර ගේ පුත්‍රයාගේ අවසන් කටයුතු කරන දිනයේය. බණ්ඩාරගේ  සිහි විකල් වී තිබුණි. පුතුගේ දේහය වත් දැක බලාගැනීමට කිසිවෙකුටත් නොහැකිවන තරමට මෘගයන් අතින් විනාස වී තිබුණි. මහවැලි ගහේ පාවෙමින් තිබුණු අඩක් පිළිස්සුනු සිරුර හදුනා ගත්තේ බණ්ඩාර විසින්මය.

"පව් අසරණය" ටෙලිග්‍රෑමය කියවූ කුසුම කියන්නට වුනි.
"දැන් අපේ මහත්තය කවදද නුවර යන්නේ". අසන්නේ කුසුමාය.
" කොචිචියට පැනපු නිසා වැඩි කල් තියාගන්න එකක් නැහැ හෙටම අවසන් කටයුතු කරයි හෙට උදෙන්ම යන්න ඕන". ඒකනායක මාමා සිය මිතුරාගේ මළගමට යාමට සැරසුණි.


~ තුන් ඈදුණු කතාවක් පසුවදන~












(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින් තමුන්ගේ අයිතීන් වෙනුවෙන් කල උද්ගෝෂණයට පොලිස් බාධාකිරීම  dailymirror.com/infolanka.com)

2012 අගෝස්තු 12 වෙනිදින "80 ජුලි වර්ජකයින්" කල උද්ඝෝෂණයකට පොලිසිය විසින් කල පහරදීම තුන් ඈදුණු කතාවක නිමිත්ත විය(ඒකනායක මාමා ගේ කතාව 2013-04-11).
එහි ගොනු වූ ඉතිරි චරිත දෙක  රාමචන්ද්‍රන්( රාමචන්ද්‍රන්ගේ කතාව 2013-09-15) හා බණ්ඩාර, 80 දශකය තුල මිනිසුන්ගේ ජීවිත ගැන අපි අසා ඇති පරිදි ගොඩ නැගු චරිතය.
"80 වර්ජනයෙන් රැකියා අහිමි වූ හා එම වර්ජනයේ මහා වීරයන් රටේ පාලකයන් වූ ආණ්ඩුවෙන් කදුළු ගැස් කාපු, හැමදාම තැලෙන අපිදන්නා හදුනන හා නොදත් ඒකනායක මාමලා නොකියාම නික්ම ගිය රාමචන්ද්‍රන්ල, බණ්ඩාරලා වෙනුවෙන් .........."

සුභාෂ් (08_ඔටුවා)

Read more »

5/15/2015

මගේ හීනෙට නුඹ ඇවිදින්....

බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. වෙලාවක් නෑ කියලා බොරු කියන්ඩ ඕනේ නෑනේ. හිත එකලාසයක් නැතුව.
මං සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලියපු කවියක් ආයෙමත් දාන්ඩ හිතුනා. මේවා කියවද්දි මතක් වෙනවා අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා....

අද වාගේ මතකයි
මට අත් පටලං දෙවැට දිගේ
දුව පැන ඇවිදපු අන්දම්
අපෙ බාලේ මගේ නගෝ...

සීත ඉමේ සැපට හැදුනු 
පොප්ලර් ගස් දෙකක් වගේ 
ජීවන සුලඟේ වෙලෙමින් 
පියමැන ආ මඟ මතකයි...

ඒ සුලඟට ගහගන ආ
හිරිමල් වයසේ හැඟුමන්
කිතිකැව්වා අප හිත් පොඩි
අනංග හී සර විදිමින්...

නුඹ දාලා සිදාදියට 
අකුරු කරන්නට ආවත් 
මං දාලා ගම අතහැර 
නුඹ ගියේ නෑ මගේ නගෝ...

ඒ උනාට නුඹව නොදැක
ඉන්නේ කෝම මාත් නගෝ
මගේ හීනෙට නුඹ ආවේ 
කියන්නදෝ නුඹේ ආලේ...

සිදාදියේ ගැටිස්සියන් 
පෑවත් දහසක් ඉඟිබිඟි 
අමතක නෑ නඟේ උඹව 
මං එනවා නුඹ බලන්ඩ...

පරා '06 

Read more »

5/12/2015

|| ඔවුහු ||



"අමතක කරල දාන්න"
ඔවුහු ඈට කීහ.
"අමතක කරල දාපං බං"
ඔවුහු ඔහුටද කීහ.
"වැඩක් නෑ"
"තේරුමක් නෑ"
"ගිය දේ ගියා"
"වෙන අතක් බලාගන්න"
ඔවුහු කීහ.
"ඕවා ඔහොම තමයි"
"මොනවා කරන්නද"
"මිනිස්සුන්ට තමයි හැම දේම"
ඔවුහු නැවතත් කීහ.
"උදව්වක් කරන්න පුළුවන්ද"
ඈ ඇසුවා ය.
"ඔව් කියන්න"
ඔහු කීය.
ඔවුහු නොකීහ.
.
.
.
මල් සූටික්කි - 12

Read more »