11/30/2011

පුංචි කතාවක්.... හිතලා බලන්න.....

ඉතිං කොහොමද? කාලෙකට පස්සේ කොටන්ඩ ගත්තේ කවි කියන්ඩ නම් නෙවේ. පොඩි සිද්දියක් මතක් උනා. ඒක කියල යන්ඩ ආවේ.කැම්පස් කාලේ හරි සුන්දරයි නේද? කරපු විකාර වැඩ කොච්චර තියනවද? වැඩි හරියක් කරේ ඒවා තමා. අතරින් පතර වැඩකට ඇති වැඩත් කරා. මගේ කැම්පස් කාලේ මතක් කරද්දි ඉස්සරහටම එන එකක් තමා ඉංජිනේරු පීඨ කලා කවේ කියන්නෙ. දැන් ඉතිං නත්තල් කාලෙත් ලඟ එනවනේ. අපි ගිය අවුරුද්දේ නත්තලට පොඩි වැඩක් කරා. අපි කියන්නේ ඔය කලා කවේ කොල්ලො කෙල්ලො ටිකයි අපේ වැඩට උදව් කරන ෆැකල්ටියෙ උන් ටිකයි, අපේ ජනක සරුයි. මුලින්ම අපේ අදහස තිබුනේ කවදාවත් කරලා තිබුනේ නැති හින්දා කැරොල් එකක් කරලා බලන්ඩ. අපි එකතු වෙලා ප්‍රැක්ටිස් කරගන යනකොට හිතුනා ඊට වඩා හරවත් දෙයක් කරන්ඩ කියලා.
ඉතින් අපි ලෑස්ති උනා නත්තල් උත්සවේ නියම සතුට සමරන්නත් එක්ක කට්ටිය එකතු වෙලා ලමා නිවාසෙකට ගිහින් එහෙ ඉන්න අහිංසක ලමයි ටිකක් එක්ක ඒ සතුට බෙදාගන්න. අපි සින්දු ටිකක්කුත් ලෑස්ති කරගන පුලු පුලුවන් විදියට තෑගි ටිකකුත් හදාගන නුවර ලමා නිවාසෙකට ගියා.
එතෙන්ට ගියාට පස්සෙයි අපිට තේරුනේ අපි කරේ කොච්චර ලොකු දෙයක්ද කියන එක. ඒ පොඩි උන්ගේ මූනේ ඇඳිච්ච අහින්සක හිනාව දැක්කම, ලැජ්ජාවෙන් වගේ ඉස්සරහට ඇවිත් පොඩි සින්දුවක් කිව්වම.... ඒ නත්තලේ අපිට හම්බුනු ලොකුම තෑග්ග තමයි ඒ හිනාව. අපිට පොඩි උන්ට ලොකු දෙයක් දෙන්ඩ බැරි උනා. ඒත් ඒ පොඩි උන් අපෙන් ලොකු දෙයක් බලාපොරොත්තු උනෙත් නෑ. අපිත් එක්ක එකතු වෙලා විහිලුවක් කරලා හිනා වෙද්දි, අත්පුඩි ගගහා පොඩි සින්දුවක් කියද්දි, ඒ ලමයින්ගේ ඇස් වලින් පෙනුන හම්බුනු සතුට කොච්චරක්ද කියලා.

































මං හිතන්නේ ඒක තමයි අපෙන් ඇත්තටම වෙන්ඩ ඕනා. අපි මිනිස්සු විදියට තවත් මිනිහෙක්ගේ දුක අඳුරගන තව කාගේ හරි හිතකට සතුට ගෙනත් දෙන්ඩ ඕන. ඒක තමයි අපිට කරන්ඩ පුලුවන් ලොකුම පින. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ අපි පුහු දේවල් වලට කොයි තරම් සල්ලි, කාලය නාස්ති කරනවද කියලා. මං පිලිගන්නවා මං ඕනා තරම් එහෙම කරලා තියනව කියල. ඒත් බස් එකට අසරන මනුස්සයෙක් නැග්ගොත් රුපියල් දහයක් දෙන එක අපිට ගොඩක් අමාරු දෙයක්. අපි කැම්පස් එකෙන් යන්ඩ කාමර අස් කරද්දි අරක්කු බෝතල් කොච්චර ඕව ඇතුලේ තිබුනද? ඒ වගේ වෙලාවකට සල්ලි නාස්ති කරන එක අපිට ප්‍රශ්නයක් නෙමේ.
බලාගන යද්දි වෙලාවකට අපි ජීවිත යන්තරේ පාට කරන්ඩ අර ගන්නේ පුහු දේවල්. ඒ දේවල් වැඩකට නෑ කියලා තේරෙන්නේ කාලයක් ගියාම.
මං හිතනවා කලා කවේ මේ අවුරුද්දෙත් ඒ වගේ දෙයක් කරයි කියලා. එහෙම කරොත් ඒ අය විතරක් නෙමෙයි, මිනිස්සු ගැන හිතන්ඩ පුරුදුවෙලා ඉන්න මේ බ්ලොග් එක කියවන අයත් සහයෝගයක් දෙයි කියලා. ඇත්තටම අපි මොනා හම්බ කරත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ හිතේ සතුටයි සැනසීමයි විතරයි නේද?

11/27/2011

පිපීයන් එකම එක මලක්වත්....


නොනිමි දිගු මාවතක
මැකී ගොස් වැතිර ඇති
සියත් සිය දස දහස්
මේ මගේ පා ලකුණු....

සිනහවක් සැඟව ගොස්
මතකයන් ඉතිරි කර
පියනගමු අනන්තෙට
සුවඳ මතකය කැටුව....

පාට ඉටි මල් ගොඩක්
නූවාට කමක් නෑ
මඟ කොනක පිපීයන්
එකම එක මලක්වත්....

ගිනිකූරි 7

හන්තාන රතු එළිය



හන්තානෙ කඳු මුදුනින්-සම්ප්‍රේෂණ කණු තුඩගින්
ගණ මීදුම් සළු ඉරා නැඟී විත්
කාල මැදියමේ සඳ නැති දා
දෑස කෙවෙනි තුළ වැදෙනා
රක්ත වර්ණ ගිණි පුළිඟු නගන එළි
හදවත පතුළට වැද සැඟවී
දහසක් සිතුවිලි මුදා හරියි
සසල හදට කොඳුරා


ලෙයින් පෙඟී කඳුලින් නැහැවී ගිය
සරසවි නිම්නය පරාවර්තනය වී දෝ
ඒ එළි නැංවෙන්නෙ....

තෙරක තිරක් නැති අනාගතය දැක
කණ නෙත් අභිමුව අනතුරු අඟවාදෝ
ඒ එළි කැරකෙන්නෙ....

බොඳවී යන වස්සාන යාමයට
පර මැයි මල් ලෙස ඔච්චම් පාලා දෝ
ඒ එළි හිනැහෙන්නෙ....

සබඳ එළිය නුඹ
පායාපන් සඳ නැති හැම රෑකම
මිලාන තරු එළිය පරදාලා..
තද රතු පැහැයෙන් දිස්න දිදී
දහසක් තීව්‍ර හැඟුම් දිදී

M.P පරාක්‍රම

11/17/2011

අම්මාගේ ආ(ලෝකේ)....


අකිකරු දැල්ලක්ව,
විටින් විට එළිය දුන්,
ගෙදර තිබු කුප්පි ලාම්පුව,
සොරු අරං ගියා නොව...

ඉනික්බිති...,

ගෙදර තිබු මිණි පහණ,
නැති උනයි සෝ දුකින්,
වැළපෙනවා හැමදාම,
අම්මා එළියක් සොයා....

කළක් ගත වු කළි,
දැල්වෙමින් බැබළෙනා,
මිණි පහණකුත් අරං,
අයියා ගෙට ගොඩ උනා...

ටික දොහක් ගිය කල්හි...,

හෑම විටම බැබළුනත්,
නිවෙන්නට වෙර දරන,
ඉටි පහන වගෙ යැයි,
අම්මගෙන් අවලාද...


ඉනෝෂා

11/16/2011

ඔබේ ස්වරයයි..ඔබ මගේමැයි!!

අපි කැමතියි මේ නිර්මාණයේ  අයිතිකාරයා කවුද කියල දැනගන්න ..අය්යෙ ඔයා අපෙ බ්ලොග් එක දැක්කොත් පොඩ්ඩක් අපිට කියන්න ඔයා කවුද කියල ..

11/08/2011

අම්මාට දුර ඇමතුමක්


වෙනදාට වඩා මට 
අද අම්මා සිහි උනා 
ඔව්‍ ඕව් මම හොදින් 
බොරු නෙවේ ඇත්තමයි 


හරිම සතුටෙන් ඉන්නෙ
යාළුවො වටෙමනෙ 
මොකට බොරු කියනවද 
හොදයි මම තියන්නම්


--------------------------
--------------------------


හඩ නගා හැඩු මුත් 
නෑසු කන් ඇති ලොවක 
මගෙ එක ස්වරයක් 
වෙනස් උනොතින් ඒක
අම්මේ නුබ දැනගන්නෙ 
කොහොමදැයි මට පුදුම 


තව දවස් කීයක්ද 
සෙනසුරාදා වෙන්ට 
ලගින් ඉද නුබේ අතින් 
බත් කටක් මට කන්ට 


Shakya

ගංගාවක කතාව........

එකෝමත් එක දවසක් රූස්ස ගස් පෙළක් පාමුලින්
පුංචිම පුංචි උල්පතක් පටන් ගත්තා.
ඒ ගස්වල හෙවණින්, ආදරෙන් පෝශණය වුනු පුංචි වතුර පාරක්
හිමීට පහලට ගලන්ඩ පටන් ගත්තා.
වෙලාවක රලු ගල්වල හැපෙමින් පෙණ බුබුළු දාගන,
තවත් වෙලාවක බොහොම සන්සුන්ව මේ දොළ පාර ඇදුනා.

දවසක ඔය වගේ දොළ පාරවල් ගොඩක් එක තැනකදි හම්බුනා.
මහා ලොකු ශක්තියකින් ආවේගමත් වුනු තරුණ ගංගාව
බොහොම උජාරුවෙන් ඇදී ගියා.
වෙලාවක ගල්මුල් වලින් හැදුනු බාදක ශක්තියෙන් ඉවත් කරගන.
ඔය අතරමගදි බොහොම ලස්සන දියඇලිත් හැදුනා.
දවසක් ආවා. ආයෙමත් පොඩි ගංගා ගොඩකට බෙදුනා.

අමුතු රටකට ඇතුල්වුනු ගංගාව තනි උනා.
ටිකක් ඈතින් සමාන්තරව තවත් වතුර ගලාගන යනවා.
හැබැයි එකතු උනේ නෑ.
පුලුවන් තරම් වේගෙන් ඉදිරියට යන්ඩ හදනවා.
ගඟේ වතුර පාර වැඩී, ඒත් ලස්සනක් නෑ.
එදා වගේ පෙණ බුබුළු දාගන, දියඇලි හදාගන ගියකාලෙ මතකයක් විතරක් වෙලා.
තනිවෙච්චි ගංගාවට පහුකරගන යන මිටියාවත් දිහා බලන්ඩවත් වෙලාවක් නෑ.
මොනා කරන්නද කියලා හිතාගන්ඩ බෑ.
මෙහෙම ගිහින් මුහුදට වැටෙයිද? එතනින් එහාට????????

ප්‍රශ්නාර්ථයක් විතරක් ඉතුරු වෙලා......


11/07/2011

අප නුබෙන් අසන්නේ???

ජීවිතයෙන්
තුනෙන් එකක්
පොත් සමග ගතකල
පවටද?
සතුට ප්‍රීතිය
ඈත් කර
නියම ගැටලු ලංකරගත්
පවටද?
විඩාබර නෙත්
නිදි නොකර
පොත් සමග රැය පහන් කල
පවටද?
දෙනෝදාහක් පිස්සුකෙලිද්දී
නිදහස් අධ්‍යාපනයේ
නියම ඵල නෙලාගත්
පවටද?
ලක් වැසියනේ
සලකන්නේ
මෙලෙස අපට

දළබුවා‘9

11/05/2011

~~මුලාව~~

සරා සදම සිහින හොරෙන් හොරකම් කරගෙන   
මගේ ලගම තිබුන හිතෙත් කොටසක් අරගෙන
උදාගිරින් සිහින කැටුව අරුනලු අරගෙන
එනවා වගේ දුටුවේ එය බැස යන අන්දම


               සම්පත් ඇතුගල