6/23/2015

නිදිකුම්බා...............෴






නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින් 
ළඟට කැන්දා...

බලා හිඳිමි දෑස අයා නෙළනු 
කොහොම මන්දා...

කොමළ වතේ පහස දැනෙන විට 
හැංගෙන හින්දා...

දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින් 
මං වින්දා...
.
.
.
.
.

බයිසන් - 10

ඡායාරූපය : බයිසන් 10

Read more »

6/01/2015

ආගන්තුකයාගේ ප්‍රේමය


"ආදරෙත් හරි පුදුමාකාර දෙයක් සයිලස්."

ඔහු පැවසුවේ වසර ගණනක් හඳුනන යාලුවෙක් වගේ. පැයකට කලින් බීර වීදුරුවක් තොල ගාමින් හමුවූ ආගන්තුකයා...

මට තාම හොඳින් මතකයි ඇය දුටු මුල් දිනය. අම්මා කතා කරනකොට දොර රෙද්දෙන් ලැජ්ජාවෙන් එබිලා බලපු ඒ පුංචි කෙල්ල. එයාගේ මූන රතු උනු විදිය මට මතකයි. ඒත් හරිම දඟකාරයි. කාලයක් ගතවෙද්දි අපි දැන අඳුර ගත්තත්, එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ. ඒ ලැජ්ජාවට, ඒ හුරතලේට මං එදා ඉඳලම ගොඩක් ආසා උනා. කාලෙත් එක්ක ඒ සුන්දර රූපේ මට මගේ කරගන්ඩ ඕනා උනා. හැබැයි ඒ ආත්මාර්තකාමී හැඟීමක් සයිලස්.

නැවත බීර වීදුරුව අතට ගත් ඔහුගෙ දෑස අර්මුණකින් තොරව යොමුව තිබුනි. මැදිවියත් ලංකල ඔහුගේ වයස හතලිහක්වත් ඇති, මං හිතුවා.

මං ඈට මුලින්ම ආදරය ප්‍රකාශ කරද්දි, මගේ හිතේ ආදරයක් තිබුනා කියලා මට හිතෙන් නෑ. මට ඕනා උනේ ඈ මගේ කරගන්ඩ. ඒ ආත්මාර්තකාමී හැඟීම ආදරයක් විදියට මං පිටකලා. මුලින් පිළිනොගත්තත්, ටික දවසකින් ඇයත් කැමති උනා. ඒ ඇගේ කුළුඳුල් ආදරය. ඇගේ හිතට ඒක කොයි විදිහට බලපෑවද කියලා මං දන්නේ නෑ. ඒත් ඈ මගේ උනාම මං සතුටු උනා.

ඔහුගේ දෑස දෙස මං නිහඬවම බලා සිටියා. අතීත මතකවල සතුට අතරේ ඒ දෑස අතරමං වෙලා.
ඇයත් එක්ක ගත කරපු ඒ කාලේ හරිම සුන්දරයි සයිලස්. ඒ වගේ හුරතල් දඟකාරකමක්. අපිට හමුවෙන්ඩ ලැබුනෙත් ඉතා කලාතුරකින්. ඒත් ඒ කතාකරන ඇස්දෙක, ඒ දඟකාර කෙහෙරැල්ල, ඈ ලඟින් හැමවිටම හමපු ඒ ආදරණීය සුවඳ. මට අදටත් දැනෙනවා. ඒත් මං ඒ හැමදෙයක්ම නැතිකරගත්තා.

ඔහු නැවත එලඹුනේ දිගු නිහඬතාවයකටයි. ඔහුගේ මුහුණින් දිස්වූයේ දුකක් නොව ශාන්ත ගතියකි. ඔහු කතාව පටන් ගන්න තුරු මං බලන් හිටියා.

උඹටත් මෙහෙම දැනිලා තියනවද සයිලස්. දෙයක් ලබාගන්ඩ කලින් අපි ඒකට කොච්චර ආස කරනවද, ඒක ලබාගන්ඩ කොච්චර බලාපොරොත්තු තියාගන්නවද. ඒත් ඒ දේ ලැබුනාම අපිට ටික ටික අගයක් නැති වෙනවා. ඒක මගේවත් උඹෙවත් වැරැද්ද නෙවෙයි සයිලස්. ඒක තමයි මිනිස් සොබාවය. ඒක අපිට නැතිඋනාම අපි ආයෙත් ඒකට ආදරේ කරනවා.

ඔහුගේ මුහුනේ වූයේ මඳ සිනහවකි.

"ඒ කෙල්ල අහිමි උනානම් නුඹ කොහොමද සතුටු වෙන්නෙ?" මම හඬ අවදි කළා.

මං ඒ විරහවට ආදරේ කලා සයිලස්. ඒ දුක මගේ හිතට සතුට ගෙනාවා. උඹ මේ විදියට හිතලා තියනවද. දුකක් අපිට විඳවන්ඩ පුලුවන්, නැත්නම් විඳින්ඩ පුලුවන්. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං ආදරය කරා. ඒ ආදරය ඇතුලේ මට ඈ හිමිකරගැනීමේ ඕනකමක් නෑ. ඇය මගේ විය යුතුයි කියලා මට හිතෙන් නෑ. මගේ විරහවේ ආදරය තුල ආත්මාර්තයක් නැතිවුනා.

"ඇය නුඹට හිමිකරගන්ඩ බැරිඋනා. ඒ වගේ ආදරයකින් ඇති පලේ මොකක්ද?"

සැබෑ ආදරයට හිමිකරගැනීමක් අත්යවශ්‍ය නෑ සයිලස්. සැබෑ ආදරය තුල ආත්මාර්තයක් නෑ. උඹට හිතෙනවද මං බොලඳයි කියලා. ඒත් ඒ බොලඳ සිතුවිලි අතරේ සැබෑ ආදරයක් උඹ දකින්නේ නැද්ද? මං මලකට ආදරය කලා සයිලස්. ඒ වර්ණවත් සිනිඳු පෙති වලට, ඒ හිත හිරිවට්ටපු සුවඳට. ඒ මලට පෙම් බැඳපු බඹරා මම. ඒත් ඒ මල නෙලාගන්ඩ මට උවමනා නෑ. මල විනාශ කරලා මලේ සුවඳ නැති කරන්ඩ මං සූදානම් නෑ. ඒ සුවඳ, ඒ සිනිඳු පෙති මතකයේ පුරෝගන මං පිටවුනා. මලෙන් පල ඇතිඋනාද, පෙති හැලුනද කියලා මං හෙව්වේ නෑ සයිලස්. එහි සුවඳ වින්දේ කව්ද කියලා මං දන්නේ නෑ.

"ඉතින් ඒ ආදරය නැති උනාට නුඹට දුක නැද්ද?"

මට දුකක් දැනෙනවා ඇති. ඒ විරහව ඇතුලේ හිරවෙච්චි කඳුලකුත් ඇති. ඒත් ඒ මතකය මාව සනසනවා. උඹට තේරෙනවද. අදටත් මං ඒ මලට ආදරෙයි. ඒක ඉතාම පිවිතුරු හැඟීමක් පමණයි. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං හැමදාම ආදරේ කරාවි.

පුදුම නිවුනු බවක් මං ඔහුගේ මුහුනේ දැක්කා.

"ආදරේ හරි පුදුමාකාර දෙයක් සයිලස්."

Read more »