7/16/2012

සිංදුවක් කියවමුද 3 - මව් පිය ගුණ වරුණ...

ඉතිං යාලුවනේ, කොහොමද ජීවිත යන්තරේ? පාට කරන එක ලේසි වැඩක් නෙමෙයි නේද. ඉතිං ඔය ජීවිත යන්තරේ පාට කරන එක ගැන කතා කරද්දි මුලින්ම කරලියට එන්නේ කවුද. අපිට ජීවිතේ දුන්න අම්මයි තාත්තයි නේද? අපි ජීවිතේට පාට ඇතුල් කරන්ඩ කලින් අපේ ජීවිතේ අයිති වෙලා තිබුනේ ඒ දෙන්නටනේ. මමනම් මේ ඉන්න තැන ඉන්නේ ඒ දෙන්න හින්දා. මං මේ පෝස්ට් එකේ ආත්මාර්ථකාමී වෙලා මං ගැනම කතා කරන්නම්. මොකද හැම කෙනාටම දෙමව්පියෝ ගැන කතා කරන්ඩ තමුන්ගෙම කියලා කොච්චරනම් දේවල් තියෙයිද.

කතාව පටන් ගන්ඩ කලින් මේ ටිකත් කියලම ඉන්නම්. මාත් කැම්පස් එක පැත්තේ ගියාට පස්සේ හීනියට වගේ කවියෙක් උනා. ඒ උනාට මං අත තියන්ඩ ගොඩක්ම බය මාතෘකා දෙකක් තිබුනා. එකක් තමා මගේ රට. අනික මගේ අම්මයි තාත්තයි ගැන. මේ මාතෘකා ගැන කතා කරන්ඩ ගිහින් වචනෙක කෑල්ලක්වත් වැරදුනොත් කියලා මං බය උනා. හැම දෙනාටම ඇඟේ තියන දේවල්නෙ. (ඒත් ආදරේ ගැන හැමෝම මෙච්චර ලේසියෙන් ලියන්නෙ කොහොමද කියන එක තව ප්‍රශ්නයක්) ඉතිං මං අද කතා කරන්ඩ හදන සින්දු දාලම පටන් ගමු නේද?





මේ සින්දු දෙකේම හරි ලස්සනට උපමා භාවිතා කරලා තියනවා. අම්මා කියපු ගමන් අපේ හිතට එන්නේ කෙලවරක් නැති තරම් ආදරයක්. සෞම්‍ය ගතියක්. එතකොට ඒ ආදරය ඇතුලේ තියන කැපකිරීම් අපි සමහර වෙලාවට දකින්නෙත් නෑ. සින්දුව පටන් ගන්නේ ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා කියලා. ඉතින් එතනින්ම මට අපේ අම්මව සින්දුවට එනවා. අපි ඉස්සර ඉස්කෝලෙ යනකොට අම්මා නැගිටින්නේ උදේ 4.30ට. කෑම උයලා, තේ හදලා හැමදෙයක්ම ලෑස්ති කරලා අපිව ඇහැරනවා. අපි කොච්චර කම්මැලිද උදේට නැගිටින්ඩ.
ඊළග ව(ර්)ස් එක බොහොම ලස්සනට ගලාගන යනවා.

"රෑ කලුවර අරගන දරුවන් එනතුරු හිත නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි, කවදාදෝ ඔය නෙත දරු සෙනෙහසින් මිදෙන්නේ"

අපි කවුරු හරි පන්ති ගිහින් හරි ගෙදර එන්ඩ පරක්කු වෙනවනම් අම්මා හැම විනාඩි පහක්ම දොර ගාවට ඇවිත් බලනවා මොකෝ පරක්කු කියලා. පාරේ බස් එකක් යන සද්දේ ඇහුනොත් බලන් ඉන්නවා මේකෙවත් එයිද කියලා. හැම වැඩක්ම ඉවර කරලා අම්මා රැට නිදාගන්නේ ගොඩක් පරක්කු වෙලා. මෙතන ඒක කියන්ඩ යොදාගන තියන උපමාව ගොඩක් සංවේදී. "රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ". ඊලගට අම්මව උපමා කරලා තියෙන්නේ මහාමායා දේවියට. ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ අම්මට. හැම අම්මා කෙනෙක්ම බුදුන්ගේ මව් විදියට සම කරලා තියනවා. මන් හිතන්නේ ඒක අම්මා කෙනෙකුට කරන්ඩ පුලුවන් ලොකු උපහාරයක්.

ඔය විදිහට අම්මා ගැන කතා කරද්දි මතකෙට එන තවත් සින්දුවක් තමා කපුගේ මහත්මයගේ "දවසක් පැල නැති හේනේ" ගීතය. ඒකේ තේරුම කවුරුත් දන්නවා ඇතිනේ. ඒ සින්දුවේ මගෙ ජිතට ගොඩක්ම දැනෙන්නේ අන්තිම පදේ. "මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ". අපේ අම්මට මං කොහේ හරි ඉඳලා ගෙදරට ලන්වෙනකොට කොහොම හරි තේරෙනවා. සමහර වෙලාවට කියන්නෙත් නැතුව කැම්පස් එකේ ඉඳලා ගෙදර එද්දි මං කැමතිම කෑම හදල අම්මා ඉස්සරහට වෙලා ඉන්නවා. ඒක අම්මා කෙනෙක්ට තියන ආදරේ වැඩි කමට දැනෙන දෙයක් වෙන්ඩ ඇති. මට මතකයි දවසක් ඔය සිංදුව ගැන කතා කරද්දි නංගි කෙනෙක් කිව්වා මේකෙන් තේරෙන්නෙ රචකයගේ අම්ම නැති වෙලා කියන එක කියලා. අම්මා කෙනෙක්ට කවදාවත්ම එනකල් බලන් ඉන්ඩ කියන්ඩ ඕනෙ නෑ.

අම්මා ගැන කතා කරන හින්දා මං තව පොඩි දෙයක් කියන්නම්.

"බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට"

අද අපේ රටේ තියන මහලු නිවාස, අනාත මඩම්, පාරවල් අයිනේ ඉන්න වයසක මිනිස්සු දිහා බලද්දි හිතෙන්නෙ, අනේ මේ මිනිස්සුන්ගේ ලමයි කෝ කියලා. අපිට තියන "දුවගන යන සමාජය"ත් එක්ක අපි ඕකත් සාධාරණීකරනය කරන්ඩ හදනවා. එහෙම කෙනෙක්ට මං කියන්නේ, හිතලා බලන්ඩ තමුන්ගේ ලමයට ආදරේ කරන්ඩ අපි මොනවා හරි කොන්දේසි දානවද කියලා.
අනිත් සිංදුව තාත්තා ගැන. අපේ සමාජයේ අපි තාත්තා ගැන කතා කරන්ඩ බයයි වගේ නේද. "තාත්තා" කියන වචනේ ඇතුලෙම ලොකු ගරුත්වයක් තියනවා. පිටින් මොකුත් පෙන්නන් නැතුව ඔක්කොම අමාරුකම්, කරදර ඇතුලේ තනියම තියාගන, පවුල වෙනුවෙන් හැමදෙයක්ම කැපකරන කෙනෙක්. ඕකයි තාත්තා කියන වචනෙට මට දෙන්ඩ පුලුවන් තේරුම. තාත්තගේ ආදරේ පිටට පේනවා අඩුයි. ඒත් හරියට පර්වතවක් වගේ. කවදාවත් හෙල්ලෙන් නෑ. මේ සිංදුවේ උපමා වලින් ඒක හිතට දැනෙන විදියට එලියට දෙනවා. අපේ තාත්තා හිටියේ හමුදාවේ. ඒ වගේම ගොවිතැන් කරා. ඉතින් සිංදුව අහද්දි මට පේනවා තාත්තා උදැල්ලත් අරන් වෙලට යන හැටි. මට තාත්තා කියන වචනෙ ඇහෙද්දි ඇතිවෙන්නෙ හයියක් (කොටින්ම කිව්වොත් solid හැඟීමක්).
"වලාකුලේ ඩා බිඳු තවරා, මහ පොලවට මහ වැසි ගෙනෙනා".

"තුරු හිස මුදුනේ මල් පළඳා,
කැකුලු මුවට පල වැල නෙලුවා.
ඒදඬුමං බැඳ, සත්කුලුපව් බිඳ
සිදාදියට එන මං තැනුවා"

මෙතන මට ඇතිවෙන හැඟීම විස්තර කලයුතු නෑ කියලා මං හිතනවා. මේ වචන වලින් තාත්තා කියන්නේ කව්ද කියන එක අර්ථවත් විදිහට ප්‍රකාශ කරලා තියනවා.

මගේ කතාව ගොඩක් දුරට ගියා නේද. එහෙනම් අපි මෙතනින් නවතිමු. නවතින්ඩ කලින් හිතන්ඩ අපිට අම්මයි තාත්තයි කියන්නේ ජීවිතේ නේද කියලා. අපි අද මෙතන ඉන්නේ ඒ අය හින්දා නේද. අපි හැමෝම මේ දේ දන්නවානම් ඇයි මේ මහලු මඩම්? ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්.

අපි කතා කරමු....................

4 comments:

  1. අද අපට අහන්න ලැබෙන සංකර ගීත අතර සදාකාලික ගීත දෙකක් තමා. මම් සදාකාලික කියලා කිව්වේ ඕන කාලෙක අගය බිදක්වත් අඩු නැතුව අහන්ඩ හිතෙන ගීත දෙකක් නිසා.

    එරන්ද කියන්නේ කවියෙක් වග අපි අනිවා දන්නවා. ඒකට කලාකවයේ නිර්මාණ පුවරුව සාක්ෂි !!!!

    එල කිරි මචං !

    ReplyDelete
  2. පොඩි ඉල්ලීමක් !

    කලාකවයේ නිර්මාණ පුවරුවේ තියෙන ලස්සන නිර්මාණ අපට රසවිඳින්න අවස්ථාවක් බලා දෙන්න බැරිද.

    ReplyDelete
  3. මේ දවස් වල ගොඩක් දැනෙන මාතෘකාවක් මචන් ඇස් වලට කඳුලුත් ආවද මන්දා.....

    ReplyDelete