11/28/2012

ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය


බොහොම බැරෑරුම් මාතෘකාවක් නේද? මාතෘකාව වගේම කතාවත්, ඒක පැහැදිලිව තේරුම් ගන්න එකත්, අපි කොතනද ඉන්නේ කියලා හිතන එකත් බොහොම වැදගත්. කාලෙකට පස්සේ ආවේ මේ පැත්තට. මං මේ ලියන්ඩ යන කතාවේ කොටස් කීපයක් තියනවා. මේ හැමදේකටම වස්තු බීජය උනේ ලඟකදි කියවපු සඳකඩ පහනක ගීතයේ විචාරය.  පලවෙනි එක තමා ඔය උඩින් තියෙන්නෙ. ටික කාලෙකට උඩදි කරපු මගේ නිර්මානයක්. ඊලඟට මං අදහස් කරනවා අමරසිරි පීරිස් මහත්තයගේ "ලඳුනේ" ගීතය ගැනත්, අර මුලින් කියපු "සඳකඩ පහනක" ගීතය ගැනත් ලියන්ඩ. අන්තිමට සංස්කෘතියක් විදිහට කාන්තාව හා ලිංගිකත්වය කියන දේවල් ගැන අපි දකින විදිහ ගැන බලන්ඩ.




























රංබණ්ඩා සෙනෙවිරත්න ශූරීන් විසින් ලියවුනු, ප්‍රේමසිරි කේමදාසයන් අතින් සංගීතවත් වුනු, අමරිසිරි පීරිස් ගායනා කරපු ලඳුනේ ගීතය සිංහල සංගීත ඉතිහාසයේ ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට ලක්වුනු ගීතයක්. මෙතනදි රචකයා උත්සාහ කරන්නේ සමාජයේ පහත් කියන මට්ටමට හංවඩු ගැහුනු, කාගේවත් සැලකිල්ලට ලක් නොවුනු "ගණිකාව" කියන චරිතය ගැන මානුශීය විදිහට බලන්ඩ. සිංදුව ගැන කියන්ඩ කලින් මේක ලියන්ඩ මුල්වුනු විදිහ කියන්නම්. නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයා නුවර උසාවියට ගිය වෙලාවක ඔහුගේ යාලුවෙක් එක්ක දළඳා මාලිගාව වඳින්ඩ ගිහින් තියනවා. එතනදි ඔවුන්ට දකින්ඩ ලැබෙනවා සුදු ඇඳුමින් සැරසුනු ලස්සන කාන්තාවක් තෙල් මල් අරගන මාළිගාවට යනවා. මෙතනදි රංබණ්ඩා මහත්තයගේ යාලුවා කියනවා මේ කාන්තාව ගණිකාවක් බවත්, හැමදාම හවසට මෙහෙම මාළිගාවට යන බවත්. මේ සිද්ධිය පාදක කරගන තමයි ලඳුනේ ගීතය ලියවෙන්නෙ.

ගණිකාවක් කියන වචනේ ඇහුනු ගමන් අපේ හිතට එන්නේ පිලිකුලක්. සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන ගැහැනියක්. ඉතාම පහත් ගතියක්. කන්ඩ නැතුව මැරිලා ගියත් හොඳයි මේ වගේ ජරා වැඩ නොකර. ඕක මට පෞද්ගලිකවම අහන්ඩ ලැබුනු දෙයක්. ලඳුනේ ගීතයේදි ගණිකාව ඇඟ විකුනන පහත් ගැහැනියකට වඩා, තවත් මනුශ්‍යයෙක්ය කියන අදහස මතු කරන්ඩ උත්සාහ කරනවා. බොහොම වෙලාවට කාන්තාවකට මේ වගේ තත්ත්වෙකට වැටෙන්නේ ජීවිතේ අන්ත අසරන තත්වෙකට වැටුනම නේද? තමන්ගේ කැමැත්තෙන් ඒ වගේ තත්ත්වෙකට වැටෙන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින් කියලයි මං හිතන්නේ. රංබණ්ඩා මහත්තයා මෙතනදි දකින්නේ ඒ කාන්තාව මිසක්, පිලිකුලට ලක්වුනු ප්‍රතිරූපය නෙවෙයි. 
"බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන, ඔබද පටාචාරාවකි, ඔබද කිසාගෝතමියකි" 
ඔහු මෙතනදි මේ කාන්තාව පටාචාරාවකට, කිසාගෝතමියකට සමාන කරනවා. පටාචාරා සහ කිසාගෝතමි කියන්නේ ජීවිතේ ඇතිවුනු ප්‍රශ්න ගොඩක් හමුවේ අසරන වුනු කාන්තාවන් දෙන්නෙක් . මේ සුදු ඇඳුමින් සැරසිලා පංසලට පියමන් කරන කාන්තාවගේ වර්තමාන තත්ත්වයටත් හෙතුව ජීවිතේ ඇතිවුනු ලොකු ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවන් නේද? අසරණ වෙච්චි ගෑනියෙක් ජීවත් වෙන්ඩ ගත්තු අන්තිම උත්සාහය වෙන්ඩ පුලුවන් නේද? ඒ පව් හෝදා ගන්ඩ පංසලට ආපු මේ කාන්තාව පටාචාරාවට, කිසාගෝතමියට සමාන කිරීමෙන් රචකයා මේ කාන්තාවගේත් ප්‍රශ්න ඇතිවුනු තවත් කාන්තාවකගෙත් වෙනසක් දකින්නේ නෑ. පටාචාරා හා කිසාගෝතමී අවසානයේ සමාජයේ පිලිගැනීමක් ලබනවා. මේ කාන්තවටත් ඒ අවධානය, අනුකම්පාව හා පිලිගැනීම ලැබුනොත් පහත් කියන තත්ත්වයෙන් මිදෙන්න බැරිද?
"අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ"
අපේ සමාජයේ වැරදි කරන, ඒ වැරදි තමන්ගේ සුදු රෙද්දෙන්, සල්ලි බලෙන් වහගන සිල්වත් ජීවිතයක් ගත කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රාත්‍රියේ මේ කාන්තාවගේ ඇසුර පතන මිනිස්සු දවල් එලියෙදි ඇයටම ගරහනවා.
"ළැම පමනක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ". 
සමාජය මේ කාන්තාව දිහා බලන්නේ පිටින් විතරයි. කෙනෙක් එලියෙන් පෙනෙන ළැම දිහා බලලා කාමාශාවක් ඇති කර ගද්දි, තවත් කෙනෙක් ඇගේ ජීවිකාව දිහා බලලා පිලිකුලක් ඇති කර ගන්නවා. හැබැයි හැමෝම දකින්නේ පිටින් විතරයි. ඒ කාන්තාව මේ තත්ත්වෙට එන්ඩ හේතු උනේ මොකක්ද කියන දේ තියෙන්නේ ඇගේ හිතේ. 
ලඳුනේ ගීතය ඉතාම මානූශීය ගීතයක්. ඕනෑම පුද්ගලයෙක්ට ගරහන්ඩ කලින් ඔහුගේ චරිතය දකින්ඩ කියලා රචකයා කියන්ඩ උත්සාහ කරනවා. කේමදාසයන් මේ ගීතයට අරුත්බර සංගීතයක් එකතු කරලා තියනවා. මට මතකයි දවසක් අමරසිරි පීරිස් මහත්තයා ඒ තනු නිර්මාණය ගැන කතා කරනවා. ගීතයේ අර්ථය වැඩි වෙන විදිහටත්, ශ්‍රාවකයාට හැඟෙන ප්‍රමාණය වැඩි කරන්ඩත් පුලුවන් විශිශ්ඨ සංගීත නිර්මාණයක්. (නෑයින් නෑකම නොකියන කොටසේ තනුව අහලා බලන්ඩ. මට ලියලා පෙන්නන්ඩ අමාරුයි.)

හොඳයි, ඊලඟට මං කියන්නම් සඳකඩ පහනක ගීතයේ ලඟකදි දැකපු විචාරයක්. මාත් මේක මූනුපොතේ දැක්කේ. ඒ විදිහටම මෙතන දාන්නම්.

""සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... 
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... 
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා 

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.""
මේක එක් ආකාරයක අරුත් දැක්වීමක් විතරයි. ඕනෑම කලා නිර්මාණයක අරුත ශ්‍රාවකයාට ගැලපෙන විදියට, හැඟෙන ප්‍රමාණයට වෙනස් වෙන්ඩ පුලුවන්. සම්පූර්ණ කතාවම මෙතන තියන හින්දා මං එතනින් නවතින්නම්.

ඉතිං ඔය ඔක්කොම ගැන කතා කරාට පස්සේ අපිට කොහොමද ඕක අදාල වෙන්නේ කියලා කවුරුහරි අහයි. (මේ මගේ අදහසක්. පිලිගැනීම හෝ විවේචනය ඔබේ වගකීමක්) සමස්තයක් විදිහට ගත්තම අපේ චින්තනය ඉතාම පටුයි. වෙනස් දෙයක් දිහා බලලා ඒක අවබෝධ කරගන්ඩ තියා, වෙනස දෙයක් පිලිගන්ඩවත් අපේ ගොඩක් දෙනෙක් කැමති නෑ. ගණිකාව කියන මාතෘකාව ඉතිහාසෙ ගොඩක් කල් ඉඳලම තියන කොටසක්. අදටත් ලංකාවේ ඕනතරම් ගණිකා ව්‍යාපාර් තියනවා, ඒවට යන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා. මං ගණිකාව සධාරනීකරණය කරන්ඩ හදනවා නෙමේ. රංබණ්ඩා මහත්තයා කිව්වා වගේ "අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ". අපි හැමකෙනෙක්ම මේ දිහා බලන්නේ පිලිකුලෙන්. ඒ අපි හිතන්ඩ පුරුදු වෙලා තියන හැටි. අපේ චින්තනය ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රතිරූපයට පිටිපස්සෙන් ඉන්නේ තවත් අපි වගේම මනුස්සයෙක් නේද. ඒ මනුස්සයට එතෙන්ට එන්ඩ හේතු උනේ මොකක්ද. කොලඹට, කටුනායකට දුර පලාත් වල ඉඳලා එන සමහර ගෑනු ලමයි අන්තිමට ගණිකාවක් වෙලා නතර වෙනවා. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ දුප්පත්කම. බඩගින්දරෙන් ඉන්න මිනිහට තේරෙන්නේ කන්ඩ දෙයක් කියන එක මිසක් සදාචාරේ නෙමෙයි. සමහර විට අපේ සමාජ විශමතා වෙන්ඩත් පුලුවන්. එහෙමත් නැත්තම් මනුස්සකම නැතිවෙච්චි අපේම මනුස්සයෙක් හින්දා වෙන්ඩත් පුලුවන්. කොහොමින් උනත් අපි දකින්නේ අන්තිමට සමාජෙන් පිලිකුල් වුනු කාන්තාවක් විතරයි.   
අපි ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? ඇත්තටම බැලුවොත් අපේ රටේ කාන්තාවක් හැම වෙලාවෙම ඉන්නේ පිරිමියෙක්ගේ හෙවනැල්ලක් යට නේද? මේක අපේ සංස්කෘතියත් එක්ක එන දෙයක්. ලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවලට පොදු දෙයක්. පිරිමියෙක් කවදාවත් කාන්තාවක් තමන්ගේ සම තැනින් තියලා බලන්නේ නෑ. ඇත්තටම ගත්තොත් අපිට අපේ සංස්කෘතික ආකල්ප වලින් එලියට බලන්ඩ පුලුවන්ද? ගෑනියෙක් පිරිමියෙක් එක්ක ටිකක් වැඩියෙන් කතා කරොත් අපි ඒක දකින්නේ කොහොමද? ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මං මුලිනුත් කිව්වා වගේ මේක මගේ මතය විතරයි. අපි හැමෝගෙම අදහස් බෙදාගමු. මේක මං හිතුවටත් වඩා දිග කතාවක් උනා. මට කියන්ඩ බලපොරොත්තු උනු දේවල් ඒ විදිහටම තියනවද දන්නේ නෑ. කොහොම උනත් කතිකාවට විවෘතයි.....   

Read more »

11/23/2012

සංතකෙට මඟේ වන දින කෙදින.....


අශෛක්ෂ ඉටුවුනු පැතුම
මගේ දිවියේ නුඹ...
දලනිදු තරම් ආදරය දුන්
නිම නොවන....


අල්ප මාත්රයකුදු තරම් අඩු නොවුනද
නුඹේ විසල් සෙනෙහස
ගතිමි රිදවා සන්තානය
දොස් නැත නුඹද... මාද...

මිස,
 
ඉන්නට වරම් නැති,
තුරුලුව...
නුඹ මිණ,

එසඳ,

සංතකෙට මඟේ වන
දින කෙදින.....






                                           බට්ටා_06

Read more »

11/13/2012

just a imaginary case...


විලේ දිය කඳ ගැඹුරු සේමා
දිවි මගක් විය නොදත් කිසිවෙක්
ඉකියකින් සිත රිදෙන සේමා
තනිකමක් විය ඇදුම් කන සිත්..

අසනි වැසි වැට
නුඹේ සෙනෙහෙට
විලේ දිය කඳ බෝම සැලුනයි

ඉකිය පරදන
නුහුරු හැඟුමින්
සිතේ නිම් තෙර පිරෙණු දැනුනයි

රුවන් මිණි කැට
ඉසුල නැතිවට
රුවේ පින් පිනි රැදෙනු බෝමයි.

සසල දිය කඳ
තුටින් සෙනෙහෙන්
ඉසිඹු නැති රැළි නගනු දැනුනයි

ගැඹුරු විල් තෙර අඳුරු මුල්ලෙත්
ඉතින් රැළියෙන් නොමැත අඩුවක්
පුරුදු ඉකියට යන්න කීවා
මඳ සිනා පෑ පුංචි කෙල්ලෙක්..



Read more »