2/06/2013

"කල්පිත" ලෝකයේ (අ)කල්පිත කථාවක්....!!!!

       ඔන්න එකොමත් එක රටක කඩ ගොඩාක් තිබුණා. ඒ අතරින් කඩ දෙකක් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණා.
මේ කඩ දෙකෙන් එක කඩයක කොළ පාට බෝඩ් එකක් එල්ලලා තිබුණා.


    
   
අනිත් කඩේ එල්ලලා තිබුණේ නිල් පාට බෝඩ් එකක්.



      ඉතින් මේ බෝඩ් දෙක නිසාම මිනිස්සු, කොළ පාට බෝඩ් එක තියෙන කඩේට "කොළ කඩේ" කියලත්, නිල් පාට බෝඩ් එක තියෙන කඩේට "නිල් කඩේ" කියලත් කිව්වලු.

     ඔය නිල් කඩේ කරේ එකම පවුලේ නෑදෑයෝ ටිකක් ලු. ඒකේ මුදලාලි ගමේ ඉඳන් නගරෙට ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙච්ච කොලු ගැටයෙක්ලු ඕං. කඩේ දියුණු වෙනකොට එයාගේ නෑදෑයෝ ටිකත් කඩේ වැඩට අරගත්තලු. නෑදෑයෝ ටිකත් එක්ක හරිම සහයෝගයෙන්, ව්‍යාපාරික ඥානය උපරිමයෙන්ම යොදවල (එහෙම බැරි නම් ගැන්සි පාට් එකෙන් හරි) කරගෙන ගිහිපු නිසා මේ කඩය බොහොම සාරවත් වුණාලු.

     කොළ කඩේ කරේ බොහොම ඔතෑනි, සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි කෙනෙක්ලු. ඔය කඩේ වැඩ කරෙත් එක එක තැන් වලින් ඇවිත් පැලපදියම් වෙච්ච උදවියලු. මේ කඩය බොහොම පරණ කඩයක්ලු. ඉතින් කාලෙකට කලින් මේ කඩේ අයිති වෙලා තිබුණ මුදලාලි කෙනෙකුගේ පුතෙකුත් මේ කඩේ වැඩ කරාලු. ඒ පුතා නිතරම උත්සාහ කරේ කඩේ මුදලාලි වෙන්නලු. ඒත් අර සුද්දෙක් වගේ පෙනුමක් තිබුණ මුදලාලි ඒකට ඉඩ දුන්නැල්ලු. කඩේ ගොඩක් අය එයාට කැමති නැති වුණත් කොහොම හරි බලෙන්ම එයා දිගින් දිගටම මුදලාලි කමේ හිටියලු. මේ කඩේ සේවකයොන්ගෙන් කොටසක් කලින් මුදලාලිගේ පුතාගේ පැත්ත අරන් එයාට මුදලාලි කම අරන් දෙන්න සෑහෙන්න උත්සාහ කරන අතරේ තවත් කොටසක් සුද්දා වගේ මුදලාලි ගේ මුදලාලිකම රැකදෙන්න උත්සාහ කරාලු.


     ඔය වගේ ප්‍රශ්නයක් තියෙනකොට ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් තියේ යෑ, හැමදාම ඔය කඩේ රණ්ඩුලු ඕං. ඔය රණ්ඩු නිසා වගේම මුදලාලිට අකමැති ගොඩක් දෙනා නිසා මේ කඩේට මිනිස්සු එන එක එන්න එන්න අඩු වුණාලු.
      
      කොළ කඩේ ඉරණම ඔය විදියට ලියවෙනකොට නිල් කඩේ වෙළඳාම දවසින් දවස වැඩි වුණාලු. වෙළඳාම ටික ටික සරු වෙනකොට මුදලාලිගේ පුතාලට පිටරට තියෙන ඉස්තරම් කෑම ජාති එහෙම කන්න ආස හිතුණලු.  ඉතින් මුදලාලි තකහනියක් ඒ එක එක කෑම ජාති පිටරටින් ගෙනත් " අඩු මුදලට " විකුණන්න පටන් ගත්තලු.(එතකොට කඩේ තිබුණ අනිත් බඩු වල මිල වැඩි කරා.) ඒත් මුදලාලිගේ පුතාලා වගේ උදවියට ඒ කෑම ගන්න පුළුවන් වුණාට සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බැරි තරම් ම ඒවා ගණන් ලු.
     
       මේ කඩේ කැෂියර් විදියට වැඩ කරපු නෝනත් හරි විශේෂ චරිතයක්. මුලදි මුලදි එයා කඩේට එන මිනිස්සුන්ට බොරු බිල් දීලා සෑහෙන්න මුදල් වංචා කරාලු. ඒකෙන් එයා ගොඩක් පොහොසත් වුණාලු. ඒ බව මුදලාලි දැනගෙන හිටියට නොදන්න ගානට හිටියාලු( ඒකෙන් එයාට ප්‍රශ්නයක් නැති නිසා). ටික කාලයක් යනකොට ඒ නෝනට තේරුණාලු මේ වැඩේ අසාධාරණයි කියලා. ඊට පස්සේ එයා බොහොම සාධාරණ විදියට බිල් හැදුවා වගේම හැම නිතරම කඩේට එන අයට සාධාරණයක් ඉෂ්ඨ කරාලු. ඔය අතරේ කඩේ මුදලාලි අලුත් සැලසුමක් හැදුවලු කඩේට එන මිනිස්සුන්ගෙන් කඩේට එන සල්ලි ප්‍රමාණය වැඩි කර ගන්න විදියක් ගැන. ඒක කැෂියර් නෝනට කිව්වම කැෂියර් නෝනා විරිද්ධ වුණාලු. අනේ එතකොට මුදලාලි කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? කඩේට එන හැම මනුස්සයටම නෝනා අර කලින් කරපු මුදල් වංචා ගැන කියලා නෝනා දෙකේ කොලේට දාලා. අර "අසරණ අහිංසක" නෝනා බලෙන්ම කැෂියර් කමෙන් අයින් කරලා කඩෙන් එලවලා දාලා.

       දැන් මේ කඩේ බොහොම සරුසාරයිලු. කොළ කඩේ මුදලාලි චාටර් නිසා මිනිස්සු ඒකට යන්නේ නැල්ලු. කාලෙකට කලින්, රතු බෝඩ් එකක " ජනයාගේ විස්වාසයෙන් පෙරටම"  කියලා ගහලා තිබුණ, ටිකක් සරුසාරෙට තිබුණ කඩයත් දැන් වල් වැදිලලු. ටොපියක්, ලොසින්ජරයක් වගේ දෙයක් වත් ඉඳලා හිටලා හරි ඒකෙන් ගන්නේ හරිම අමාරුවෙන්ලු.

      ඉතින් මිනිස්සුන්ට වෙන යන්න තැනක් නැති නිසා එන්නේ නිල් කඩේට විතරයිලු. ඒ නිසා බඩු හිතුණු හිතුණු හැටියට විකුණන්න, හිතුණු මිල ගණන් වලට විකුණන්න වගේම, මිනිස්සුන්ට අවශ්‍ය අනවශ්‍ය හැම දේම විකුණන්න දැන් නිල් කඩේට පුළුවන්ලු. 

      නිල් කඩේ වැඩ කරලා පුරුදු හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙන කෙනෙක් අලුත් කඩයක් දානකං වෙන කර කියාගන්න දෙයක් නොතිබුණ මිනිස්සුන්ට වුණේ බැන බැන හරි නිල් කඩේට යන එක විතරලු.......

(3 වෙනි ඡායාරූපය maruwaxx.files.wordpress.com ලිපිනයෙන් උපුටා ගන්නා ලදි.)

   

6 comments:

  1. Mahinda mama dakkoth ubawa ula thiyai....

    ReplyDelete
  2. patta kollo, nice work, keep up the good work :) (y)

    ReplyDelete
  3. @Akalanka. thaama bageta...!!
    @Rushan. මහින්ද මාමා කියන්නේ මුදලාලිගේ නමද සහෝදරයා? මං දන්නෑනේ ඒ වගක්.:D
    @Dushan. හ්ම්ම් Thanx macho..උඹ තමයි මාව ලියන්න පෙළඹෙව්වේ..ඒකටත් තෑන්ක්ස්..

    ReplyDelete
  4. වැඩි පුරසිද්දියක් නැති උනාට අපි නම් තාමත් කොළ පාට බෝඩ් එක දාපු කඩේ පස්ස දොරෙන් ගිහින් බඩු ගන්නව. ඉස්සරහින් යන්ට ලැජ්ජයි බොල.

    ReplyDelete
  5. ඔය කියන කඩ දියුණු වෙන්න පුලුවන් ක්‍රම දෙක තියනව. එකක් තමයි වට පිටාවෙ තියන කඩ එක්ක තරඟයක් අති උනාම. එතකොට තමයි බඩු ගන්න එන මිනිස්සුන්ට ගොඩක් වාසි තියෙන්නෙ.වට පිටාවෙ තියන කඩ වලින් තරගයක් නැති උනාම තමයි ඔය කියන ගැටලුව ඇතිවෙන්නෙ බඩු ගන්න එන මිනිසුන්ට.... අසරණ මිනිස්සු.

    ReplyDelete