10/25/2017

මව් පුද

මව් පුද

1. ඉසිලු දස මස් කුස් බරින්
දැනුණි දෝ හෝ යම් බරක්
නොකියා මැ දරා ඉවසූ හෙයින්
එ දුක් හට අයදිමි සමා

2. දිනයෙ ඔබ වූ මවක්
බිහිවු දිනයේ මම් එදා
ළදරු සුරතල් බලා
කෙතෙක් තුටු වන්නට ඇත් ද?

3. එ දවස පටන් මා
සැප දුක නිති මැ සොයමින්
එක්ව හා ම පියා
උස් මහත් කර සොඳින්

4. එක ම දරුවා බැවින්
මා ඔවුන් හට සිටිය
රැක බලා ගත් නිතින
සිය පණ ද දෙවැනි කොට

5. බත් පළා ඵල අවුළු
අනා ගුලි කොට සදා
කතා කියමින් අදර
කැවී මට නොදැනීම

6. නැවුම් ඉරු දිනයෙකදි
වඩා ගොස් ළිඳ ළඟට
වතුර වත් කොට ඇඟට
නෑවු සැටි සිහිවෙයි මෙමට

7. කැත කුණු ද නොම පිළිකුළෙන්
අතගා දමා ලූ හෙයින්
වෙමි මම් සදා ණය
කෙදා මම ගෙවනෙම් ද?

8. කුඩා කළ සිට වඩා
උස් මහත් කර මෙමා
නියම මිනිහෙක් වන්ට
යැවී පාසල් මෙමා

9. උස් මහත් වූ පසුත්
කුඩා වියෙ මෙන් දැනුත්
ළඟට ගෙන සුරතල්
කරයි නොම වෙනසක්

10. පියා රට ගිය නමුත්
නොදැනෙන්ට අඩුවක්
මනා ලෙස පිළිවෙලට
වැඩ කළේ කෙලෙසකද?

11. කළ විට වැරදි වැඩ මෙමා
තැළු නමුත් දඬුවමට
නරකකින් නොවන වග
දනිමි මම නිසැකව ම

12. ජයකදි පැසසුමත්
පැරදුමදි දිරියත්
දී නිබඳ යම් වැඩක්
ජය ගැනුම කියා දුනි

13. බුදුන් පැවසූ ලෙසට
දෙවැනි බුදු මව බව ද
ඔප්පු කර පෙන්වුවෙ ද
ඔබ ම මිස වෙන කවුද?

14. කරන විට පාඩම් වැඩක්
නොසෙල්වී ළඟ ම සිට
ගැටළු තැන් විසඳමින්
නිවැරැදි කළේ ඔබමය

15. අසල්වැසියන් කරන
බැණුම්, දොස් ආදිය ද
ගලක් සේ ඉවසමින්
ඉගැන්විය ඉවසීම

16. පියා එවනා මුදල
අසත්පථයෙහි නොයෙද
අවැසි පමණට යොදා
කළ මුදල් කළමනා

17. පියා නැති අඩු කම ද
පිරිමසාගෙන මෙමට
මවක් මෙන් පියෙක් වූ
මෑණියනි වඳිමි මම

18. උපදිනා තුරු සසර
ඔබගේ ම පුතකු වී
ඉපැදුමට වේවා! යි
කියා පතනෙමි මම ද

19. මා හැදූ පින් බෙලෙන්
මා වැඩූ පින් බෙලෙන්
එය ම ඇති වෙයි ඔබට
නිවන් පුර දැකගන්ට

20. මෙලෙස පැදි විස්සකින්
කිව හැකි ද මවක ගුණ? 
මවක් ලෙස ඔබේ ගුණ
අනන්තයි අනන්තයි

14 ලාරා

No comments:

Post a Comment