12/03/2011

~ පාර ~ (හදන ඇත්තෝ සහ යන ඇත්තෝ )


ගලා එන මඳ අඳුර පසාරු කරගෙන මෝටර් රථය ඉදිරියටම ඇදී යයි.නිවසට ළඟා වීමට තව වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවනු ඇත.
"හ්ම්..හෝම් ස්වීට් හෝම්..."
මම සුසුමක් හෙළීමි.අලුත්ම අලුත් ටොයෝටා යාරිස් රථය දුටු විට අපර්ණාගේ මුහුණෙන් මතුවන ප්‍රහර්ශය,ඒ සිනහව රිසිසේ විඳ ගැනීමට මම නොඉවසිලිමත් වීමි.වැඩිපඩි රැකියාව,විවාහය,අලුත් නිවස ,දැන් අලුත්ම කාරයක්! මිනිසෙකුට සැනසිල්ලේ ජීවත්වීමට අවැසි සියළු දේ මා සතුය.මම උදම් ඇනීමි.  
Life is beautiful!!.
කුඩා කළ කිසිසේත්ම විශ්වාස නොකළ නමුත් දැන් තරයේ අදහන "ධර්මය" සිහිවිය."සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ"
මුවඟට නැඟුනු සිනහව වැළක්වීමට උත්සහ නොකර සුක්කානමට ඇඟිලි තුඩු වලින් තාලයට තට්ටු කරමින් මම රථය වේගවත් කිරීමට යුහුසුළු වීමි. නමුත් ඒ සඳහා ඉඩක් නොවීය
"ෂෙහ්...රට කොච්චර දියුණු උනත් ,අපි කොච්චර දියුණු උනත් මේ කෙහෙල්මල් පාර නම්!!!"
සඳේ ආවාට මෙන් පෙනුනු ලොකු වලවල්වලට වැටෙමින් ඉදිරියට ඇදෙන කාරය දරුණු ලෙස වෙවුලන්නට විය.හිතට නැඟුනු ආවේගය ,සුක්කානමට පහරක් ගසමින් පිට කළෙමි.හැකි තාක් වලවල් බේරමින් සෙමෙන් සෙමෙන් ධාවනය කළෙමි.තව ටික වේලාවකින් රාවණාවත්ත හන්දියට  පැමිණෙන වගත් එතැන් පටන් පාර හොඳ බවත් සිහිවීම පමණක් හිතට සැනසිල්ලක් ළං කළේය.
"කම්කරුවන් පාරේ වැඩ" යනුවෙන් ලියා තිබුණු දැන්වීම් පුවරුවක් පාර අයිනේ ගසක එල්ලා තිබිණ.
"අහා පාර හදනවා එහෙනම් .හප්පච්චියේ ලොකු දෙයක්" මම මටම කියාගත්තෙමි.පාර සෑදීම ආරම්භ කර ඇත්තේ රාවණාවත්ත හන්දියේ සිට විය යුතුය.කොහෙන් පටන් ගත්තත් කොහෙන් ඉවර කළත් ,මින් පස්සේවත් සැනසිල්ලේ ගෙදර යා හැකිය.
දැන් හන්දිය පේන තෙක් මානයේය.සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමින් තිබුණ කාරය එක්වරම නතරකිරීමට සිදුවූයේ  අතක් ඔසවාගෙන ඉදිරියට පැන්න වයසක මනුස්සයෙක් නිසාවෙනි.මට නැවතී සිටින ලෙසට ඔහු හස්ත සංඥාවෙන් පැවසුවේය.පාරේ ඉතිරි කොටස හදන බවක් පෙනුනද පෙරකී මනුස්සයා හැරුණු කොට වෙනත් කිසිවෙකුත් දක්නට නොවීය.විනාඩියක් දෙකක් නොව විනාඩි පහක්ම ගතවිය.ඉවසීමේ සීමාව පනින්නට පෙරම මම එළියට බැස්සෙමි.මාර්ගය අවහිර කරගෙන උන් මිනිසා දෙසට ගියෙමි.
"මොකද මෙතන වෙන්නෙ?"
"පාර හදනවා මහත්තයෝ"ඔහු බුලත් කහටින් සැරසී තුබුණු දත් ඇඳි දෙකම පෙන්වා සිනාසිණි.
"හරි හරි මම ඒක දන්නවා..මම අහන්නේ දැන් මොකෝ මේ කරන්නේ ..වාහන නතර කරගෙන"
වාහනයයි බහුවචනයෙන් කීවද සිටියේ මා පමණකි.තව හවුරුහරිවත් සිටියානම්.
"පාරේ මේ ටික හදල ඉවර කරන්න තමා මහත්තයෝ හිටියේ.ඒ අස්සේ අපේ කොල්ලෙක්ට පොඩි කරදරයක් උනා..හොඳටම තුවාලයි..ඉස්පිරිතාලෙට ගෙනිච්චා...අර බලන්න මහත්තයා පාර පුරාම ලේ"
මට ඒ දෙස බැලීමට වුවමනාවක් නොවීය.
"ඒ කියන්නේ අද මේ පාර හැදෙන්නෙ නැද්ද?"
"ඉස්පිරිතාලෙ ගිය කට්ටිය  ඉක්මනට ඇවිත් හදාවි මහත්තයෝ...ඒගොල්ල මඟ එනවලු .වැඩි වෙලා යන එකක් නෑ."
"ඒගොල්ලෝ එනකල් මට මෙතන බලාගෙන ඉන්න ඕනෙද..හා හා කමක් නෑ..මනුස්සයෙක්ට කරදරයක් වෙලානෙ ."
"ඔව් මහත්තයෝ..අහිංසක කොල්ලෙක්..මං ඌට කිවුවා ආපු දවසෙම උඹට මේවා ගැළපෙන්නෙ නෑ කියල...සෝමාරි කමට හැදිච්චි එකෙක්...හොඳට ඉගෙනගෙන තියෙනව මහිතෙ,විස්ස විද්යාලෙට ළකුණු කොච්චරක්ද මදි වෙලා........."
"හ්ම්......කැම්පස් එකකටවත් ගියානම් මොකක් හරි එකක් කරගන්න තිබ්බ "
"ඒක තමා අපිටනම් කමක් නෑ ඉතින්...මාත් අවුරුදු විස්සේ ඉඳන්ම මේ පාරවල් වල වැඩ තමා කරේ....මටනම් පුරුදුයි..මේව්වා ලේසි වගේ පෙනුනට පුදුම දුකක් මහත්තයෝ..අවුවෙ කර වෙවී..දාඩිය පෙරාගෙන....ඒත් ඉතින් ඒ පාරේ මිනිස්සු ..වාහන සන්තෝසෙන් යනව දකිනකොට අපිටත් ආඩම්බරයි...මොකෝ අපි යන එකක්යැ වාහනවල...."ඔහු කොක් හඬ ලා සිනාසෙන්නට විය.
මමද මදහසක් නැඟීමි.කෙසේ නමුත්  මට එවේලේ අවශ්‍ය වූයේ එතැනින් පිටවීම පමණි.දවස පුරාම වැඩ කිරීමෙන් මමත් පාරවල් හදන මනුස්සයාට වඩා වෙහෙස වී සිටියෙමි.ගෙදරට වී මා එනතුරු බලා සිටින අපර්ණාගේ මුහුණ සිහිවිය.
."ශෙහ් අද කොච්චර ලස්සන දවසක් වෙන්නට තිබුණාද?"
ඇයට කතා කළ යුතුය.මම දුරකතන ඇමතුමක් ගෙන කාරය තුළට ගොස් හිඳගත්තෙමි.කතාවෙන් කතාවෙන් බොහෝ වෙලා ගතවිය..ඒ අතරතුරේ රෝහලට ගොස් සිට පැමිණි කම්කරුවෝ නැවත වැඩ කරනු දුටුවෙමි.ඇමතුම නිමා වූ පසු දැවැන්ත වෙහෙසකින් ශරීරයම පෙළෙන්නට විය.මටත් නොදැනීම මගේ නෙත් පියවිණි ඇත.මට කාර තුළම නින්ද ගොස් ඇත. කොපමණ වේලාවක් ගත වෙන්නට ඇත්දැයි නොදනිමි. එක්වරම කන ළඟින්ම ඇසුණු ශබ්දයකින් මම තිගැස්සී අවදි වීමි.අර මනුස්සයාගේ මුහුණ කාරයේ ජනෙල් වීදුරුව තුළින් දිස්විය.බුලත් කහටින් වැසුණු දත් දෙපල තිගැස්සි අවදි වුණු මට තවත් තිගැස්මක් ඇති කළේය.මම වීදුරුව පහත් කළෙමි.ඔහු කතා කළේය.
"මහත්තයා පාරනම් හදල ඉවරයි..දැන් මහත්තයට පුලුවන් හැටට හැටේ යන්න.."

ගැටයා


3 comments:

  1. රටක් දියුණු වීමට රටේ මාර්ග පද්ධතියත් දියුණු විය යුතුය...

    ReplyDelete
  2. @මධුරංග--->අනිවාර්යයෙන්ම

    ReplyDelete
  3. me kathawen gatha yuthu de ekada ban

    ReplyDelete