11/28/2012

ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය


බොහොම බැරෑරුම් මාතෘකාවක් නේද? මාතෘකාව වගේම කතාවත්, ඒක පැහැදිලිව තේරුම් ගන්න එකත්, අපි කොතනද ඉන්නේ කියලා හිතන එකත් බොහොම වැදගත්. කාලෙකට පස්සේ ආවේ මේ පැත්තට. මං මේ ලියන්ඩ යන කතාවේ කොටස් කීපයක් තියනවා. මේ හැමදේකටම වස්තු බීජය උනේ ලඟකදි කියවපු සඳකඩ පහනක ගීතයේ විචාරය.  පලවෙනි එක තමා ඔය උඩින් තියෙන්නෙ. ටික කාලෙකට උඩදි කරපු මගේ නිර්මානයක්. ඊලඟට මං අදහස් කරනවා අමරසිරි පීරිස් මහත්තයගේ "ලඳුනේ" ගීතය ගැනත්, අර මුලින් කියපු "සඳකඩ පහනක" ගීතය ගැනත් ලියන්ඩ. අන්තිමට සංස්කෘතියක් විදිහට කාන්තාව හා ලිංගිකත්වය කියන දේවල් ගැන අපි දකින විදිහ ගැන බලන්ඩ.




























රංබණ්ඩා සෙනෙවිරත්න ශූරීන් විසින් ලියවුනු, ප්‍රේමසිරි කේමදාසයන් අතින් සංගීතවත් වුනු, අමරිසිරි පීරිස් ගායනා කරපු ලඳුනේ ගීතය සිංහල සංගීත ඉතිහාසයේ ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට ලක්වුනු ගීතයක්. මෙතනදි රචකයා උත්සාහ කරන්නේ සමාජයේ පහත් කියන මට්ටමට හංවඩු ගැහුනු, කාගේවත් සැලකිල්ලට ලක් නොවුනු "ගණිකාව" කියන චරිතය ගැන මානුශීය විදිහට බලන්ඩ. සිංදුව ගැන කියන්ඩ කලින් මේක ලියන්ඩ මුල්වුනු විදිහ කියන්නම්. නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයා නුවර උසාවියට ගිය වෙලාවක ඔහුගේ යාලුවෙක් එක්ක දළඳා මාලිගාව වඳින්ඩ ගිහින් තියනවා. එතනදි ඔවුන්ට දකින්ඩ ලැබෙනවා සුදු ඇඳුමින් සැරසුනු ලස්සන කාන්තාවක් තෙල් මල් අරගන මාළිගාවට යනවා. මෙතනදි රංබණ්ඩා මහත්තයගේ යාලුවා කියනවා මේ කාන්තාව ගණිකාවක් බවත්, හැමදාම හවසට මෙහෙම මාළිගාවට යන බවත්. මේ සිද්ධිය පාදක කරගන තමයි ලඳුනේ ගීතය ලියවෙන්නෙ.

ගණිකාවක් කියන වචනේ ඇහුනු ගමන් අපේ හිතට එන්නේ පිලිකුලක්. සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන ගැහැනියක්. ඉතාම පහත් ගතියක්. කන්ඩ නැතුව මැරිලා ගියත් හොඳයි මේ වගේ ජරා වැඩ නොකර. ඕක මට පෞද්ගලිකවම අහන්ඩ ලැබුනු දෙයක්. ලඳුනේ ගීතයේදි ගණිකාව ඇඟ විකුනන පහත් ගැහැනියකට වඩා, තවත් මනුශ්‍යයෙක්ය කියන අදහස මතු කරන්ඩ උත්සාහ කරනවා. බොහොම වෙලාවට කාන්තාවකට මේ වගේ තත්ත්වෙකට වැටෙන්නේ ජීවිතේ අන්ත අසරන තත්වෙකට වැටුනම නේද? තමන්ගේ කැමැත්තෙන් ඒ වගේ තත්ත්වෙකට වැටෙන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින් කියලයි මං හිතන්නේ. රංබණ්ඩා මහත්තයා මෙතනදි දකින්නේ ඒ කාන්තාව මිසක්, පිලිකුලට ලක්වුනු ප්‍රතිරූපය නෙවෙයි. 
"බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන, ඔබද පටාචාරාවකි, ඔබද කිසාගෝතමියකි" 
ඔහු මෙතනදි මේ කාන්තාව පටාචාරාවකට, කිසාගෝතමියකට සමාන කරනවා. පටාචාරා සහ කිසාගෝතමි කියන්නේ ජීවිතේ ඇතිවුනු ප්‍රශ්න ගොඩක් හමුවේ අසරන වුනු කාන්තාවන් දෙන්නෙක් . මේ සුදු ඇඳුමින් සැරසිලා පංසලට පියමන් කරන කාන්තාවගේ වර්තමාන තත්ත්වයටත් හෙතුව ජීවිතේ ඇතිවුනු ලොකු ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවන් නේද? අසරණ වෙච්චි ගෑනියෙක් ජීවත් වෙන්ඩ ගත්තු අන්තිම උත්සාහය වෙන්ඩ පුලුවන් නේද? ඒ පව් හෝදා ගන්ඩ පංසලට ආපු මේ කාන්තාව පටාචාරාවට, කිසාගෝතමියට සමාන කිරීමෙන් රචකයා මේ කාන්තාවගේත් ප්‍රශ්න ඇතිවුනු තවත් කාන්තාවකගෙත් වෙනසක් දකින්නේ නෑ. පටාචාරා හා කිසාගෝතමී අවසානයේ සමාජයේ පිලිගැනීමක් ලබනවා. මේ කාන්තවටත් ඒ අවධානය, අනුකම්පාව හා පිලිගැනීම ලැබුනොත් පහත් කියන තත්ත්වයෙන් මිදෙන්න බැරිද?
"අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ"
අපේ සමාජයේ වැරදි කරන, ඒ වැරදි තමන්ගේ සුදු රෙද්දෙන්, සල්ලි බලෙන් වහගන සිල්වත් ජීවිතයක් ගත කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රාත්‍රියේ මේ කාන්තාවගේ ඇසුර පතන මිනිස්සු දවල් එලියෙදි ඇයටම ගරහනවා.
"ළැම පමනක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ". 
සමාජය මේ කාන්තාව දිහා බලන්නේ පිටින් විතරයි. කෙනෙක් එලියෙන් පෙනෙන ළැම දිහා බලලා කාමාශාවක් ඇති කර ගද්දි, තවත් කෙනෙක් ඇගේ ජීවිකාව දිහා බලලා පිලිකුලක් ඇති කර ගන්නවා. හැබැයි හැමෝම දකින්නේ පිටින් විතරයි. ඒ කාන්තාව මේ තත්ත්වෙට එන්ඩ හේතු උනේ මොකක්ද කියන දේ තියෙන්නේ ඇගේ හිතේ. 
ලඳුනේ ගීතය ඉතාම මානූශීය ගීතයක්. ඕනෑම පුද්ගලයෙක්ට ගරහන්ඩ කලින් ඔහුගේ චරිතය දකින්ඩ කියලා රචකයා කියන්ඩ උත්සාහ කරනවා. කේමදාසයන් මේ ගීතයට අරුත්බර සංගීතයක් එකතු කරලා තියනවා. මට මතකයි දවසක් අමරසිරි පීරිස් මහත්තයා ඒ තනු නිර්මාණය ගැන කතා කරනවා. ගීතයේ අර්ථය වැඩි වෙන විදිහටත්, ශ්‍රාවකයාට හැඟෙන ප්‍රමාණය වැඩි කරන්ඩත් පුලුවන් විශිශ්ඨ සංගීත නිර්මාණයක්. (නෑයින් නෑකම නොකියන කොටසේ තනුව අහලා බලන්ඩ. මට ලියලා පෙන්නන්ඩ අමාරුයි.)

හොඳයි, ඊලඟට මං කියන්නම් සඳකඩ පහනක ගීතයේ ලඟකදි දැකපු විචාරයක්. මාත් මේක මූනුපොතේ දැක්කේ. ඒ විදිහටම මෙතන දාන්නම්.

""සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... 
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... 
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා 

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.""
මේක එක් ආකාරයක අරුත් දැක්වීමක් විතරයි. ඕනෑම කලා නිර්මාණයක අරුත ශ්‍රාවකයාට ගැලපෙන විදියට, හැඟෙන ප්‍රමාණයට වෙනස් වෙන්ඩ පුලුවන්. සම්පූර්ණ කතාවම මෙතන තියන හින්දා මං එතනින් නවතින්නම්.

ඉතිං ඔය ඔක්කොම ගැන කතා කරාට පස්සේ අපිට කොහොමද ඕක අදාල වෙන්නේ කියලා කවුරුහරි අහයි. (මේ මගේ අදහසක්. පිලිගැනීම හෝ විවේචනය ඔබේ වගකීමක්) සමස්තයක් විදිහට ගත්තම අපේ චින්තනය ඉතාම පටුයි. වෙනස් දෙයක් දිහා බලලා ඒක අවබෝධ කරගන්ඩ තියා, වෙනස දෙයක් පිලිගන්ඩවත් අපේ ගොඩක් දෙනෙක් කැමති නෑ. ගණිකාව කියන මාතෘකාව ඉතිහාසෙ ගොඩක් කල් ඉඳලම තියන කොටසක්. අදටත් ලංකාවේ ඕනතරම් ගණිකා ව්‍යාපාර් තියනවා, ඒවට යන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා. මං ගණිකාව සධාරනීකරණය කරන්ඩ හදනවා නෙමේ. රංබණ්ඩා මහත්තයා කිව්වා වගේ "අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ". අපි හැමකෙනෙක්ම මේ දිහා බලන්නේ පිලිකුලෙන්. ඒ අපි හිතන්ඩ පුරුදු වෙලා තියන හැටි. අපේ චින්තනය ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රතිරූපයට පිටිපස්සෙන් ඉන්නේ තවත් අපි වගේම මනුස්සයෙක් නේද. ඒ මනුස්සයට එතෙන්ට එන්ඩ හේතු උනේ මොකක්ද. කොලඹට, කටුනායකට දුර පලාත් වල ඉඳලා එන සමහර ගෑනු ලමයි අන්තිමට ගණිකාවක් වෙලා නතර වෙනවා. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ දුප්පත්කම. බඩගින්දරෙන් ඉන්න මිනිහට තේරෙන්නේ කන්ඩ දෙයක් කියන එක මිසක් සදාචාරේ නෙමෙයි. සමහර විට අපේ සමාජ විශමතා වෙන්ඩත් පුලුවන්. එහෙමත් නැත්තම් මනුස්සකම නැතිවෙච්චි අපේම මනුස්සයෙක් හින්දා වෙන්ඩත් පුලුවන්. කොහොමින් උනත් අපි දකින්නේ අන්තිමට සමාජෙන් පිලිකුල් වුනු කාන්තාවක් විතරයි.   
අපි ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? ඇත්තටම බැලුවොත් අපේ රටේ කාන්තාවක් හැම වෙලාවෙම ඉන්නේ පිරිමියෙක්ගේ හෙවනැල්ලක් යට නේද? මේක අපේ සංස්කෘතියත් එක්ක එන දෙයක්. ලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවලට පොදු දෙයක්. පිරිමියෙක් කවදාවත් කාන්තාවක් තමන්ගේ සම තැනින් තියලා බලන්නේ නෑ. ඇත්තටම ගත්තොත් අපිට අපේ සංස්කෘතික ආකල්ප වලින් එලියට බලන්ඩ පුලුවන්ද? ගෑනියෙක් පිරිමියෙක් එක්ක ටිකක් වැඩියෙන් කතා කරොත් අපි ඒක දකින්නේ කොහොමද? ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මං මුලිනුත් කිව්වා වගේ මේක මගේ මතය විතරයි. අපි හැමෝගෙම අදහස් බෙදාගමු. මේක මං හිතුවටත් වඩා දිග කතාවක් උනා. මට කියන්ඩ බලපොරොත්තු උනු දේවල් ඒ විදිහටම තියනවද දන්නේ නෑ. කොහොම උනත් කතිකාවට විවෘතයි.....   

11 comments:

  1. කොච්චර කතා කලත් ඉවර කරන්න බැරි මාතෘකාවක් !

    ReplyDelete
  2. වැඩ කරන එක පොඩ්ඩක් නවත්වලා මටත් පොඩ්ඩක් හිතල බලන්න හිතුන කියමුකෝ මේ කතාව ගැන.

    විස්තර කරල තියන ගීත දිහා බලපුවම ඒවගෙ තියන කතාව ගැන කල්පනා කරල බලද්දි මට හිතෙන්නෙ ගැහැනියක් ගණිකාවක් බවට පත්වීමේ වැරැද්ද සහමුලින්ම සමාජය පිටට දාන්න බෑ. සමාජයේ ඉන්න ඕන තරම් අසරණ වෙච්ච ගැහැණු ජීවිතේ ජයගන්නව ගණිකාවක් නොවී, සල්ලි හොයන්න ගණිකා වෘත්තිය ලේසි මාර්ගයක් කරගත්තු අය තමයි සමාජයේ වැඩි. ගැහැනියක් ගණිකාවක් වීම සාධාරනීකරනය කරන්න වැඩි බර සමාජයට දාන එකට මම විරුද්දයි 80% වැරැද්ද ඒ කාන්තාවට අයිතියි....

    විවේචනයන්ට විවෘතයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හරිම අපුරු ලිපියක් සහො...

    ReplyDelete
  5. ඒක හරි මචන්. කිසිම වෙලාවක වැරැද්දක් සාධාරණීකරනය කරන්ඩ හොඳ නෑ. හැබැයි එතන ඉන්නෙත් මනුස්සයෙක් කියන එකත් අමතක කරන්ඩ හොඳ නෑ. දැකල තියනවා නේද වැලිකඩ හිරගෙදර ඉස්සරහ ගහල තියනවා හිරකරුවෝද මනුශ්‍යයෝය කියලා. මං මූලිකවම ගණිකාව කියන දේ පාදක කරගත්තේ නිර්මාන ඉදිරිපත් කරන්ඩයි. මං වැඩියෙන්ම බලාපොරොත්තු උනේ අපේ චින්තනේ ගැන කතා කරන්ඩ. අපි හිතන හැටි හරිද කියන එක ගැන. (මගේ අදහස හරියටම එලියට ඇවිල්ලා තියනවද කියන එක තමයි අවුල.)

    ReplyDelete

  6. " ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? "
    සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න අමාරුයි නේද?
    මිනිහා පොර සේ දඩයමේ ගිහින් එන අතරේ ගෑණි ළමයි ටික බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න ඕනෙය කියන ආදි කල්පිත මානව මතය තාමත් ලාවට තියෙන බව ඇත්ත.ඒත් අවුරුදු 7දි බන්දලා දෙන්න,මිනිහ මලාට පස්සෙ ගෑනිවත් ඒ චිතකයටම තල්ලු කරලා දාන,අවයවල කෑලි අයින් කරලා මැහුම් දාලා වහල දාන වර්ගයේ අනිත් සමහර රටවල් තරම් පරිහානියක්නම් පේන්න නම් නෑ කියලයි මම හිතන්නේ..
    ගෑනියක් ගණිකාවක් වෙන එකේ වැරැද්ද සම්පූර්ණයෙන්ම සමාජය පිට දාන්න බෑ (එකඟයි බට්ටා එක්ක )කොහොමත් මනුස්සයා කියන සතා "කාමය" කියන දෙයත් එක්ක හරි අමුතුයි."ආදරය,පවුල,සාරධර්ම" වගේ වචන උදේ හවස ඇහෙන සමාජයක උනත් ඒක එහෙම්මමයි.

    ReplyDelete
  7. සමාජයක සම්මතයක් පිළිගැනීමක් තියෙන්නේ හෝ තිබිය යුත්තේ සමාජයේ පැවැත්ම උදෙසා නේද... ගණිකාව කියන කාන්තාවට සමාජයේ පිළිගැනීමක් දුන්නොත් සමාජයේ හරි පැවැත්මක් තියෙයි ද... ඒක හරියට divorce කියන එකත බොහොම සරල සාදාරන දෙයක් කරනවා වගේ නෙමෙයිද.. සමාජයේ යහපත් දේවල් පවතින්න නොගැලපෙන දේවල් අයින් වෙන්නම ඕනේ සහ මිනිස්සුන්ගේ පැවැත්ම තිරිසන් සත්තුන්ගේ වගේ නොවෙන්න ඕනේ... ඒ නිසා ඔය කියන ගණිකාව සදරනිකරණය කල යුතු නැහැ හේතුව මොකක් වුනත්.. මේ මට හිතුන විදිහ.

    ReplyDelete
  8. කොමෙන්ට් එකක් දාන්ඩත් සෑහෙන්ඩ කල් ගියා. මං කොහෙත්ම කියන්නේ නෑ ගණිකාව කියන දේ සාධාරනීකරනය කරන්ඩ ඕනවත්, එහෙම තත්ත්වෙකට යෑම සමාජය පිට දාන්ඩ ඕනවත් කියලා. මං හිතන විදිහ වෙනස් වගේ. ඒක මගේ පුද්ගලික මතය. අපි හැමෝම හිතන විදිහ වෙනස්නේ.
    මං දකින විදිහට සමාජයක් විදිහට අපි හිතන විදිහ හොඳ මදි කියලා. ගැටයා කියපු විදිහට අවුරුදු 7න් කසාද බන්දලා දෙන, මිනිහ මැරුනම චිතකෙට පනින්ඩ ඕනා කියන තත්ත්වෙක අපේ සමාජේ නෑ තමයි. එහෙම රටවල් තියනවා, හැබැයි මං අත්දැකීමෙන් දැකලා නෑ. අපි හිතන්නේ අපි දකින, අපි දන්න දේවල් වලට සාපේක්ශවනේ. මං මේ ඉන්න තැන ගොඩක් රටවල මිනිස්සු ඉන්නවා. ලංකාව, ඉන්දියාව, නේපාලේ, බංගලාදේශ්, පකිස්තාන්, පිලිපීන්, අරාබි වගේ රටවල්. අපේ ආසියානු රටවල මිනිස්සු ගොඩක් පටු විදිහට හිතන්නේ. ගෑනු කෙනෙක් පිරිමියෙක් එක්ක ටිකක් සුහදව කතා කරනවානම් එතන යාලුකමකට වඩා දෙයක් තියෙන්ඩ ඕනා කියලා අපි හිතනවා. මේක තමා මං දැකපු ඇත්ත. පාරේ යන ගෑනියෙක් දිහා ලිංගික භාණ්ඩයක් විතරක් විදිහට බලන, සද්ද දාන මිනිස්සු ඉන්නවා. සමස්තයක් විදිහට ගත්තම මං හිතන්නේ අපේ චින්තනේ වැරදි. අපේ සංස්කෘතිය මේකට වග කියන්ඩ ඕනා. මං දන්නවා මේක ගොඩක් දරුනු කතාවක් කියලා. ගොඩක් දෙනෙක් මේකට එකඟ වෙන්නේ නැති වෙයි. ඒත් මේක මගේ පුද්ගලික මතය.

    ReplyDelete
  9. පොඩි යෝජනාවක් සහෝ
    මේ සිංදු වල පද තියෙන ෆෝටෝස් (ananmanan.com එකෙන් ගත්තු )
    සුදුසු නෑ කියලයි මටනම් හිතෙන්නේ..ඒ ටිකත් ටයිප් කරල දැම්මනම් ලාබයි

    ReplyDelete
  10. ගනිකාවක් කියන්නෙ සමජයක පරිහානියට එක හෙතුවක්.... හබෑය් එතනත් තියෙන්නෙ අපෙ ව්ගෙම ඈට මස් ලේ නහර... දුක සතුට .... වේදනාව....


    අල්ලසක් දුන්නම ඒක දුන්න කෙනා වගෙම ගත්ත කෙනත් වෑරදිකාරයො වෙනව නම්, මෙතනදි එක අගිල්ලක් පිරිමිය පෑත්තට දික් වෙල ඉතුරු අගිලි නමයම ගෑහෑනිය පෑත්තට දික් වෙන එකට නම් මම කෑමති නෑ....

    ReplyDelete
  11. පොඩි උදව්වක් කරනවද... මට‍ හරියටම ඒ කවි මතක නැ... තේරුම් මතකත් නැ... මතක විදිහට කියන්නම්... මේක මන් ගොඩක් කාලෙකට කලින් කියවපු කවියක තේරුමක්... එකේ එක ගැහැනියක් පිරිමියෙක් අතින් ජිවිතේ විනාශ කරගෙන පාරට වැටෙනවා... ටික කාලයක් යද්දී ඒ ගැහැණියට දරුවෙක් හම්බෙනවා... ඒ දරුවත් එක්කන් මේ ගැහැණිය පාරේ තියෙන කුණු කානුවක් ලග තමයි ජිවත් වෙන්නේ... පාරේ යන පිරිමි මේ ගැහැනියගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්නවා... පසුව ටික කාලෙකින් මේ ගැහැණිය පොලිසිය ඇරගෙන යනවා... ඊට පස්සේ ඒ වෙලාවේ මේ ගැහැණිය අන්තිම පාරට තමන්ගේ ළමයා දිහා බලලා හිතින් හිතනව එයාගේ පුංචි දරුවට කන්න ඒ කානුව ළග බිම්මල් පිපෙන්න කියලා...එතනින් ඒ කතාව ඉවර වෙනවා... මේක කවි වගයක තේරුමක්පු...ළුවන් නම් මේ ගීතය මට‍ හොයලා දෙන්නකෝ

    ReplyDelete