8/04/2012

අයං වස්සාන කාලෝ.....








ගොම්මං කළුවර මැද්දෙන්
හීන් පොද වැස්සක් වැටීගන ආවා.
රැහැයියන්ගේ මූසල සද්දෙත් එක්කම
ඈතින් පන්සලේ ඝන්ටාර සද්දෙ,
මැටි ගැලවිච්චි පිල ලඟ ඉඳගන
මැණිකා කඩුල්ල දිහා බලාගන උන්නා
"එදා වගේමයි අදත්",
මැණිකාගේ හිත ඈතට දුවන් ගියා.







එදා හත්කෝරලේටම උන්නු ලස්සනම ගැටිස්සි මැණිකා

වැහි කාලේ පන්සලේ බුද්ධ පූජා,
අප්පුච්චලට කන්ඩ උයන්ඩ ගෙදර නැවතුනු ඒ හැන්දෑව,
හීන් වැහි කෝඩෙ මැද්ඩෙන් කඩුල්ල ලඟ කාරෙකක් නැවතුනා.
පිල ගාවට දුවගන ආපු මහත්තැන්
මැණිකාට පෙනුනෙ දෙවියෙක් වගේ.
ඒ හැන්දෑව මැණිකාගේ ජීවිතේ ලස්සනම හැන්දෑව,
අදටත්.
මහත්තයා කලුවරේම එලියට බැස්සේ මැණිකාගේ ඔලුවත් අතගාලා
"මං ඉක්මනටම එන්නං කෙල්ලෙ"
මැණිකා හැමදාම කඩුල්ල දිහා බලාගන හිටියා
මහත්තයා නැතත් කීප පෝයකින් බඩට දරුවෙක් ආවා.
ඉස්පිරිතාලෙන්ම දරුවා කාටදෝ දුන්නේ මැණිකාටත් නොකියා.

මේ ඔක්කොම මැණිකාට හීනයක් වගේ.
හිතේ වේදනාවෙන්ම අප්පුච්චා මියදුනා.
ගෙදරටම නාකිඋනු මැණිකා අම්මට තනි රැක්කා.
උන්දැත් මියැදුනා.
තනිවෙච්චි මැණිකා කඩුල්ල දිහා බලාගෙන උන්නා,
මහත්තය කවදහරි ඒවි"


ඒ හතලිස් අවුරුද්දකට කලින්.
අදත් ඒ පොද වැස්ස.
මැණිකා පිල ලඟ ඉදන් ගොම්මන් කලුවරේ
කඩුල්ල දිහා බලන් උන්නා.
ඒ ඇස් තාමත් දිලිසෙනවා,
"මහත්තය කවදහරි ඒවි."

ලිව්වේ පරා....



7 comments:

  1. කවි සිතුවිල්ල කියවගෙන යනකොට දුක හිතෙනවා.
    ඔය මහත්තයා ඔය විදිහට මැණිකලා කීයකට බලාපොරොත්තු දීලා යන්ඩ ඇද්ද...

    එලකිරි පරා !!!

    ReplyDelete
  2. මහත්තය කවදහරි ඒවි
    ඒ ඇස් තාමත් දිලිසෙනවා කියලා ඒ හරකා දැනගත්තාම

    ReplyDelete
  3. තැන්කූ මචන්ලා...

    ReplyDelete
  4. නියමයි.. නියමෙටම ලියල තියනවා.කියවද්දි චිත්ත රූප මැවෙනවා.

    ReplyDelete
  5. අපූරුවට ලියල තියනවා..ඒත්..දුකයි..:(

    ReplyDelete
  6. එකපාරටම එහෙම උනේ කොහොමද ?

    ReplyDelete
  7. එයි යකෝ පහු ගිය කාලෙටම කියවපු පට්ටම ආර්ටිකල් එකක්.නියමයි.නියමම නියමයි.
    කෙට් කතාවක සම්පූර්ණ අයිඩියා එකක් පොඩි කවියකින් කියවන මනුස්සයට එනවා.ගේ මුලු ජීවිතේම පාඨකයාට තේරෙනවා.ඒ විතරක් නෙවෙයි.ගේ අප්පුච්චා ගැන මහත්තයා ගැන විතරක් නෙවෙයි.ගමේ මිනිස්සු මැනිකලාට කියපු කතා ගැනත් චිත්‍රයක් මැවෙනවා.මැණිකෙලාගෙ ගෙදර වටපිටාවත් පේනවා.
    "හත්කෝරලේටම උන්නු ලස්සනම ගැටිස්සි මැණිකා" නියම පද ගැලපීමක්. අයෙ මැණිකා ගැන කියන්න ඔනෙ නෑ.මැණිකා හරිම ලස්සන කෙනෙක් වෙන්න ඇති.
    හැබැයි මහත්තයා එක පාරටම සීන් එකට එන ගතියට මම කැමති නෑ.
    "හීන් වැහි කෝඩෙ මැද්ඩෙන් කඩුල්ල ලඟ කාරෙකක් නැවතුනා".
    මට හිතෙනවා මහත්තයාට මීට වඩා පෙර ගැලපීමක් තිබුනානම් හොදයි කියලා.
    සමහර විට මහත්තයා ගමේ පාර හදන්න ගමට ආපු කෙනෙක් වගේ උනානම් හොදයි වගේ....එතකොට මහත්තයාට මීට වඩා පෙනුමක් එයි.කොහොම උනත් පට්ටම වැඩක්.කීප් ඉට් අප් පරා අය්යා...

    ReplyDelete