8/29/2015

මචන්....

එකෙක් මේ ලගදි අහනව
ඇයි බන් අයියා උඹ දැන් හරි වෙනස් වෙලානෙ.
මොකෝ කේස් එක කියලා

මම උට කිවුව
පිස්සුද බන් මල්ලි එහෙම එකක් නෑ කියල

ඒ පාර මේ යකා කියනව
ඉස්සර හිටපු  මාටියා අයිය නෙවෙයි දැන් ඉන්නෙ
මොකක් හරි වෙනසක් තියනව කියල


බෙරෙන්නම බැරි තැන ඔන්න ඔහෙ කියල
මම පොරට කිවුවා මෙහෙම
ප්‍රශ්න මල්ලි ප්‍රශ්න.

බුවත් පාස් අවුට් වෙලා හිටපු එක හොදට ගියා
බුවාට හ්ම්ම්ම්...........  කියවුනා


හිතපන් නිකමට වත් මම ඒ කතාව
අවුට් උනේ නැති ජුන්නෙක්ට කිවුව නම් 
ඌ තාම මට හිනා වෙනවා
අනේ දාස් ගනන් පඩි ගන්න මුන්ට තව ප්‍රස්න කියල


ඈ බන් මචන්, පවු නේද බන් ඕකුන්....?

8/20/2015

මාතෘකාවක් නැත.

නිදා සිටින්නට
බැරිම තැන
අවදි වුනෙමි
ඒත්  සිහිනය
සැබෑවට වඩා
සොදුරැ බව
වැටහුනු විට
නැවත
දෑස් පියා ගතිමි
ඒහෙත් දැන්
නින්දත් , සිහිනයත්
දෙකම

යන්නට ගිහින්.


7/29/2015

***...... අයියො අදත් ඇණ ......***





මොනවද අම්මේ අකුරු ජාතියක්
පේපර් වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා හදන්නේ
x y ඔක්කොම කලවම් කරලා

පුතා දන්නෙ නෑ මිඩ් එක කාලෙට
ෆෑකල්ටියේ හරි වැඩ කෙරෙතී
ඩෙඩ් වීක් උන් කුප්පි දමද්දි
ෆෑකල්ටියේ පේපර් හදතී

මේවට උත්තර කොහොම ලියන්නද
කොහොමද මෙවා විසදන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ලූප් එකේ මේ ඉෆ් එල්ස් එක් කර
දිගට දිගේ ඇත පේපරයේ
ඒවායින් මේ සබ්ජෙට් ඇණ වෙයි 
ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර අනිත් ළමයි නම් 
හෝ හෝ ගා මොනවද ලියති
උන් දන්නව ඇති පේපර් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
ලෙක්චස් වල හරි වැඩ කෙරෙති 
එක එක තාලෙට කියන කියන දේ
පේපර් වල තව තව ලියැවේ

බිම බැලුවත් x උඩ බැලුවත් x
නෙස්ටඩ් ලූප් හැමතැන ඇත්තේ
සෑමදාම අපිටම මෙහෙමම වෙන්නේ
විභාග දවසට හොදටම ඇඬිලා

ෆැකල්ටියේ හැම එක්සෑම් කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
කොල්ලන් වාගෙම කෙල්ලන් වාගෙම
සර්ලටත් දුක හිතෙයි පුතේ .........

- 11 ජුණ්ඩයියා - 

6/23/2015

නිදිකුම්බා...............෴






නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින් 
ළඟට කැන්දා...

බලා හිඳිමි දෑස අයා නෙළනු 
කොහොම මන්දා...

කොමළ වතේ පහස දැනෙන විට 
හැංගෙන හින්දා...

දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින් 
මං වින්දා...
.
.
.
.
.

බයිසන් - 10

ඡායාරූපය : බයිසන් 10

6/01/2015

ආගන්තුකයාගේ ප්‍රේමය


"ආදරෙත් හරි පුදුමාකාර දෙයක් සයිලස්."

ඔහු පැවසුවේ වසර ගණනක් හඳුනන යාලුවෙක් වගේ. පැයකට කලින් බීර වීදුරුවක් තොල ගාමින් හමුවූ ආගන්තුකයා...

මට තාම හොඳින් මතකයි ඇය දුටු මුල් දිනය. අම්මා කතා කරනකොට දොර රෙද්දෙන් ලැජ්ජාවෙන් එබිලා බලපු ඒ පුංචි කෙල්ල. එයාගේ මූන රතු උනු විදිය මට මතකයි. ඒත් හරිම දඟකාරයි. කාලයක් ගතවෙද්දි අපි දැන අඳුර ගත්තත්, එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ. ඒ ලැජ්ජාවට, ඒ හුරතලේට මං එදා ඉඳලම ගොඩක් ආසා උනා. කාලෙත් එක්ක ඒ සුන්දර රූපේ මට මගේ කරගන්ඩ ඕනා උනා. හැබැයි ඒ ආත්මාර්තකාමී හැඟීමක් සයිලස්.

නැවත බීර වීදුරුව අතට ගත් ඔහුගෙ දෑස අර්මුණකින් තොරව යොමුව තිබුනි. මැදිවියත් ලංකල ඔහුගේ වයස හතලිහක්වත් ඇති, මං හිතුවා.

මං ඈට මුලින්ම ආදරය ප්‍රකාශ කරද්දි, මගේ හිතේ ආදරයක් තිබුනා කියලා මට හිතෙන් නෑ. මට ඕනා උනේ ඈ මගේ කරගන්ඩ. ඒ ආත්මාර්තකාමී හැඟීම ආදරයක් විදියට මං පිටකලා. මුලින් පිළිනොගත්තත්, ටික දවසකින් ඇයත් කැමති උනා. ඒ ඇගේ කුළුඳුල් ආදරය. ඇගේ හිතට ඒක කොයි විදිහට බලපෑවද කියලා මං දන්නේ නෑ. ඒත් ඈ මගේ උනාම මං සතුටු උනා.

ඔහුගේ දෑස දෙස මං නිහඬවම බලා සිටියා. අතීත මතකවල සතුට අතරේ ඒ දෑස අතරමං වෙලා.
ඇයත් එක්ක ගත කරපු ඒ කාලේ හරිම සුන්දරයි සයිලස්. ඒ වගේ හුරතල් දඟකාරකමක්. අපිට හමුවෙන්ඩ ලැබුනෙත් ඉතා කලාතුරකින්. ඒත් ඒ කතාකරන ඇස්දෙක, ඒ දඟකාර කෙහෙරැල්ල, ඈ ලඟින් හැමවිටම හමපු ඒ ආදරණීය සුවඳ. මට අදටත් දැනෙනවා. ඒත් මං ඒ හැමදෙයක්ම නැතිකරගත්තා.

ඔහු නැවත එලඹුනේ දිගු නිහඬතාවයකටයි. ඔහුගේ මුහුණින් දිස්වූයේ දුකක් නොව ශාන්ත ගතියකි. ඔහු කතාව පටන් ගන්න තුරු මං බලන් හිටියා.

උඹටත් මෙහෙම දැනිලා තියනවද සයිලස්. දෙයක් ලබාගන්ඩ කලින් අපි ඒකට කොච්චර ආස කරනවද, ඒක ලබාගන්ඩ කොච්චර බලාපොරොත්තු තියාගන්නවද. ඒත් ඒ දේ ලැබුනාම අපිට ටික ටික අගයක් නැති වෙනවා. ඒක මගේවත් උඹෙවත් වැරැද්ද නෙවෙයි සයිලස්. ඒක තමයි මිනිස් සොබාවය. ඒක අපිට නැතිඋනාම අපි ආයෙත් ඒකට ආදරේ කරනවා.

ඔහුගේ මුහුනේ වූයේ මඳ සිනහවකි.

"ඒ කෙල්ල අහිමි උනානම් නුඹ කොහොමද සතුටු වෙන්නෙ?" මම හඬ අවදි කළා.

මං ඒ විරහවට ආදරේ කලා සයිලස්. ඒ දුක මගේ හිතට සතුට ගෙනාවා. උඹ මේ විදියට හිතලා තියනවද. දුකක් අපිට විඳවන්ඩ පුලුවන්, නැත්නම් විඳින්ඩ පුලුවන්. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං ආදරය කරා. ඒ ආදරය ඇතුලේ මට ඈ හිමිකරගැනීමේ ඕනකමක් නෑ. ඇය මගේ විය යුතුයි කියලා මට හිතෙන් නෑ. මගේ විරහවේ ආදරය තුල ආත්මාර්තයක් නැතිවුනා.

"ඇය නුඹට හිමිකරගන්ඩ බැරිඋනා. ඒ වගේ ආදරයකින් ඇති පලේ මොකක්ද?"

සැබෑ ආදරයට හිමිකරගැනීමක් අත්යවශ්‍ය නෑ සයිලස්. සැබෑ ආදරය තුල ආත්මාර්තයක් නෑ. උඹට හිතෙනවද මං බොලඳයි කියලා. ඒත් ඒ බොලඳ සිතුවිලි අතරේ සැබෑ ආදරයක් උඹ දකින්නේ නැද්ද? මං මලකට ආදරය කලා සයිලස්. ඒ වර්ණවත් සිනිඳු පෙති වලට, ඒ හිත හිරිවට්ටපු සුවඳට. ඒ මලට පෙම් බැඳපු බඹරා මම. ඒත් ඒ මල නෙලාගන්ඩ මට උවමනා නෑ. මල විනාශ කරලා මලේ සුවඳ නැති කරන්ඩ මං සූදානම් නෑ. ඒ සුවඳ, ඒ සිනිඳු පෙති මතකයේ පුරෝගන මං පිටවුනා. මලෙන් පල ඇතිඋනාද, පෙති හැලුනද කියලා මං හෙව්වේ නෑ සයිලස්. එහි සුවඳ වින්දේ කව්ද කියලා මං දන්නේ නෑ.

"ඉතින් ඒ ආදරය නැති උනාට නුඹට දුක නැද්ද?"

මට දුකක් දැනෙනවා ඇති. ඒ විරහව ඇතුලේ හිරවෙච්චි කඳුලකුත් ඇති. ඒත් ඒ මතකය මාව සනසනවා. උඹට තේරෙනවද. අදටත් මං ඒ මලට ආදරෙයි. ඒක ඉතාම පිවිතුරු හැඟීමක් පමණයි. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං හැමදාම ආදරේ කරාවි.

පුදුම නිවුනු බවක් මං ඔහුගේ මුහුනේ දැක්කා.

"ආදරේ හරි පුදුමාකාර දෙයක් සයිලස්."

5/25/2015

කවියට කවියක්....................




ඇසිල්ලක් පාසා
කවියටයි හිත ආසා
නැතත් රස බාසා
එයින් වේවිද කුමන දෝසා

විරිත මත යතිය
රැකලම බොහොම හතිය
හුරු පුරුදු ගතිය
අතැර දැමුමට සිතක් නැතිය

සොඳුරු පද පාවී
හිත අද්දරට ඒවී
තවත් රස වේවී
නුඹේ සවනත සොයා ඒවී

දුක කඳුළ සින්දා
පාළුව තනිය බින්දා
කවිය නුඹ හින්දා
මමත් සැනසුම් සුවය වින්දා
.
.
.
.
.
චාලි - 11

5/16/2015

තුන් ඈදුණු කතාවක් ~අවසන් කොටස ~ බණ්ඩාරගේ ගේ කතාව

එකිනෙක බැදුණු කථා තුනක තුන්වැන්න(අවසන් කොටස)

පළමු කොටස         
තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව 

දෙවන කොටස   තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව


අත වූ ටෙලිග්‍රෑම් කඩදහිය කුසුමා අතට දෙමින් ඒකනායක මාමා ලී පුටුවට බර වුනි. ඇත්තෙන්ම මනුස්සයෙක්ට මෙච්චර කරදර වෙන්න පුළුවන්ද යයි මාමාට  සිතුනි.
"ඒකනායක මල්ලිට කියන්න ඇත්තටම මල්ලි සතුටයි දුකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. දෙකම හැම වෙලේම තියන්නේ බොහොම ලගින්  එත් එක පාරකට පෙන්නේ එන්නේ එක්කෙනයි".
අතීතයේ දවසක කැන්ටිමේ ප්ලේන්ටියක් බොන ගමන් ඉතුරු ලැබුණු රුපියලේ කාසිය පෙන්වමින් බණ්ඩාර කියනවා මාමාට මතකය. බණ්ඩාරගේ ගම්පලාත නුවර කිට්ටුවය.
"අපි සිංහල රාජවන්සයේ ඈයෝ....".
බණ්ඩාර නිතර කියයි. කෙතරම් හිත හොද මිනිහෙකු වුවද බණ්ඩාරගේ මෙම රජවංස කතාව අනෙක් උදවියට එතරම් දිරවන්නක් නොවීය.

එත් හැමොගෙම් ජීවිත කණපිට පෙරලුනු අසුවේ ජුලි මාසයේ ඒකනායක මාමාට අත්වූ ඉරණම බන්ඩාරටද අත්විය. ඔහුගේ රැකියාව අහිමි වනවිට බණ්ඩාරගේ වැඩිමහල් පුතු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට  නියමිතව සිටියේය.
"ඉඩම් විකුණලා හරි මල්ලි කොල්ලට උගන්වනවා..... උගේ ආසාව දොස්තර මහත්තයෙක් වෙන්න...."

බණ්ඩාර කිවේ තමුන්ගේ පුත්‍රයා ඉහලින් සාමාන්‍ය පෙළ සමත් වූ දිනය. රස්සාව නොමැති වුවත් ඔහු යලිත් ඉක්මනට තමුන්ට රස්සාව ලැබෙතැයි බලා සිටියේය.  යලිත් නුවර තම ගම්පලාතට ගිය බණ්ඩාර ගැන මතකය කෙමෙන් කෙමින් ඒකනායක මාමගේ සිතෙන් ඇත් වන්නට විය.

එහෙත් එකතරා හැන්දෑවක හදිසියේම මාමගේ නිවසට බණ්ඩාර පැමිණියේය. ඔහු වැහැරී ගොසිනි. ඇද සිටී අදුමද  බෙහෙවින් කිළුටු වී තිබුණි. මුහුණේ දැඩි රැවුලක් මෙන්ම දිගට අපිලිවට වැවී තිබුණි කොණ්ඩය බණ්ඩාරගේ පෙර තිබුණු පෙනුම වෙනස් කර තිබුණි. දින ගණනකින් නින්ද ඔහු අසලටවත් පැමිණ නැති බව මාමාට සිතිනි.
"එකනායක මල්ලි පුතා අතුරුදහන් වෙලා දැන් මාස ගානක් වෙනවා මම රට වටේම හෙව්වා කිසිම ආරංචියක් නැහැ".
 ඒ බණ්ඩාරගේ අදොනාවයි. කිසිදාක නොසැලුණු මේ අභිමානවත් මිනිසාගේ දෑස් කදුලින් පිරී යනු මාමා බලාසිටියේය.  බණ්ඩාරගේ පුතා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වුයේ  මනහුවර දිත්රික්කයෙන්ම ඉහලින් සමත් වෙමිනි.

විශ්ව විද්යාල ඇතුලත්වීමේ සහතිකය මරණ සහතිකය වූ සමයක භීෂණයේ සෙවනැලි බණ්ඩාරලාගේ පුතුන්ගේ ජීවිත මතටද වැටී තිබුණි. ඒකනායක මමද බණ්ඩාර සමග හමුදා කදවුරු ගානේ ගියේය. හමු නොවූනු  දේශපාලන නායකයෙකු නොමැත. එහෙත් කිසිවෙකුත් පුත්‍රයා ගැන කිසිවක් නොදනියි. යනෙන සෑම ගමනකදීම බණ්ඩාර බසයේ වීදුරු කවුළුවෙන් හිස එලියට දමාගෙන මහමග දැවෙන තරුණ මලකදන් අතර තමන්ගේ පුත්‍ර යා ගේ මුහුණ සෙවීය.
"ඒකනායක මල්ලි එක්කෝ මුන් පුතාව මැරුවත් කමක් නැහැ දස වද  දිදී තියාගෙන ඉන්නේ නැතුව..." මරණය රජ කරන සමයක ආදරණීය පියෙකුට වුවද තම පුත්‍රයාගේ මල සිරුර දැකීම එක්තරා ආකාරයක සැනසීමක් බවට පත්කර තිබුණි. ඔහු සිය පුත්‍රයාගේ ඉරණම දනී මාමාට සිතේ .

මාමාට අවසන් වරට බණ්ඩාර හමුවූයේ පසුගිය සතියේ බණ්ඩාර ගේ පුත්‍රයාගේ අවසන් කටයුතු කරන දිනයේය. බණ්ඩාරගේ  සිහි විකල් වී තිබුණි. පුතුගේ දේහය වත් දැක බලාගැනීමට කිසිවෙකුටත් නොහැකිවන තරමට මෘගයන් අතින් විනාස වී තිබුණි. මහවැලි ගහේ පාවෙමින් තිබුණු අඩක් පිළිස්සුනු සිරුර හදුනා ගත්තේ බණ්ඩාර විසින්මය.

"පව් අසරණය" ටෙලිග්‍රෑමය කියවූ කුසුම කියන්නට වුනි.
"දැන් අපේ මහත්තය කවදද නුවර යන්නේ". අසන්නේ කුසුමාය.
" කොචිචියට පැනපු නිසා වැඩි කල් තියාගන්න එකක් නැහැ හෙටම අවසන් කටයුතු කරයි හෙට උදෙන්ම යන්න ඕන". ඒකනායක මාමා සිය මිතුරාගේ මළගමට යාමට සැරසුණි.


~ තුන් ඈදුණු කතාවක් පසුවදන~












(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින් තමුන්ගේ අයිතීන් වෙනුවෙන් කල උද්ගෝෂණයට පොලිස් බාධාකිරීම  dailymirror.com/infolanka.com)

2012 අගෝස්තු 12 වෙනිදින "80 ජුලි වර්ජකයින්" කල උද්ඝෝෂණයකට පොලිසිය විසින් කල පහරදීම තුන් ඈදුණු කතාවක නිමිත්ත විය(ඒකනායක මාමා ගේ කතාව 2013-04-11).
එහි ගොනු වූ ඉතිරි චරිත දෙක  රාමචන්ද්‍රන්( රාමචන්ද්‍රන්ගේ කතාව 2013-09-15) හා බණ්ඩාර, 80 දශකය තුල මිනිසුන්ගේ ජීවිත ගැන අපි අසා ඇති පරිදි ගොඩ නැගු චරිතය.
"80 වර්ජනයෙන් රැකියා අහිමි වූ හා එම වර්ජනයේ මහා වීරයන් රටේ පාලකයන් වූ ආණ්ඩුවෙන් කදුළු ගැස් කාපු, හැමදාම තැලෙන අපිදන්නා හදුනන හා නොදත් ඒකනායක මාමලා නොකියාම නික්ම ගිය රාමචන්ද්‍රන්ල, බණ්ඩාරලා වෙනුවෙන් .........."

සුභාෂ් (08_ඔටුවා)

5/15/2015

මගේ හීනෙට නුඹ ඇවිදින්....

බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. වෙලාවක් නෑ කියලා බොරු කියන්ඩ ඕනේ නෑනේ. හිත එකලාසයක් නැතුව.
මං සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලියපු කවියක් ආයෙමත් දාන්ඩ හිතුනා. මේවා කියවද්දි මතක් වෙනවා අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා....

අද වාගේ මතකයි
මට අත් පටලං දෙවැට දිගේ
දුව පැන ඇවිදපු අන්දම්
අපෙ බාලේ මගේ නගෝ...

සීත ඉමේ සැපට හැදුනු 
පොප්ලර් ගස් දෙකක් වගේ 
ජීවන සුලඟේ වෙලෙමින් 
පියමැන ආ මඟ මතකයි...

ඒ සුලඟට ගහගන ආ
හිරිමල් වයසේ හැඟුමන්
කිතිකැව්වා අප හිත් පොඩි
අනංග හී සර විදිමින්...

නුඹ දාලා සිදාදියට 
අකුරු කරන්නට ආවත් 
මං දාලා ගම අතහැර 
නුඹ ගියේ නෑ මගේ නගෝ...

ඒ උනාට නුඹව නොදැක
ඉන්නේ කෝම මාත් නගෝ
මගේ හීනෙට නුඹ ආවේ 
කියන්නදෝ නුඹේ ආලේ...

සිදාදියේ ගැටිස්සියන් 
පෑවත් දහසක් ඉඟිබිඟි 
අමතක නෑ නඟේ උඹව 
මං එනවා නුඹ බලන්ඩ...

පරා '06 

5/12/2015

|| ඔවුහු ||



"අමතක කරල දාන්න"
ඔවුහු ඈට කීහ.
"අමතක කරල දාපං බං"
ඔවුහු ඔහුටද කීහ.
"වැඩක් නෑ"
"තේරුමක් නෑ"
"ගිය දේ ගියා"
"වෙන අතක් බලාගන්න"
ඔවුහු කීහ.
"ඕවා ඔහොම තමයි"
"මොනවා කරන්නද"
"මිනිස්සුන්ට තමයි හැම දේම"
ඔවුහු නැවතත් කීහ.
"උදව්වක් කරන්න පුළුවන්ද"
ඈ ඇසුවා ය.
"ඔව් කියන්න"
ඔහු කීය.
ඔවුහු නොකීහ.
.
.
.
මල් සූටික්කි - 12

4/04/2015

(පස)මිතුරු෴


මහ ලොකු නිල් දාහේ කොලේ
උඹ නම් මහ හරිම එකෙක්
ලස්සන රස කෑම තියන
පාට පාට හෝටලයට
ලස්සන පාටින් දිලිසෙන
ඇදුම් තියෙන සාප්පුවට
මම ඉන්නවා ඔයත් එක්ක
යමුයි කියලා මා පොලඹන්
මාව ඇදන්
එක්ක ගිහින්
ගනින් ගනින්
මේක ගනින්
අන්තිමේදි
උඹ මෙතනින්
හෙමින් සැරේ
මුදලාලිගේ
සාක්කුවට
පැනලා ගිහින්
අර බලපන් දහයෙ කොලේ
මුදලාලිගේ සාක්කුවෙන්
හෙමින් සැරේ මා ගාවට
දහය හොදයි
කඩවල් දෙස ගෙන යන්නෑ
ගෙන ගොස් මා හැර යන්නෑ
යාචකයොත් එපා කියයි
දහය හොදයි
උඹ හිටපන් මාත් එක්ක



ජන්තු - 09

3/27/2015

ලෙසා දොරගුලු රන්දා වසා හදවත ඉන්නෙ කිම්දා........




සුපුන් සිසි වත විලසි
මහද ගගනත සදිසි
නැතුව කිංකිණි මල් වැසි
තවත් මොහොතක් මහද ඉවසි

අසූ කෙළ කප් සුවහස
දකිනු රිසි මල් මදහස
බොමුද වන මල් මී රස
වඩිනු හද වෙත සුවඳ මල් ඉස

බැඳුනු දිය පෙඳ පාසි
කඩිත්තක අඳුරින් වැසි
නොගැටි බඹරිඳු ඇස දිසි
සහස්පත සොඳ පිපුණු විලසි

නිසා පෙම මම බන්දා
රසා නැත් නිම් නන්දා
ලෙසා දොරගුලු රන්දා
වසා හදවත ඉන්නෙ කිම්දා
.
.
වටුවා - 10

පින්තූරය : http://www.chikotee.com/wp-content/uploads/2015/02/treat-premature.jpg

3/25/2015

පාළුව.....



තනි වෙලා ඈ ගොළු වෙලා 
පාළුවේ ඈ සිර වෙලා 
දෑස් හැඬුමෙන් රතු වෙලා 
දෙතොල් ඇත ඇගෙ වියළිලා
පුර හඳක් වන් ඇය එදා
අමාවක දැන් රජ වෙලා
අඳුර දෑසට හුරු වෙලා
තනිය ඈ ළඟ නැවතිලා
වේදනාවෙහි කිමිදිලා
පිහින යයි ඈ සොය සොයා
සැනසුමක් නොම දුටු නිසා
පතුලෙහිම ඈ සැඟවුනා
දැනෙන නෙක විද වේදනා
සඟවමින් ලැබ චෝදනා
ගියා ඈ වෙන්වෙලා
මුතු අහුරු වෙරළට එවා
........
.
.
මල් සූටික්කි - 12

3/20/2015

සසර කිම........?




එතරක් නැති සාගරයක්ද
හොඳින් රැවටී ලුහුබඳින මිරිඟුවක්ද
දිය පොදක් නැති කතරක්ද
නැතහොත්
කිසිදාක එකිනෙක හමු නොවෙන
රේල් පීලි යුගලක්ද......
හෙට ලොව ජය ගනිම්හයි කියුවද
ලොවත් මාත්
විටෙක එකම ප්‍රවේගයෙන්
විටෙක අඩු වැඩි වේගයන්ගෙන්
එකම සමාන්තර රේඛා පද්ධතියක
දුවන තවත්
එක්තරා ලක්ෂ්‍ය දෙකක් පමණි......
.
.
සැවැන්දරී - 12

3/18/2015

මගෙ නොවන සකි සඳ.....




මගේ නොවන සකි සඳ
අසාපන් රන් කඳ
අර දිලෙන පුන් සඳ
වගෙයි නුඹ පෙම් සඳ..

සිහිල දෙන පුන් සඳ
මිලින යන රෑ සඳ
අමාවකව ද අද
කියාපන් රන් කඳ..

දරන්නට දුක් කඳ
නුහුරු මගේ මල් හද
තලා මල් කෙමි සිඳ
නොයන් මගේ රන් කඳ..
.
.
හිනාමලී - 10

12/26/2014

සයිබර් විරුවෝ













උදේම නැගිටලා
මැසින් එක ඹන් කරලා
තරුණ දේශප්‍රේමියන්
රජෙක් හදන්නට පෙලගැසිලා

විරුද්ධ අදහසක් දුටු තැන
දේශ අනුරාගයෙන් මත්ව
කී බොර්ඩ් එක රුගෙන
සටන් කරයි මතුරජ බේරා ගැනුමට

විධායක බල තල මොනාද?
දහතුන දහ අට මොකක්ද?
ඒ ගැන දැනුමක් ඕනැ නැත
අපේෂකයා වෙනුවෙන් සටන් කරනට

පවුල මිතුදම් පවා අමතක කර
අපේෂකයා වෙනුවෙන් දිවි කැප කොට
සටන් කරනා මේ සයිබර් විරුවන් දැක
ඇඩෙනව මට තනි ඇහැට වෙන වෙනම

දළබුවා‘9

12/02/2014

Colombo

අහසට බර මහ වැහි වැටෙනා සඳ
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…

නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…

කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...

කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට

නිවන් පුරට වැඩපන් අම්මේ...

7/08/2014

Love

Love came.
Love came into our lives.
And it became a nostalgia.
Even though we were shaken by the power of time,
people haven't forgotten that deep within us
love lives in hiding tenaciously.
Whether we were children,
whether we were adolescents,
whether it was last year,
the name of that which pierced
through the deepest part of the existence
was love...

7/03/2014

වැලපෙන 'වල' | Valediction of the Connoiseur ෴










විදාහල අතු වියන ලෙස මට සෙවන වූවා නුඹෙ ගතින්...
වසාගත්තේ මගෙන් කොටසක්  කලේ රකිනට මා නිතින්...
කියා ඒ ගැන ලොවේ හැමදෙන කළා අවමන් පුහු සිතින්...
එහෙත් නුඹ මට මහමෙරක් බව කියමි හඬගා මා වතින්...

වසන්තයෙ පිනි කඳුලු තවරා මලින් නුඹ මා ගැවසුවා...
දසන්තයෙ හැම නිතර කොඳුරා මගේ රුව ගැන පැවසුවා...
දිගන්තය වෙත බසින කුමරා ලෙසින් නුඹ මා සැනසුවා...
අනන්තය තෙක් මලින් කල රූ සිතුවමින් මා සැරසුවා...

සියලු දහමන් නැසෙන බව නම් දනිමි වියපත් හිමියනේ...
කුමන අයුරින් නුඹගෙ නික්මන් බලා ඉන්නේ දෙනෙතිනේ...
කුරිරු මිනිසුන් ගියේ උදුරන් මගෙන් නුඹ මේ විලසිනේ...
සිනහ වෙන්නේ කෙලෙස යළි මම බලා නුඹ දෙස කිව මැනේ...

- ආදරණීය 'වල' -








ලිව්වේ : රන්දුනු යසරංග

සේයා රූ : 








6/20/2014

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීට කලා කවය මගින් සංවිධානය කරන නවතම චිත්‍ර ප්‍රදර්ශනය



ගස් කොලින් වටවුණු සුන්දර සිසිල් තන පියසක් මත සිටිමින් සෙමින් ගලායන සුන්දර මද නලෙන් අපිරිමිත සුව විදගනිමින් තම සිතට නැගෙන කුමක් හෝ අදහසක් කැන්වස් රෙද්දක් මත හෝ කඩදාසියක් මත සියුම්ව සිත්තම් කල හැකි නම් කෙතරම් අගනේද. එවන් අවස්ථාවක් මෙමස 19 වනදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ සිසුන් හට උදා විය.

Frame නම් චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමිව ඉංජිනේරු පීට කලා කවය මගින් සංවිදානය කල මෙම චිත්‍ර කලා වැඩමුලුව ඉංජිනේරු පීට සිසුන්ගේ චිත්‍ර කලා කුසලතා ඉස්මතු කෙරෙන කදිම තෝතැන්නක් විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීට කලා කවය පීටයේ කලා දක්ෂතා ඇති සිසුන් එක් කර ගනිමින් නිරන්තරයෙන් අපුරු කලා අංගයන් දැයට දායාද කරයි. ඒ අතර තුන්වෙනි සීනුව,සනුහරය වැනි නාට්‍ය නිර්මාණත් FIATO, දෙනිපෙත, සේකර ප්‍රණාම, සුහානි රාත්, රග සොබා වැනි ගීත නිර්මාණත් ප්‍රමුක වේ. නමුත් මෙවැනි චිත්‍ර කලා නිර්මාණ ඇගයීමට ලක් කරමින් සිදුකරනු ලබන පළමු චිත්‍ර ප්‍රදර්ශනය මෙයයි. සම්ප්‍රදායික අද්‍යාපන රාමුවෙන් ඔබ්බට යමින් තම සිතැගි පරිදි නිර්මාණ කරණයේ යෙදීමටත් තම සිතුවිලි ප්‍රබල ප්‍රකාශන මාද්‍යක් වූ චිත්‍රය හෝ වෙනත් කලා නිර්මාණයක් හරහා සමාජයට ප්‍රක්ෂේපනය කිරීමටත් Frame චිත්‍ර ප්‍රදර්ශනයේ මුලික අරමුණු අතර ප්‍රදාන වේ.

මෙහි පළමු අදියර ලෙස පැවති චිත්‍ර කලා වැඩමුළුව ඉංජිනේරු පීට පරිශ්‍රයේදී සිසුන් 300 පමණ සහබාගිත්වයෙන් පැවැත් විය. එළිමහන් ප්‍රදේශයක් පුරා පැවති  මෙම වැඩසටහන අපුරු කලාත්මක නිර්මාණ බිහි කෙරුණු තිබිරි ගෙයක් බදු විය. චිත්‍ර කරණයේ යෙදුනු නොයෙදුණු කාට වුවත් පොදුවේ මේ සදහා සම්බන්ද වීමට හැකි වීම මෙහි වූ විශේෂ අංගයක් විය. විවිද මාද්‍යන් යොදා ගනිමින් විවුර්ත වැඩසටහනක් ලෙස පැවති මෙහි නිශ්චිත මාද්‍යක් නොතිබීම ඉතා දැකුම්කලු වූ බව අවස්ථාවට සම්බන්ද වූ සිසුන්ගේ අදහස වියගකථිකාචාර්ය වරුන් සහ වුර්තීමය චිත්‍ර ශිල්පීන් රැසක් මේ අවස්ථාවට සම්බන්ද වූ අතර මෙලෙස සැගවුණු දක්ෂතා ඉස්මතු කිරීමට ගත් උත්සාහය ඔවුන්ගේ පැසසුමට ලක් වියගප්‍රබුද්ද කලා නිර්මාණ රැසක් එක් කර ගනිමින් Frame කලා නිර්මාණ දැක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය පරිශ්‍රයේදී නුදුරේදීම ජනතාවට ප්‍රදර්ශනය කිරීම සංවිධායකයින්ගේ මීළඟ අරමුණයි.