E-ලෝකයට අත්පොත් තබමින් ඉංජිනේරු පීඨ කලා කවය විසින් අරඹන්නට යෙදුණු "පින්තාරු වූ යන්තර" තීරුවට අපේ පැරණි සහෘද කලා කව සාමාජිකයින්ගෙන් ලැබෙන සහයෝගය අපි හෘද්යාංගමව බලාපොරොත්තු වෙමු.
මමනම් ඉතින් "පැරණි සහෘද කලා කව සාමාජිකයෙක්" මත් නොවෙයි. ඒත් ඉතින් ඔන්න ආරාධනය පිලි ගත්තා.
ගිය සතියෙත් අළුත් නැවක් කම්මලට සේන්දු වුනා. හැමදාමත් වගේ අළුත් මූණු, අළුත් බලාපොරොත්තු, ෆැකල්ටියේ හැම මුල්ලකින්ම එබිකම් කරනවා. දන්නෙම නැතිව මගේ හිතත් අවුරුදු විස්සකින් විතර එහා අතීතයකට ඇදිලා යනවා. සීතලෙන් පිරුනු මාර්තුවේ එක දවසක තල් වැට අස්සෙන් ඉර එළිය විදින වෙලාවක හෙමින් හෙමින් ෆැකල්ටියට ඇදුනු පෙරහැරේ කොනක මාත් හිටියා. අවුරුදු දෙක හමාරක්ම ගෙදරට වෙලා ඉඳලා අපේ කකුල් විතරක් නෙවෙයි මොලත් හිරි වැටිලා වගෙයි. අවුරුදු දෙකක්ම එක පංතියේ පිස්සු නටපු එකට බස් එකේ ගිය, අන්තිමේදි එකට සරසවියට තේරුනු පොළොන්නරුවේ ඌරාව (නිශාන්ත) මතකයට ආවත් අමාරුවෙන් හිර කරගත්තා. පහු කරපු කාලකන්නි කාලෙක කාටවත් නොකියාම මේ ලෝකෙන් සමුගත්තු දහස් ගණනක් අතරට නිශාන්තත් එකතු වෙලා කියලා ඒ වෙනකොටත් දැනගෙන හිටියා. ඒත් ඉතින් හැමෝටම වගේ එහෙම අත්දැකීමක් තිබුනා.
අද වගේ තොරන්, පිලි ගැනීම් මොකුත් නෑ, අපි ෆැකල්ටියට ආවා. එච්චරයි. ඉන් පස්සේ කෙලින්ම ඉංග්රීසි පරීක්ෂණයට. ඒක ඉවරවෙලා ලියා පදිංචියට ආයෙ හවස දෙකට. එතකන් කරන්න දේකුත් නැති නිසා නුවර පැත්තෙවත් රවුමක් ගහලා එන්න හිතාගෙන එළියට බැස්සා. මගෙත් එක්කම තවත් කුරුණෑගල පැත්තේ නාඳුනන චරිතයක් එකතු වුනා. ඒ පස්සේ කාලෙක ඉංජිනේරු පීඨ කලා කවයේ මුල් පුටුව හොබවපු, අදටත් හිටපු ගමන් කලා කවයේ ෆ්ලෙක්සිබල් කියන නමෙන් ලියපු කවි පලවෙන ලෙබ්බේ (රුවන් රත්නායක). දෙන්නටම අඩි දහයක්වත් යන්න ලැබුනේ නෑ. ඉංජිනේරු වැඩපල හරියෙදි එක සැරේම අපි ඉස්සරහ ප්රාදූර්භූත වුනේ ජේ්යෂ්ඨයෙක්. "කොහෙද මේ මල්ලිලා යන්නේ. එන්න මගෙත් එක්ක කැන්ටිමට යන්න" (සැ.යු: ඉහත දෙබස පල කල හැකි අයුරින් සංස්කරණය කල බැව් කරුණාවෙන් සලකන්න). ඉන් පස්සේ ලෝකෙ දිගම කොරිඩෝරය දිගේ ගයිඩඩ් ටුවර් එකක්. ඒ එන අතරමඟදී ජීවිතේට අහල තිබුන නැති වචන ටිකකුත් මගේ ශබ්දකෝෂයට එකතු වුනා. කැන්ටිම ළඟට එද්දී එක සැරේටම ඇහැ ගියේ වීදුරු බිඳුනු (ඇතෙන්ම කියනවානම් බිඳපු), ඉරිලා කහ ගැහුනු, කවිකොල ටිකක් එල්ලිලා තිබුනු දැන්වීම් පුවරුවක්. "කලා කවය". කැඩිලා කෑලිවෙලා තිබුනු රෙජිෆෝම් කෑල්ලක එහෙම තිබුනා. ඒ දැන්වීම් පුවරුව, ඊ ළඟ අවුරුදු කිහිපය ඇතුලේ ජීවිතේම කොටසක් වෙයි කියලා එදානම් නිකමටවත් හිතුනේ නෑ. ඉන් පස්සෙ ගතවුනු අවුරුදු විස්සෙදි ඒ වටා බැඳුනු සුන්දර මිනිසුන් බොහොමයි. බිඳුනු කලා කවය බැඳුනු කලා කවයක් බවට පත් කරන්නට දහදිය හෙලපු, දරදිය ඇදපු ඒ සුන්දර මිනිසුන් වටා ගෙතුනු කතාත් ඒ තරම්ම සුන්දරයි. ඉතින් නිවාඩු පාඩු ලැබෙන වෙලාවට ඒ කතා ඉදිරිපත් කරන්නම්. අද වෙනකොට ලෝකෙ සිව් කොනේම විසිරිලා ඉන්න ඒ අය ආයෙත් එකතු කරලා ඉදිරි පරම්පරා වලටත් ඒ රසය බෙදා දෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ප.ලි: ඒකෙන් මේකෙන් කැන්ටිම ඇතුලෙදි වුන දේවල් ගැන ලියන්න බැරි වුනානෙ. මොනවද ඉතින්, ෆන් තමයි ! සෙස්ස පස්සට.
ජනක විජයකුලසූරිය (කලා කවය හිටපු සංස්කාරක, 91/92 සහ 92/93)
ඔන්න පරණ රස කතා ටිකක් එළියට එන්නයි හදන්නේ .....සෙස්ස ලැබෙන තුරු අපි විමසිල්ලෙන් :)
ReplyDeleteඅවුරුදු 4ක් ඉදලත් දැන්නෙ දන්නෙ ජනක සර් හිටපු කලා කවය හිටපු සංස්කාරක කෙනෙක් කියල. ඒ ගැන නම් අයෙ සැක සංකා පහල කරගන්න ඔනෙ නැහැ කවුරුවත් , භාවිතා කරල තියන බාශා විලාසය දැක්කම එක නිකන්ම තේරෙනව. එහෙනම් ඔන්න අපිත් සෙස්ස එනකන් ඇස් උස්ස උස්ස බලාගන ඉන්නව .
ReplyDeleteහලෝ ජනක, කොහොමද?
ReplyDeleteමගේ කලා කවයේ කටයුතු මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/10/eternal-truth-about-university-life.html
සෙස්ස පස්සට?
ReplyDeleteඒක හෙන්රි ගේ ලිපියක කෑල්ලක් වගේ!
එහෙනම් සෙස්ස ඉක්මනටම දැම්මා නම් අපටත් බලා කියාගන්න තිබ්බා.
ReplyDeleteසර්, අපි තාම සෙස්ස එනකල් නොඉවසිල්ලෙන්. අපිට තව අවුරුදු විස්සක අතීතය ගැන අහගන්ඩ තියනවනෙ. පේරාදෙනි විශ්ව විද්යාලෙ ඉංජිනේරු පීඨ කලා කවේ ගැන කියන්ඩ හොඳම පුද්ගලයා අපේ ජනක සර්. අපි හිටපු අවුරුදු හතරේ අපේ පිටිපස්සෙන් ඉඳගන කරපු හැමදෙයක්ම සාර්ථක කරගන්ඩ උදව් කරාට බොහොම ස්තුතියි සර්...
ReplyDeleteදැන් ඔලුවෙ තියෙන්නෙ කැන්ට්මේ උනේ මොනාද කියල දැනගන්න තමා... ඊළඟ කෑල්ල තවත් රසවත් වගේ... ❤
ReplyDeleteදැන් ඔලුවෙ තියෙන්නෙ කැන්ට්මේ උනේ මොනාද කියල දැනගන්න තමා... ඊළඟ කෑල්ල තවත් රසවත් වගේ... ❤
ReplyDelete