11/28/2012

ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය


බොහොම බැරෑරුම් මාතෘකාවක් නේද? මාතෘකාව වගේම කතාවත්, ඒක පැහැදිලිව තේරුම් ගන්න එකත්, අපි කොතනද ඉන්නේ කියලා හිතන එකත් බොහොම වැදගත්. කාලෙකට පස්සේ ආවේ මේ පැත්තට. මං මේ ලියන්ඩ යන කතාවේ කොටස් කීපයක් තියනවා. මේ හැමදේකටම වස්තු බීජය උනේ ලඟකදි කියවපු සඳකඩ පහනක ගීතයේ විචාරය.  පලවෙනි එක තමා ඔය උඩින් තියෙන්නෙ. ටික කාලෙකට උඩදි කරපු මගේ නිර්මානයක්. ඊලඟට මං අදහස් කරනවා අමරසිරි පීරිස් මහත්තයගේ "ලඳුනේ" ගීතය ගැනත්, අර මුලින් කියපු "සඳකඩ පහනක" ගීතය ගැනත් ලියන්ඩ. අන්තිමට සංස්කෘතියක් විදිහට කාන්තාව හා ලිංගිකත්වය කියන දේවල් ගැන අපි දකින විදිහ ගැන බලන්ඩ.




























රංබණ්ඩා සෙනෙවිරත්න ශූරීන් විසින් ලියවුනු, ප්‍රේමසිරි කේමදාසයන් අතින් සංගීතවත් වුනු, අමරිසිරි පීරිස් ගායනා කරපු ලඳුනේ ගීතය සිංහල සංගීත ඉතිහාසයේ ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට ලක්වුනු ගීතයක්. මෙතනදි රචකයා උත්සාහ කරන්නේ සමාජයේ පහත් කියන මට්ටමට හංවඩු ගැහුනු, කාගේවත් සැලකිල්ලට ලක් නොවුනු "ගණිකාව" කියන චරිතය ගැන මානුශීය විදිහට බලන්ඩ. සිංදුව ගැන කියන්ඩ කලින් මේක ලියන්ඩ මුල්වුනු විදිහ කියන්නම්. නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයා නුවර උසාවියට ගිය වෙලාවක ඔහුගේ යාලුවෙක් එක්ක දළඳා මාලිගාව වඳින්ඩ ගිහින් තියනවා. එතනදි ඔවුන්ට දකින්ඩ ලැබෙනවා සුදු ඇඳුමින් සැරසුනු ලස්සන කාන්තාවක් තෙල් මල් අරගන මාළිගාවට යනවා. මෙතනදි රංබණ්ඩා මහත්තයගේ යාලුවා කියනවා මේ කාන්තාව ගණිකාවක් බවත්, හැමදාම හවසට මෙහෙම මාළිගාවට යන බවත්. මේ සිද්ධිය පාදක කරගන තමයි ලඳුනේ ගීතය ලියවෙන්නෙ.

ගණිකාවක් කියන වචනේ ඇහුනු ගමන් අපේ හිතට එන්නේ පිලිකුලක්. සල්ලි වෙනුවෙන් ඇඟ විකුනන ගැහැනියක්. ඉතාම පහත් ගතියක්. කන්ඩ නැතුව මැරිලා ගියත් හොඳයි මේ වගේ ජරා වැඩ නොකර. ඕක මට පෞද්ගලිකවම අහන්ඩ ලැබුනු දෙයක්. ලඳුනේ ගීතයේදි ගණිකාව ඇඟ විකුනන පහත් ගැහැනියකට වඩා, තවත් මනුශ්‍යයෙක්ය කියන අදහස මතු කරන්ඩ උත්සාහ කරනවා. බොහොම වෙලාවට කාන්තාවකට මේ වගේ තත්ත්වෙකට වැටෙන්නේ ජීවිතේ අන්ත අසරන තත්වෙකට වැටුනම නේද? තමන්ගේ කැමැත්තෙන් ඒ වගේ තත්ත්වෙකට වැටෙන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින් කියලයි මං හිතන්නේ. රංබණ්ඩා මහත්තයා මෙතනදි දකින්නේ ඒ කාන්තාව මිසක්, පිලිකුලට ලක්වුනු ප්‍රතිරූපය නෙවෙයි. 
"බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන, ඔබද පටාචාරාවකි, ඔබද කිසාගෝතමියකි" 
ඔහු මෙතනදි මේ කාන්තාව පටාචාරාවකට, කිසාගෝතමියකට සමාන කරනවා. පටාචාරා සහ කිසාගෝතමි කියන්නේ ජීවිතේ ඇතිවුනු ප්‍රශ්න ගොඩක් හමුවේ අසරන වුනු කාන්තාවන් දෙන්නෙක් . මේ සුදු ඇඳුමින් සැරසිලා පංසලට පියමන් කරන කාන්තාවගේ වර්තමාන තත්ත්වයටත් හෙතුව ජීවිතේ ඇතිවුනු ලොකු ප්‍රශ්නයක් වෙන්ඩ පුලුවන් නේද? අසරණ වෙච්චි ගෑනියෙක් ජීවත් වෙන්ඩ ගත්තු අන්තිම උත්සාහය වෙන්ඩ පුලුවන් නේද? ඒ පව් හෝදා ගන්ඩ පංසලට ආපු මේ කාන්තාව පටාචාරාවට, කිසාගෝතමියට සමාන කිරීමෙන් රචකයා මේ කාන්තාවගේත් ප්‍රශ්න ඇතිවුනු තවත් කාන්තාවකගෙත් වෙනසක් දකින්නේ නෑ. පටාචාරා හා කිසාගෝතමී අවසානයේ සමාජයේ පිලිගැනීමක් ලබනවා. මේ කාන්තවටත් ඒ අවධානය, අනුකම්පාව හා පිලිගැනීම ලැබුනොත් පහත් කියන තත්ත්වයෙන් මිදෙන්න බැරිද?
"අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ"
අපේ සමාජයේ වැරදි කරන, ඒ වැරදි තමන්ගේ සුදු රෙද්දෙන්, සල්ලි බලෙන් වහගන සිල්වත් ජීවිතයක් ගත කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රාත්‍රියේ මේ කාන්තාවගේ ඇසුර පතන මිනිස්සු දවල් එලියෙදි ඇයටම ගරහනවා.
"ළැම පමනක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ". 
සමාජය මේ කාන්තාව දිහා බලන්නේ පිටින් විතරයි. කෙනෙක් එලියෙන් පෙනෙන ළැම දිහා බලලා කාමාශාවක් ඇති කර ගද්දි, තවත් කෙනෙක් ඇගේ ජීවිකාව දිහා බලලා පිලිකුලක් ඇති කර ගන්නවා. හැබැයි හැමෝම දකින්නේ පිටින් විතරයි. ඒ කාන්තාව මේ තත්ත්වෙට එන්ඩ හේතු උනේ මොකක්ද කියන දේ තියෙන්නේ ඇගේ හිතේ. 
ලඳුනේ ගීතය ඉතාම මානූශීය ගීතයක්. ඕනෑම පුද්ගලයෙක්ට ගරහන්ඩ කලින් ඔහුගේ චරිතය දකින්ඩ කියලා රචකයා කියන්ඩ උත්සාහ කරනවා. කේමදාසයන් මේ ගීතයට අරුත්බර සංගීතයක් එකතු කරලා තියනවා. මට මතකයි දවසක් අමරසිරි පීරිස් මහත්තයා ඒ තනු නිර්මාණය ගැන කතා කරනවා. ගීතයේ අර්ථය වැඩි වෙන විදිහටත්, ශ්‍රාවකයාට හැඟෙන ප්‍රමාණය වැඩි කරන්ඩත් පුලුවන් විශිශ්ඨ සංගීත නිර්මාණයක්. (නෑයින් නෑකම නොකියන කොටසේ තනුව අහලා බලන්ඩ. මට ලියලා පෙන්නන්ඩ අමාරුයි.)

හොඳයි, ඊලඟට මං කියන්නම් සඳකඩ පහනක ගීතයේ ලඟකදි දැකපු විචාරයක්. මාත් මේක මූනුපොතේ දැක්කේ. ඒ විදිහටම මෙතන දාන්නම්.

""සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... 
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... 
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා 

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.""
මේක එක් ආකාරයක අරුත් දැක්වීමක් විතරයි. ඕනෑම කලා නිර්මාණයක අරුත ශ්‍රාවකයාට ගැලපෙන විදියට, හැඟෙන ප්‍රමාණයට වෙනස් වෙන්ඩ පුලුවන්. සම්පූර්ණ කතාවම මෙතන තියන හින්දා මං එතනින් නවතින්නම්.

ඉතිං ඔය ඔක්කොම ගැන කතා කරාට පස්සේ අපිට කොහොමද ඕක අදාල වෙන්නේ කියලා කවුරුහරි අහයි. (මේ මගේ අදහසක්. පිලිගැනීම හෝ විවේචනය ඔබේ වගකීමක්) සමස්තයක් විදිහට ගත්තම අපේ චින්තනය ඉතාම පටුයි. වෙනස් දෙයක් දිහා බලලා ඒක අවබෝධ කරගන්ඩ තියා, වෙනස දෙයක් පිලිගන්ඩවත් අපේ ගොඩක් දෙනෙක් කැමති නෑ. ගණිකාව කියන මාතෘකාව ඉතිහාසෙ ගොඩක් කල් ඉඳලම තියන කොටසක්. අදටත් ලංකාවේ ඕනතරම් ගණිකා ව්‍යාපාර් තියනවා, ඒවට යන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා. මං ගණිකාව සධාරනීකරණය කරන්ඩ හදනවා නෙමේ. රංබණ්ඩා මහත්තයා කිව්වා වගේ "අඳුරේ පව් කරන දනා, එලියේ රවන ලඳුනේ". අපි හැමකෙනෙක්ම මේ දිහා බලන්නේ පිලිකුලෙන්. ඒ අපි හිතන්ඩ පුරුදු වෙලා තියන හැටි. අපේ චින්තනය ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. හැබැයි ඒ ප්‍රතිරූපයට පිටිපස්සෙන් ඉන්නේ තවත් අපි වගේම මනුස්සයෙක් නේද. ඒ මනුස්සයට එතෙන්ට එන්ඩ හේතු උනේ මොකක්ද. කොලඹට, කටුනායකට දුර පලාත් වල ඉඳලා එන සමහර ගෑනු ලමයි අන්තිමට ගණිකාවක් වෙලා නතර වෙනවා. ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ දුප්පත්කම. බඩගින්දරෙන් ඉන්න මිනිහට තේරෙන්නේ කන්ඩ දෙයක් කියන එක මිසක් සදාචාරේ නෙමෙයි. සමහර විට අපේ සමාජ විශමතා වෙන්ඩත් පුලුවන්. එහෙමත් නැත්තම් මනුස්සකම නැතිවෙච්චි අපේම මනුස්සයෙක් හින්දා වෙන්ඩත් පුලුවන්. කොහොමින් උනත් අපි දකින්නේ අන්තිමට සමාජෙන් පිලිකුල් වුනු කාන්තාවක් විතරයි.   
අපි ගණිකාව කියන එක පැත්තකින් තිබ්බත් කාන්තාවකට අපේ සමාජයේ හරි පිලිගැනීමක් තියනවද? ඇත්තටම බැලුවොත් අපේ රටේ කාන්තාවක් හැම වෙලාවෙම ඉන්නේ පිරිමියෙක්ගේ හෙවනැල්ලක් යට නේද? මේක අපේ සංස්කෘතියත් එක්ක එන දෙයක්. ලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවලට පොදු දෙයක්. පිරිමියෙක් කවදාවත් කාන්තාවක් තමන්ගේ සම තැනින් තියලා බලන්නේ නෑ. ඇත්තටම ගත්තොත් අපිට අපේ සංස්කෘතික ආකල්ප වලින් එලියට බලන්ඩ පුලුවන්ද? ගෑනියෙක් පිරිමියෙක් එක්ක ටිකක් වැඩියෙන් කතා කරොත් අපි ඒක දකින්නේ කොහොමද? ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මං මුලිනුත් කිව්වා වගේ මේක මගේ මතය විතරයි. අපි හැමෝගෙම අදහස් බෙදාගමු. මේක මං හිතුවටත් වඩා දිග කතාවක් උනා. මට කියන්ඩ බලපොරොත්තු උනු දේවල් ඒ විදිහටම තියනවද දන්නේ නෑ. කොහොම උනත් කතිකාවට විවෘතයි.....   

11/23/2012

සංතකෙට මඟේ වන දින කෙදින.....


අශෛක්ෂ ඉටුවුනු පැතුම
මගේ දිවියේ නුඹ...
දලනිදු තරම් ආදරය දුන්
නිම නොවන....


අල්ප මාත්රයකුදු තරම් අඩු නොවුනද
නුඹේ විසල් සෙනෙහස
ගතිමි රිදවා සන්තානය
දොස් නැත නුඹද... මාද...

මිස,
 
ඉන්නට වරම් නැති,
තුරුලුව...
නුඹ මිණ,

එසඳ,

සංතකෙට මඟේ වන
දින කෙදින.....






                                           බට්ටා_06

11/13/2012

just a imaginary case...


විලේ දිය කඳ ගැඹුරු සේමා
දිවි මගක් විය නොදත් කිසිවෙක්
ඉකියකින් සිත රිදෙන සේමා
තනිකමක් විය ඇදුම් කන සිත්..

අසනි වැසි වැට
නුඹේ සෙනෙහෙට
විලේ දිය කඳ බෝම සැලුනයි

ඉකිය පරදන
නුහුරු හැඟුමින්
සිතේ නිම් තෙර පිරෙණු දැනුනයි

රුවන් මිණි කැට
ඉසුල නැතිවට
රුවේ පින් පිනි රැදෙනු බෝමයි.

සසල දිය කඳ
තුටින් සෙනෙහෙන්
ඉසිඹු නැති රැළි නගනු දැනුනයි

ගැඹුරු විල් තෙර අඳුරු මුල්ලෙත්
ඉතින් රැළියෙන් නොමැත අඩුවක්
පුරුදු ඉකියට යන්න කීවා
මඳ සිනා පෑ පුංචි කෙල්ලෙක්..



10/12/2012

සෙබලෙකුගේ අවසන් සටන ..............


මූකලන් බස්සාට 
රාත්‍රියේ ජය හිමි වෙවි..
තල් වැට අද්දර
සිහින් ඉකිබිඳීමක හඬ ඇසේවි......

නාඳුනන අමුත්තා නුඹවෙත
කඳුලු බිඳු රැගෙන එවි 
සාලේ එල්ලුනු අප්පච්චිගේ රුව
බිත්තිය සිපගනීවී..........

වීර පුතකු කියාවි බොහෝ දෙන
බලා විය නුඹ දෙසත් එලෙසින
කපරාරු නොකල බිත්ති අතර
හිස් බැල්මෙන් මා සිටිනු ඇත

හේවිසි දවුල් හඬ මැද
ගමන ඇරඹෙනු ඇත
නුඹ හා ඇවිද ගිය මාවතෙහි
යමි මම සොයුරන් මතින්

හිරු අවරට හැරුණු තැන
බොහොදෙන නික්ම යනු ඇත
අමු ගොක්කොල සුවඳ මැද
නුඹ පමණක් ඉතිරි වනු ඇත

රටට එකෙකු අහිමි වී ඇත
නුඹට මුලු රටම අහිමි වී ඇත
මමද එය දනිමි
එහෙයින් මම මසේ කියමි

මම නිහඬ වෙමි
නුඹට නොකියාම නික්ම යමි
හෙට අළුයම හමන සීතල සුලඟ කියවී නුඹට
මා නුඹේ සිහිනයෙන් නික්මුනුවග

අවදිවන්න නුඹ 
විවර කර කවුලු
ඉඩ දෙන්න හමායන්න
සුලඟට.................

08 ඔටුවා 

ප. ලි. 

ලංකාවේ යුද්දය පැවති සමයේ මම ද සෙබළෙකුගෙන් දුටුවේ වීරත්වය පමණී. එහෙත් සැම සෙබලෙකුම පුත්‍රයෙකු වන්නේය. බොහෝවිට  සැමියෙකු හෝ පෙම්වතෙකු වන්නේය. රට වෙනුවෙන් දිවි දුන්නද උන්ට උන්ගේ ලෝකය යැයි මට හැගුනු දේ පද වලට පෙරලුවෙමි. නිර්මාණයෙහි යම් පසුගාමී ස්වභාවයක් ද ඇතැයි මටම විටෙක සිතේ එහෙත් තීන්දුව ඔබට බාරයි............     

10/06/2012

පුලුවන්ද මට කියන්න

බොරු ගොඩක් මතකයේ රැන්දුව ..
වේදනාවක්..
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා

කිසිත් නොලැබුන..
ආදරේ යයි සිතුව..
වේදනාව
පුලුවන්ද මට කියන්න
ඒ 
ආදරයයි කියලා


ඇනෝනිමස්

9/13/2012

ඔහු, ඔහු සහ ඔවුන්.....


ඔහු,
හිස් බිම සිසාරා
ගිනි ගහන අව් කාස්ටකේ
රළු පොලව හා පොරබදිමින්
දහඩිය වගුරුවද්දී...


ලැබුනු සොච්චම් පඩියෙන්
පරණ ණය බර ගෙවමින්
පයිප්පේ වතුරත්
පරළු පාන් බාගෙත්
කුස ගිනි නිවද්දී....


                                                         ඔහු,
                                                         බැස අවුත් සැප රියෙන්
                                                         පැලඳ අව් කණ්ණාඩියක්
                                                         අණ දෙමින් වැඩ බිමට
                                                         සුදු ඇඳුම කොන වැකුනු
                                                         දුහුවිලි පිසිද්දී...


                                        ඔවුහු,
                                        ගත සවිය දිය කල
                                        දහදිය හෙලන ඔහු දෙස
                                        ඔරවමින් බලමින්
                                       "ජරා මිනිස්සු"


                                       ඇය,
                                       එලිවෙන පාන්දර
                                       කවුළුවෙන් හිස යොමා
                                       "මේ මොන කරච්චලයක්ද"
                                       ඔහුට බැන වදිද්දී...

                                                        ඔහු,
                                                        පැමිණ රතු පලස් මතින්
                                                        නැගුනු ඔල්වර හඬ මැද
                                                        ඈගේද ඔවුන්ගේද හරසර ලැබ
                                                        පීත්ත පටි කපද්දී....

ඔහු,
දහදිය වගුරවයි
රළු පොලවේ ගැටෙමින්
ගිනිගහන අව් කාස්ටකේ
තවත් එක් හිස් බිමක...



ලිව්වේ, පරා 06.




9/08/2012

මාවතේ ජීවිත ~7~" යනවා යනවා ගෙදර ගිහින් කනවා ...."


      "නිවාඩු දවසෙ වත් මෙ ළමයට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි...." උදේ බත් පිඟන අතට දෙන ගමන් අම්මා කියනවා.සතිය පුරාවට ගෙදර නොයින්න මම නිවඩු දවසටවත් ගෙදර ගෙදර ඉඳියි කියල අම්මගේ හිතේ අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. එහෙත් ඒ වචනෙට මට ගෙදර නවතින්න බැරි වෙනවා. ඊලග පොයට සෙට් වෙමු කියල යලුවන්ට කිව්වෙ ගොඩාක් කාලෙකට කලින් කියල මට මතක් වෙනවා.උදේ විතරයිනේ අම්මෙ දවල් කෑමට එනවනේ ඊට පස්සෙ හවස් වරුවම ඉන්නවනෙ මම අම්මට කියනවා. අහස තදින් කලුකරගෙන එනවා. අම්මො අදනම් වහින්න එපා ක්‍රිකට් ගැහිල්ල වැස්සට හේදෙයි මට හිතෙනවා. කටට දෙකට උදේ කැම කාලා මම බයිසිකලෙත් අරන් පිටවෙනවා. දවල් කැමට එන්න අම්ම ආයෙත් කියනවා. හරි අම්මේ මම උත්තර දෙනවා.
            බයිසිකලේ අතට ගත්තාම මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. කලින් දවසේ වැහැපු වැස්සට පාරෙ සමහර තැන් තාම වතුර පිරිල ලොකු වතුර වලවල් හැදිලා.වතුර වලවල් බේරගෙන මම රුං ගාල පල්ලියේ වත්තට යනවා. වත්තල පල්ලියට යාබදව පිහිටි විශාල භුමිය  ගමේ කොල්ලන්ට ලොඩ්ස් පිටියට වඩා වටිනවා. වැස්සට පිට්ටනියෙ කෙලවරක් මඩ වෙලා.කට්ටිය කතාවෙලා කණ්ඩායම් දෙක බෙදා ගන්නවා. පුංචිකාලේ තවත් එකෙක් හොයාගෙන, කරට අතදාගෙන   ටිකක ඈතට ගිහින් උඹ ඉර මම හඳ කියල උච්චි තෝල් දාල, කණ්ඩායම් බෙදපු හැටි මට මතක් වෙනවා.  ඒ පුංචි උන් දැන් ලොකු මහත් වෙලා , කාලය ගෙවිල ගිහිල්ලා. එහෙත් ශරීර වලින් ලොකු මහත් උනාට උන්ගෙ හිත් එදා වගේමයි කියල මට හිතෙනවා.
          තරඟය පටන් ගන්න සියල්ල සුදානම්. විකට් එකට කණු තුනක්  හොයාගන්න වෙනුවට පල්ලියේ තිබිච්ච කැඩුණු පුටු කබලක් ගෙන්ල්ල තියනවා. මමත් කොහොම හරි බැට් කරන කණ්ඩායමට තෙරිල තියනවා.
   පල්ලියේ දැවැන්ත ගේට්ටු අතරින් තවත් කෙනෙක් දුවගෙන එනවා. කාලගෝල නාට්‍යයේ කාලගෝල චරිතය වගේ මිටි මහත විරුපි විදියට දුව එන පුද්ගලයා පිස්ටෝ කියල මම අඳුර ගන්නවා. අන්න පිස්ටෝ එනවා කියල අපේ කෙනෙක් කෑගහල කියනවා.අපි කවුරුත් පිස්ටො කියල කිව්වට එයාගේ ඇත්ත නම අපි කවුරුත් දැන සිටියේ නැහැ. පිස්ටෝ අවුරුදු හතලිහකට පමණ වන කෙනෙක්. ඔහු අපි ලඟට ඇවිත් මොනවදෝ කියනවා. එ කියන දේ පැහැදිලි නැතත් ඔහුවත් එකතු කරගන්න කියනව කියල අපි තෙරුම් ගන්නවා.ෆීල්ඩ් කර්න පිල පිස්ටොව එයාලගෙ කන්ඩායමට ගන්නවා.
         පිස්ටො මනස නොවැඩින පවුලෙන් පුංචිකාලෙම අතහැරදමුනු කෙනෙක්. ඔහුගෙ නාවාතැන වුනේ පල්ලිය ඉදිරිපිට තියන දැවැන්ත ප්‍රතිමාවේ ආවරනය. පොයින්ට් ගලී ත'ඩ් මැන් ආදී කලාප වල මාගේ මිතුරන් පන්දු රකින අතර පිස්ටෝ මඩ වල අසල පන්දු රකිනවා මගේ සිත විස්තර විචාරය කරනවා.මඩ වල අසල උනත් මනුස්සයගේ මුහුනේ සිනහව පිරිල තියනවා. අද මමත් සෙල්ලම් කරනවා මනුස්සයට හිතෙනවා ඇති.
      විකට් එකක් වැටිල කට්ටිය සතුටු වෙනකොට පිස්ටොත් කට්ටියට එකතු වෙලා උඩ පැනල නාටනවා . එහෙත් කිසිම හේතුවක් නැතුවත් පිස්ටො අතේ ඇඟිලි සෙරම දිගැරල  කට්ටියට "පහක් දාලා" අත්දෙකන් මුන වහගෙන හිනාවෙනවා. අපෙ අයත් එක බලාගෙන පිස්ටොට හිනාවෙනවා.වේගයෙන් ගහන බෝල පාරක් මඩ වලට යනවා. පිස්ටො මඩ වල පුරාම දුවල ගිහින් බෝලේ අරගෙන ලඟම ඉන්න කෙනාට විසිකරනවා.
   ටිකෙන් ටික වැහි වලකුලු එහෙ මෙහෙ වෙලා අහාස පැහැදිලිව පෙනෙනවා. එක පාරටම බෝලේ මම ඉන්න දිහාවට උඩින් ඇදිල එනවා. මමත් බොලේ අල්ල ගන්න ඉස්සරහට දුවනවා. මගෙ අත් දෙකේ   රැඳුනු බෝලේ අඟිලි අතරින් රිංගල පපුව බඩ දිගේ රූටල  ගිහින් බිමට වැටෙනවා. මම අයෙත් බිමට නැවිල බොලේ අහුලල විසිකරනවා. මච්ං උඹ බුදියන්ද ඉන්නේ අපෙ කෙනෙක් මගෙන් අහනවා. නිවාඩු දවසෙ මොකට ආවද කියල මටම හිතෙනවා.
       දවල් වෙනකොට එකාදෙන්නා මරුවෙලා යනවා.අන්තිමට පිට්ටනිය අයිනේ දැවැන්ත පිහිඹිය ගහ යට ඉතුරු උනේ අපි හයදෙනෙකුයි පිස්ටොයි විතරයි. කට්ටියගේ ආගිය කතා ඉවරවෙනකොට හොඬටම දවල් වෙලා.බඩගින්නත් ටිකෙන් ටික දැනෙන්න පටන් අරන්.මමත් ගෙදර යනවා කියල අපෙ කෙනෙක් නැගිටල යන්න ලෑස්තිවෙනවා. බඩ ගිනියි මචන් කොහෙන්ද කන්නේ කියල තව එකෙක් අහනවා. ගෙදර ගිහින්ම කනවා අම්ම දවල් කැමට ගෙදර එන්න කියල කිව්වා මම කියනවා.අපේ කතා අහන් හිටපු පිස්ටො මොනවදෝ කියාගෙන පිටවෙනව. හරියටම තෙරුනේ නැතත් කියවුනේ යනවා යනවා ගෙදර ගිහින් කනවා වගේ කියනවා අපට තේරේනවා. අපිත් පල්ලියේ පයිප්පෙන් මුන කට හොදගෙන ගෙදර යන්න පල්ලියේ මහ ගේට්ටුව ලඟට එනවා.පිස්ටෝ පල්ලියේ ඉස්සරහ ප්‍රතිමාව යටට වෙලා පාරෙ යන එන වාහන දිහා බලන් ඉන්නවා.
පිස්ටො අපිටත් කලින් ගෙදර ගිහින් අපෙ එකෙක් කියනවා.
ඔව් පිස්ටො ගෙදර ගිහින් අව්වට වැස්සට පිස්ටො ඉන්න ප්‍රතිමාවෙ ආවරනය යටට ගිහින්.
මට යන්න ගෙදරක් තියනවා ...... ඒ ගෙදර කුස්සියේ මේසේ උඩ තියන වලං වල අම්ම උයාපු දවල් කෑම තියනවා. මට විශ්වාසයි ඒත් පිස්ටොට...........

ගෙදර යනවා ගෙදර ගිහින් කනවා පිස්ටො කියන්න හදාපු වචන දවල් කෑම එක අම්ම බෙදල දෙනකොට මගේ ඔලුවෙ මැවිල පෙනෙනවා. ..............

පිස්ටො .,තමන්ගෙ හිසට වහලක් නැති , කුසට අහරක් නැති තවත් එකෙකු පමනයි
පිස්ටොලා දහස් ගනනක් මේ පුංචි ආශ්චර්යමත් භුමිය තුල තවත් කොතෙකුත් ඇත්ද මට හිතෙනවා..........

ප ලි .
පිස්ටෝ මනඃකලිප්ත නමක් යෙදු සැබෑ චරිතයකි
සත්‍ය සිදුවීමක් නොවේ .

ඔටුවා 08 

8/26/2012

මාවතේ ජීවිත ~ 6 ~ කෝච්චියේ දේශනය.........



කළුතර ඉඳල පොල්ගහවෙල යන කෝච්චියේ ප්ලාස්ටික් අසුනකට බර වෙලා ඈත පෙනෙන ඉන්දියන් සාගරය දිහා බලන් ඉන්නවා. මේ දවස් වල ට්‍රේනින් වැඩ නිසා ජීවිතේ ගොඩාක් ඒකාකාරී වෙලා කියල මට හිතෙනවා. උදෙම නැගිටල ලක ලෑස්තිවෙලා ස්වර්ණවාහිණියේ මුල් පිටුවෙත් මුල්ම සිරස්තල ටික බලලා ගෙදරින් පිටත් වන මම ආයෙ රෑ කළුවරත් අරගෙන ගෙදර එනවා. ඒ ඇවිත් මහන්සියට කාල නිදා ගන්නවා. ඔෆිස් එකේ උනත් හැමදාම දකින්නේ කරමල සුදු වෙච්චි එකම කුකුල්ලු නිසා මට එහෙම හිතෙනවා ඇති.
සතියේ මුල් දවස් වලට වඩා සිකුරාදා දවස ගෙවෙන්න බොහොම ක්‍රියාශීලී වගෙම ඔක්කොම සතුටින් ඉන්නෙත් සිකුරාදා කියල හිතෙනවා. අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න ගොඩක් අය සිකුරාද හවසට ගම් බිම් බලා යන්න කෝච්චියට එකතු වෙනවා. මමත් සිකුරාදට එයාලට එකතු වෙනවා.  කට්ටියම කෝච්චියේ මුල්ලකට වෙලා සතියේ විත්ති සමාලෝචනය කරනවා. එහෙත් හැමදාම තනිවෙන්න හදන මගේ හිත ඈත පෙනෙන  නැවක කුඹගහක මුදුනෙ නැවතිලා තියනවා.

දෙහිවලට එනකොට හිස්ව තිබුනු කෝච්චිය බම්බලපිටියෙදි පිරිල යනවා. වේදිකාවෙ නවත්තන්නත් කලින් පිරිස් කෝච්ච්යේ එල්ලෙන්න තරගෙකට කියල හිතන්වා. ජයග්‍රහකයන්ට ඉතුරුවෙලා තියන තැනක සීට් එකක් ලැබෙනවා. ගොඩ දෙනෙක් තැන් තැන් වල එකතුවෙලා දොඩමලුවෙනවා. සිනහවෙන් කතබහෙන් කොච්චිය පිරිල යනවා.
පිරිස අතරෙ කිහිප දෙනෙක් රටේ දේශපාලනය අධ්‍යනය කරනවා. තව පිරිසක් අර නලුවගෙ කසාදය, මේ ගායිකාවගේ දික්කසාදය අහවල් ඇමතිතුමාගෙ බිරිදගේ සාරිය, ගැන චරිතාපදාන නිකුත් කරන්වා.

ඔය අතර තවත් කෙනෙක් දුරකතන සංවාදයක. එයා කියන දේ කොච්චියේ හු හඬ මැද උනත් මට ඇහෙනවා. "හරි හරි මං එනකොට අරන් එන්නම් " එයා ෆොන් එක කට් කරන්වා. "මොනවද බං ගෙදර ගෙනියන්න යන්නේ"යලුවො ටික මනුස්සයගෙන් උත්තර බලපොරොත්තු වෙනවා. එහෙත් අයියා උත්තර දෙන්න ටිකක කල්පනා කරන්වා. මුහුනේ ප්‍රශ්නාරතයක් වගේ ඇඳිල තියනවා. "ඇයි මචන් අව්ලක් ද?" තව කෙනෙක් අහනවා. "ඔව් මචන් පොඩි අව්ලක්" අයියා උත්තර දෙනවා. කට්ටියගෙම මුහුනු වල හිනාව මැකිල යනවා. කෙනෙක් ප්‍රශ්නයක් කියල කිව්ව ගමන් සංවේදී වෙන මිනිස්සු තවම ඉන්නව නේද කියල මට හිතෙනවා.
"අපේ පොඩි එකි මේ සතියෙ ශිෂ්‍යත්වෙ ලියනවනේ......." අයියට උත්තරේ සම්පූර්ණ කරන්න ලබුනේ නෑ. "ඇයි මචන් මොකො දැන් දුවට සනීප නැද්ද?" තව කෙනෙක් අහනවා , "මේ දවස් වල උනක් තියන්වා ඩෙංගුද
දන්නේ නැ "  මැදිවියේ ගැහැනු කෙනෙක් පිලිතුරු දෙනවා. මේ සේරම අය එකම කන්තොරුවක වැඩ කරන අය කියල මට හිතෙනවා."අප්පේ එහෙම කරදරයක් නෙවි දුවගේ විභාගයට වැදගත් වෙන පත්තරයක් ගේන්න
කියල වයිෆ් කිව්වා කොච්චියේ සද්දෙට මට එකේ නම ඇහුනෙත් නෑ ආයේ අහන්නත් බෑ එයගෙ ෆොන් එකෙත් බැට්‍රි ඉවර වෙල ඕෆ් උනා පත්තරේ නොගෙනියත් ඉතින්..........." අයියා ලොකු හුස්මක් හෙලනවා. අනේ පව් මුලු කෝච්චි පෙට්ටියේම අය එයට හිනා වෙනවා. කොච්චර හංගන්න හැදුවත් මටත් හිනා ගියා.

මමත් ශිෂ්‍යත්වෙ කරපු කාලෙට ගියා. අපේ තත්තත් මට සාධන පත්තරේ ගෙනත් දුන්න මතකයි.ඒකේ තිබුන ආදර්ශ ප්‍රශ්න පත්තරෙට උත්තර ලිව්වත් මම ශිෂ්‍යත්වෙ ෆේල් උන මතකයි. ප්‍රතිඵල ආපු දවසෙ පන්තියේ ටීචර් ප්‍රතිඵල කියනකොට මම ෆේල්..... "ඒත් පුතේ ශිෂ්ෂත්වේ කියන්නෙ ලොකු විභාගයක් නෙවි A/L පාස් වෙන්න" කියල   සුමනාවතී ටීචර් කිව්ව මට මතක වෙනවා. උසස් පෙල ප්‍රතිපල ඇවිත් මම ටීචර්ගේ ගෙදර ගියපු දවසේ මේ වචන ටික මතක් කරල දුන්නාම ටීචර් ගේ ඇස්වල කඳුලු තිබ්බ මට මතකයි. .......
හිත කියන්නේ කොච්චර වේගවත්ද කියල මට හිතෙනවා. පුංචි කතාවකින් මම ගිය  දුර.....

එතකොටත් අර අයිය වට කරන් ඉන්න පිරිස එයාට පත්තරවල නම් මතක් කරල දෙන්න හදනවා."ඒක නෙවි . පත්තරේ ජොතිෂ්‍යටත් සම්බන්ධ වෙන්න ඔන...." අයිය කියන්වා.

"මොකක්  කොහෙද බං ශිෂ්‍යත්වෙට ජෝතිෂ්ය තියෙන්නේ උබේ දුව ලියන්නෙ ශිෂ්‍යත්වෙ කියල ෂුවර්ද?. කැම්පස් යන්න එක්සැම් වලටවත් ජොතිෂ්‍ය නෑනෙ " තවත් කෙනෙක් උත්තර දෙනවා." කැම්පස් ??? ,අපෝ දැන් එව ආයෙත් වහල" තව කෙනෙක් උත්තර දෙනවා.
"අනේ ඔව් පව් අහින්සක ලමයි ටික මේ සර්ලට කිසිම හිතක් පපුවක් නෑ වගෙනේ වැඩ කරන්නේ ඒගොල්ලන්ට මෙච්චර පඩි වැඩි කරල දීලත් ඔහොමනෙ ලමයින්ට සලකන්නේ" වයසක පහේ අන්කල් කෙනෙක් කියනවා.

අනේ මේ වගේ මෝඩ මිනිස්සු අන්කල් බලන්නෙත් ITN ද කියල මට අහන්න හිතෙනවා. එහෙත් " සර් ල කරන කැපකිරීම් අන්කල්ල දන්නෙ නෑනේ" කියල තව කෙනෙක් උත්තර දෙනවා. මමත් ඒ කව්ද කියල හැරිල
බලනවා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන ගැන ඔහු පැහැදිලි කරනවා. "ආචාර්යවරු සටන් කරන්නෙ අන්කල් ල වගේ කොච්චියේ යන ආන්ඩුවෙ කන්තෝරු වල කඹුරන අයගේ ලමයි වෙනුවෙන් " කියල සටන්කාමී හඬකින් ඔහු කියනවා. ඔව් කොටින්ම දුවගෙ පුතාගේ අධ්‍යාපනේට මහාලොකුවට වියදම් කරන්න බැරි උබල වෙනුවෙන් තමයි එ මිනිස්සු සටන් කරන්නේ, ඒක මේ අන්කල්ල ට එක්කො තෙරෙන්නෙ නෑ නැත්නම් අන්කල්ල තේරිලත් පහසුවට නොතෙරුන වගේ ඉන්නවා කියල මට හිතෙනවා.

"අන්කල් දන්නවද විශ්ව විද්‍යාල රකින්න දාල තියන පුද්ගලික ආර්ක්ෂකයෙකුගේ පඩිය සහය කතිකාචාර්‍ය් වරයෙකුගේ පඩියට වඩා වැඩී කියල" දයාබර සටන් සගය සටන අත අරින පාටක් නෑ කියල මට හිතෙනවා.
"ඒත් පුතා මෙ මිනිස්සුන්ට මේ ලමයි ගැන හිතන්න බැරිද දැන් මෙගොල්ලො A/L පේපර්ස් බලන්නෙත් නෑලු එ ලමයි ඔවට පලි නෑනෙ අනික එතකොට එ ලමයි කවදද කැම්පස් යන්නෙ" අන්කල් තව ප්‍රශ්නයක් අතාරිනවා.
"ඇයි හත් ඉලව්වේ අපි A/L කරපු අවුරුද්දෙත් පෙපර්ස් බැලුවෙ පරක්කු වෙලා එත් අද අපි යස අගෙට කැම්පස් ඇවිත් ඉන්නෙ, අනික ගිය අවුරුද්දේ A/L කරපු ලමයින්ට තව වෙනතුරු කැම්පස් යන්න බැරි උනේ ,
සමහරුන්ට කවම කවදාවත් කැම්පස් යන්න බැරි උනේත් සර්ල නිසාද " කියල අහන්න මට හිතෙන්වා.
"අපේ සර්ල ලමයින්ට ආදරේ නිසා තමා ලොකු පඩි වලට රට යන්නෙ නැතුව තාම මේ රටෙ ඉඳන් අපෙ උන්ට කියල දෙන්නෙ එකයි එ මිනිස්සුන්ගේ මනුස්සකම" සහොදරය උත්තර දෙනවා. කොච්චි පෙට්ටියේ හිටපු අනිත් අයත් පිලිතුර  අනුමත කරනවා වගේ ඉන්නවා එත් කතාකරන්නේ නෑ. මෙ මිනිස්සු ඇත්ත දැන දැන නිහඬව ඉන්න එක ගැන මට සානුකම්පාවක් ඇතිවෙනවා. ඉතින් දෙයියනේ මමත් එහෙමනේ අඩුම ගානේ මම එ සහොදරය කියපුවට හරි කියලව සහයොගයක් දුන්නේ නෑනෙ, මට මගේ , අපේ කාලකන්නි නිහඬතාවය ගැනත් තරහ එනවා.....

"අද පත්තරේ තියනවා......" අන්කල් මොකද්දො කියන්න හදනකොටම අර සහොදරය රීති ප්‍රශ්නයක් යොමුකරනවා "මොකද්ද දිණමිනද ".  " නෑ..." අන්කල් අකුරු තුනක ජාතික පුවත් පතක නමක් කියනවා.
එත්කොටම අර කලින් පත්තරෙක නම අමතක වෙලා හිටපු අයියා ඔව් එක තමයි පත්තරේ කියල කියල කියනවා. "මොකක්" තවකෙක් අනපෙක්ශිත පිලිතුරෙන් මවිත වෙලා අහනවා. "ඔව් ඔව් එ පත්තරේ තියන්වා ශිෂ්‍යත්ව විභාගයට පෙර කරන්න ඔන වතවත් සහ අන්තිම පුජාව " අයිය නොකිව යුතු දේයක් කිව්ව කියල මට හිතෙනවා."මෙ කොටුව දුම් රිය ස්ථානයයි " නිවෙදනය නිකුත් වෙනවා. "බහින්නේ වරෙන් " යලුව මට කියනවා. මම බහින්න කියල දොර ලඟට යනවා.
 "පත්තරේ මුල් පිටු කියවන්නෙ නැද්ද ජොතිෂ්ය පිටුව විතරද බලන්නෙ?  "
 සටන්කාමී සහොදරය කොච්චිය හැමොටම ප්‍රශ්නෙකින් දමල ගහනවා. මමත් එ ප්‍රශ්නේ සාක්කුවේ දමාගෙන පිටවීමේ කවුලුවෙන් පිටවෙනවා................

ඔටුවා 08


ප.ලි.
මාවතේ ජීවිත සටහනේ කොටස් 1,2,3,4 හි සටහන් වන්නේ මාවතේදි සැබවින්ම මට හමුවු චරිත වන අතර 5, 6 සටහන් වන්නේ මාවතේ සිටින්නේ යයි මම උපකල්පනය කල චරිත වේ



8/22/2012

රැජිනියනේ..


රැජිනියනේ.......
දහදිය බින්දු නැත ඇගෙ ගත තනි කෙරුවේ
කදුලක් නොනැගි දුක් බෝ ඇත ඇගෙ පපුවේ
දුටුවෙමි සිනා පමණක් රූපත් මුහුණේ
මුව පිරි සිනාවෙන් ඇයි සිත රිදවන්නේ...
රැජිනියනේ.......
නෑ සිය මිතුරු නෑ කිසි දින දොස් දුටුවේ
අලුතින් ගෙනා පතිනියමයි සිහිවෙන්නේ
කිසි දින රවා වත් නෑ සිය හිම් දෙස බැලුවේ.
හිමි කෑ පතේ රජ බොජුනයි වළදන්නේ..
රැජිනියනේ.......
මුලුතැන් යහන වද මගෙ මවු හට තිබුනේ.
නෑ කිසි දිනක කුසගිනි මැද දරු තැබුවේ
අහසට කදුලු බර වී මහ වැහි වැටුනේ
මහ වැසි මැදත් වත සිනහවමයි රැදුනේ
රැජිනියනේ.......

මාටියා

8/20/2012

Being a Professional...!!

The hardest part of office work,
Is to pretend that you’re working hard.
It's true that you being useless jerk
But show that you are the top of the herd

In one tab you’ll have Business Weekly.
And in the other you’ll have FB wall
If you can switch them just so quickly
Your boss will think "Man with a Goal".

Outlook minimized just in case
Have SLPL streams live on Cricinfo
Hand on mouse ready for a race,
On Ebay you can bid for a Kenzo

An online game of Scrabble
Makes you think of so many words.
But when no one near to trouble,
You can shoot some angry birds.

When you tire of Gmail chat room
And you’ve written too many Tweets.
You’ll stroll down to the break room,
And help yourself with a tea & sweets.

You will find some class co workers,
Who posses the wisdom of acting busy
And there will be some sweet talkers,
Better not get your smart head dizzy

Months will pass & Years will join them
Money will come when the pay is ready
Weekends like gold and Holidays like Gem
You'll have to row your life boat steady


8/19/2012

මාවතේ ජීවිත ~5~ බලපොරත්තුවලටත් ට්‍රැෆික්


මොරටුවෙ ඉඳල ආපු බස් එක පිටකොටුවෙදි වේගය අඩු කරනකොට මම ඒකෙන් පැන ගන්නව. ගෙදර යන්න කඩි මුඩියේ දුවන මිනිස්සුන්ට මමත් එකතු වෙලා ඊලග බස් එකට නැග ගන්නවා. කොහොම හරි වාසනාවට ජනෙලයක් අයිනේ අසුනක් මටත් ලබෙනවා. ගුනසිංහ පුර ගස්වල වහල ඉන්න කපුටො රෑ වෙලා කියල කෑ ගහල කියනව. ඒත් ඊට වඩ හයියෙන් කොන්දොස්තර අයිය "රාගම රාගම" කියල කැගහනවා. ඊට පස්සෙ "අහ් ඔව් මල්ලි 6.05 ට තමා පිටත් වෙන්නෙ " කියල කාටද උත්තර දෙනවා.

මැනින් මාකට් එක පැත්තෙ ඉදල දුවගෙන ආපු මනුස්සයෙක් එලවලු මල්ලකුත් අරන් බස් එකට ගොඩ වෙනවා.ආපු හදිස්සියට මෙ එලවලු අද රෑට උයන්නද කියල මට හිතෙනවා.
බොහොම අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. ඩ්‍රැයිවර් අන්කල්ට ඉක්මනට ගෙදර යන්න උවමනාවක් නැද්ද කියලත් හිතෙනවා. ඒත් එය හිටි ගමන් ඉක්මනට යන්න යනකොට කොන්දොස්තර අයිය හොව් හොව්
පොඩ්ඩක් ඉන්න කියල කියනවා. බස් එකේ ඉන්න සමහරු මේක දිහා බලාගෙන ඇහුනෙ නෑ වගේ ඉන්නවා. එත් ට්‍රේනින් ගිය දවසෙ ඉදල වෙලපහ ගෙදර යන්න හදන මට අදත් වැරදි බස් එකකට ගොඩ උනා කියල
හිතෙනවා.ටික වෙලවකින් කාගෙදෝ දුරකතනයක් නාදවෙනව ඇහෙනවා. "ඔව් ඔව් දැන් පිටකොටුවෙන් බස් එකට නැග්ග තව පැය බාගෙකින් එනවා" එයා උත්තර දෙනවා.

හෙමින් සැරේ බස් එක ටෙක්නිකල් හන්ඳිය පහු කරල පන්චිකාවත්තට කිට්ටු වෙනවා, මගෙ ලග වාඩි වෙලා හිටපු කෙනා නැගිටල බහින්න යනවා. එතකොට අර එලවලු මල්ල අරන් නැගපු මනුස්සය මගෙ ලගින් වාඩි
වෙනවා. එ මනුස්සය එක්ක හිනා වෙන්න උත්සහ කලත් මගෙ මුහුනෙ දහදියට හිනාව පෙඟිල ගිහිල්ල. එයාගේ මුහුනෙ නම් තිබුනෙ බලාපොරොත්තුවක ලකුණු. ලොකු හදිස්සියකුත් තිබ්බ.

ආමර් වීදියේදි බස් එකේ වේගය තවත් අඩු උනා. මම ජනේලෙන් එලියට ඔලුව දාල වෙලාතියෙන්නෙ මොකද්ද කිඅයල බලනවා. රතු පාට බල්බ් පත්තු උන වාහන පාර දිගටම හිර වෙලා තියන්වා. "අද උඹ වේලපහ නේද යන්නෙ" කියල මගෙ යලුව ඇහුව මට මතක් වෙනවා. උගේ කට වැදුන තමා කියල මත හිතෙනවා. එතකොටම වගේ මට මගේ සාක්කුවේ ෆොන් එක දගලනවා. "අයියා කොහෙද ඉන්නෙ" නංගි කෙටි පනිවිඩයක් දාල.
"අර්මර් ස්ට්‍රීට්" මම රිප්ලයි කරනවා.
කොන්දොස්තර අයියා ලගට එනකොට මම අඟිලි වල හිරකරන් හිටපු රුපියල් විස්ස දික් කරල වත්තලට ටිකට් එකක් ගන්නවා. එහා පැත්තේ හිටපු මනුස්සය නැත්නම් අයියත් රාගමට ටිකට් ගන්න ගමන් මල්ලි රෑ වෙයිද කියල කොන්දොස්තර අයියගෙන් අහනවා. "ඔව් හවස් උනාට පස්සෙ රැවෙනවා ඇයි කලින් බස් වල නෙවිද ගියෙ" කොන්දොස්තර අයියගෙන් උත්තර ලබෙනවා. මටත් එ මනුස්සය ගැන දුකත් හිතෙනවා. එයා මන් දිහාලැජ්ජාවෙන බලනවා.
ආයෙමත් එයගෙ ෆොන් එක වදිනවා "මන් පොඩි ට්‍රැෆික් එකක ඉන්නෙ එන්න ටිකක් පරක්කු වෙයි" කියල මිනිහ උත්තර දෙනව." මගෙ වයිෆ් කතා කලේ මල්ලි අද ටිකක් කලින් ගෙදර යන්න කියල ලීව් එකක් දැම්ම එත් බලන්නකො ට්‍රැෆික් නේ", පව් අහින්සකය මට හිතෙනවා.එත් මන් මොකක් කරන්නද මාත් ඒ බස් එකේමනේ.

පාර හරහට කන්ටේනරයක් පෙරලිල කියල මිනිස්සු ජනෙල් වලින් එබිල බලනවා. කථාව ඇත්ත ට්‍රැෆික් එකට හෙතුව මෙක තමා . බස් එක එතැනින් ගලවිල ඉගිලිල එනවා.ඇවිත් ආමර් වීදියෙන් සුගදදාස ස්ටෙඩියම පාරට හරවනවා. එක දිගටම රතු පාට බල්බ දැල් වුනු වාහන පෙලකින් පාර වැහිලා.
"අදත් වරායට නැවක් ඇවිත්" කෙනෙක් කියනවා. එක ඇත්ත වරායට නැවක් ආපුවම එකෙ කන්ටෙනර් ගෙනියන දිගම දිග වාහන වලින් මුලු පාරම පිරෙනවා. හොල්ට් තුනක දුර එ කියන්නේ ආමර් වීදියේ ඉඳලා ඉඟුරු කඩේ හඳියට ලෙසියෙන් යන්න බැරිවෙනවා.

මගෙ ලග ඉන්න අයිය ආයෙත් හිස් බැල්මෙන් මන් දිහා බලනවා. "මල්ලිටත් ගෙදර යන්න හදිස්සිද" කියල මගෙන් අහනවා මම උත්තර දෙන්න හදනකොටම ඉස්සර පොඩි රන්ඩුවක්. බස් එකෙ කවුලුවක් හින්ද දෙන්නෙක් සටනට පැටලිල. ඇත්ත තමයි මෙ බස් එක අතුලෙ තිබ්බ රස්නෙට ගහ නොගත්තනම් තමා පුදුමෙ. මෙ දෙන්නගේ සද්දෙට පොඩි ලමයෙක් බයවෙලා හොඳටම අඬනවා එයගෙ අම්මා එයාව නලව ගන්න දහසක් බොරු කියනවා.හැමොටම එපාවෙලා වගෙ මිනිස්සුන්ගේ මුහුනු වල ලියෙවිල තියනවා. "පොලිසියවත් නැද්ද?" මෙ පාරවල් බලන්න කෙනෙක් අහනවා. මටත් ලංකාවෙ පොලීසියක් තියනවා කීයල මතක් වෙනවා.

හෙමින් සැරේ බස් එක් සුගදදාස ස්ටෙඩියම ලඟට එනවා. ස්ටෙඩියමෙ ලයිට් දාල . අද SLPL මැච් එකනේ එත් එක තියෙන්නෙ කෙත්තාරමෙනේ සුගදදාසෙ මොකටද ලයිට් දාන්නෙ මට හිතෙනවා. එතකොට ස්ටෙඩියමෙ වහලෙ සවි කරල තියෙන "කාර්ල්ටන්" කොඩිය මට පෙනෙනවා සිද්දිය මගේ පුංචි මොලේට වැටහෙනවා. "දවල්ට අව්වට බේබිලගේ හම කලු වෙන නිසා රැට ලයිට් දාල රගර් ගහනවා අපිට තමා ලයිට් කපන්නේ" කියල කවුදො කොලුවෙක් කට කැඩිච්ච කතාවක් කියනවා.

 සක්කුවේ ඉන්න මගේ ෆෝන් එක අයේ අඬනවා නංගි අයෙත් අහනව අයියා කොහෙද කියලා. මමත් ලුනු ඇඹුල් ඇතුව පොලීසියටයි ට්‍රැෆික් වලට වග කිය යුතු අයටයි අමතලා රිප්ලයි කරනවා.
මුහුන පුරා රැව්ල වවාගත්තු කොල්ලෙක් බස් එකේ ඉස්සරහට ඇවිත් විරිදු කියන්න ලැස්තිය. එත් කොන්දොස්තර අයිය මිනිහට බැහල යන්න කියල තදින් කියනවා. මිනිහත් කොන්දොස්තර අයියගෙ මව් ගැන විරිදුවක්සමගින් බැහැල යනවා.

කොහොම කොහොම හරි බස් එක ඉඟුරුකඩේ හංදියට එනවා. එතනින් ට්‍රැෆික් එක ඉවරයි ඩ්‍රැයිවර් අන්කලුත් ලෑල්ලටම පාගල යනවා.මගෙ ලග ඉන්න අයියත් ටිකක් හිනා වෙලා ඉන්නව දැක්කමයි.බස් එකෙ අනිත් අයටත් ඉක්මනට ගෙවල් වලට යන්න පුලුවන් කියල හිතෙනවා.

කැලණි ගඟ හරහා වැටිල තියන ජපන් මිත්‍රත්ව පාලම පහු කරල බස් එක යන්තම් පෑලියගොඩට එනවා.සුපුරුදු විදියටම අයෙත් දිගු වහන පොලිමක් මගෙ ලඟ හිටපු අයියට  අයෙත් කොල් එකක්. "පුතේ තත්ත අද එන්න ටිකක් රැ වෙයි තත්තිගේ යලුවෙක් අසනීප වෙලා ඉස්පිරිතාලෙ තාත්ති එයව බලන්න ගියා අපි හෙට උදෙට පන්සල් යමු" කියල කියනවා.
  එ එක්කම මට නංගි අයෙත් කෙටි පනිවිඩයක් එවල "අයියේ පොලීසියේ ඉන්නෙත් මිනිස්සුනේ එයලට බනින්නත් එපා එ ගොල්ලොත් දවසම මහන්සි වෙලනෙ ඉන්නේ" මටත් ඒ කතාව ඇත්ත කියල හිතෙනවා.

අර අයිය මන් දිහා බලල කියනවා "මල්ලි අද මගෙ පුතාගෙ උපන් දිනේ මන් වෙලපහ යන්න ආවෙ එකටයි හැමදාම මම වැඩ ඉවර වෙලා යනකොට එයා නිදි , උදේ වැඩට එනකොටත් එයා නිදි, දැනුත් වයිෆ් කොහොම හරි නිදි කරව ගනී බලන්නකො අපේ ජීවිත මහපාරෙමයි ...!"

මටත් මුකුත්ම කියගන්න බැරි වෙනවා, ජනෙලෙන් එලියෙ වාහන දිහා තේරුමක් නැතිව මමත් බලන් ඉන්නවා කොන්දොස්තර අයිය වත්තල බහින්න කියල කියනවා, මමත් නැගිටල බස් එකෙන් බැහැගන්නවා.
බස් එක පිටිපස්සෙන් පාර පනින්න යනකොට බස් එකේ දුම් ගුලියකින් මාව වැහිල යනවා. අනේ බස් එකේ හිටපු කී දෙනෙකුගේ, අර පුංචි පුතාගේ බලාපොරොත්තුත් මෙ බස් වල එන්ජින්වල දැව්ල දුම් බට වලින් පිට වෙනව නේද කියල මට හිතෙනවා.

 වෙලාව අටයි කියල මගේ ඔරලෝසුව කියනවා.......................


සුභාෂ් ~( ඔටුවා_08)

8/05/2012

මාවතේ ජීවිත~4~සොරාගත් සිහින













මාවතේ ජීවිත~1
මාවතේ ජීවිත 2~ වාසනා කූඩු
මාවතේ ජීවිත ~3~ රඹුටන් රස

දළුලන වසන්තයට
විකසිත වී සුවඳ වන්න
දකින්නට ඇත සිහින
පෙරදින නුඹත් මා විලස......

තනන්නට ලෝකයක්
පිසලන්නට කඳුලක්
දල්වන්නට සිනහවක්
අසාපන් යකුනේ......
උන්ට ඇත සිහිනයක්
තොප විසින් ගිලදැමු.........

කොල්ලකෑ සිහිනයම
ඉල්ලලා හඬ නගන
බුද්ධියේ අරගලය
මහමගය
බලවතුන් නොමදකින..................

ඔටුවා 8

8/04/2012

අයං වස්සාන කාලෝ.....








ගොම්මං කළුවර මැද්දෙන්
හීන් පොද වැස්සක් වැටීගන ආවා.
රැහැයියන්ගේ මූසල සද්දෙත් එක්කම
ඈතින් පන්සලේ ඝන්ටාර සද්දෙ,
මැටි ගැලවිච්චි පිල ලඟ ඉඳගන
මැණිකා කඩුල්ල දිහා බලාගන උන්නා
"එදා වගේමයි අදත්",
මැණිකාගේ හිත ඈතට දුවන් ගියා.







එදා හත්කෝරලේටම උන්නු ලස්සනම ගැටිස්සි මැණිකා

වැහි කාලේ පන්සලේ බුද්ධ පූජා,
අප්පුච්චලට කන්ඩ උයන්ඩ ගෙදර නැවතුනු ඒ හැන්දෑව,
හීන් වැහි කෝඩෙ මැද්ඩෙන් කඩුල්ල ලඟ කාරෙකක් නැවතුනා.
පිල ගාවට දුවගන ආපු මහත්තැන්
මැණිකාට පෙනුනෙ දෙවියෙක් වගේ.
ඒ හැන්දෑව මැණිකාගේ ජීවිතේ ලස්සනම හැන්දෑව,
අදටත්.
මහත්තයා කලුවරේම එලියට බැස්සේ මැණිකාගේ ඔලුවත් අතගාලා
"මං ඉක්මනටම එන්නං කෙල්ලෙ"
මැණිකා හැමදාම කඩුල්ල දිහා බලාගන හිටියා
මහත්තයා නැතත් කීප පෝයකින් බඩට දරුවෙක් ආවා.
ඉස්පිරිතාලෙන්ම දරුවා කාටදෝ දුන්නේ මැණිකාටත් නොකියා.

මේ ඔක්කොම මැණිකාට හීනයක් වගේ.
හිතේ වේදනාවෙන්ම අප්පුච්චා මියදුනා.
ගෙදරටම නාකිඋනු මැණිකා අම්මට තනි රැක්කා.
උන්දැත් මියැදුනා.
තනිවෙච්චි මැණිකා කඩුල්ල දිහා බලාගෙන උන්නා,
මහත්තය කවදහරි ඒවි"


ඒ හතලිස් අවුරුද්දකට කලින්.
අදත් ඒ පොද වැස්ස.
මැණිකා පිල ලඟ ඉදන් ගොම්මන් කලුවරේ
කඩුල්ල දිහා බලන් උන්නා.
ඒ ඇස් තාමත් දිලිසෙනවා,
"මහත්තය කවදහරි ඒවි."

ලිව්වේ පරා....



8/01/2012

මනස්ගාත


දුක අහන කිසිවෙකුත් මගේ ළඟ නැති වෙලා
තනිකමත් පාළුවත් හිඳී මා හඬවලා
දිනපොතේ පිටු අතර මගේ දුක සැඟවිලා
නින්ද මගේ නෙතු ළඟින් ඈතටම ගිහිල්ලා

7/22/2012

මාවතේ ජීවිත ~3~ රඹුටන් රස















මල්වානේ රන් රඹුටන්
පැණි වෑහෙන මැංගුස්ටින්
හඬ බොඳවු සිඟිති මුවින්
මිලකරනා පුංචි පුතෙක්

සුදු කමිසය දූලි සමග
පොත් මල්ලෙන් හෙම්බත් වුන
තවත් පුතකු මවු සමගින්
ඉල්ලා මොර දෙයි රඹුටන්

මිල වුනි ගෙඩි දස ගනනින්
පුතුන් මුවග සිනා මිටයි
එකෙකු අතෙහි රඹුටන් පොදි
අනෙක අතෙහි රුපියල් සත

එකෙකු දනී රඹුටන් රස
අනෙකා නොදනිද එම රස
වැරදී ඇත කොතැනක හෝ
රසවන්නට රුපියල් සත.....................?

ඔටුවා 8

7/16/2012

සිංදුවක් කියවමුද 3 - මව් පිය ගුණ වරුණ...

ඉතිං යාලුවනේ, කොහොමද ජීවිත යන්තරේ? පාට කරන එක ලේසි වැඩක් නෙමෙයි නේද. ඉතිං ඔය ජීවිත යන්තරේ පාට කරන එක ගැන කතා කරද්දි මුලින්ම කරලියට එන්නේ කවුද. අපිට ජීවිතේ දුන්න අම්මයි තාත්තයි නේද? අපි ජීවිතේට පාට ඇතුල් කරන්ඩ කලින් අපේ ජීවිතේ අයිති වෙලා තිබුනේ ඒ දෙන්නටනේ. මමනම් මේ ඉන්න තැන ඉන්නේ ඒ දෙන්න හින්දා. මං මේ පෝස්ට් එකේ ආත්මාර්ථකාමී වෙලා මං ගැනම කතා කරන්නම්. මොකද හැම කෙනාටම දෙමව්පියෝ ගැන කතා කරන්ඩ තමුන්ගෙම කියලා කොච්චරනම් දේවල් තියෙයිද.

කතාව පටන් ගන්ඩ කලින් මේ ටිකත් කියලම ඉන්නම්. මාත් කැම්පස් එක පැත්තේ ගියාට පස්සේ හීනියට වගේ කවියෙක් උනා. ඒ උනාට මං අත තියන්ඩ ගොඩක්ම බය මාතෘකා දෙකක් තිබුනා. එකක් තමා මගේ රට. අනික මගේ අම්මයි තාත්තයි ගැන. මේ මාතෘකා ගැන කතා කරන්ඩ ගිහින් වචනෙක කෑල්ලක්වත් වැරදුනොත් කියලා මං බය උනා. හැම දෙනාටම ඇඟේ තියන දේවල්නෙ. (ඒත් ආදරේ ගැන හැමෝම මෙච්චර ලේසියෙන් ලියන්නෙ කොහොමද කියන එක තව ප්‍රශ්නයක්) ඉතිං මං අද කතා කරන්ඩ හදන සින්දු දාලම පටන් ගමු නේද?





මේ සින්දු දෙකේම හරි ලස්සනට උපමා භාවිතා කරලා තියනවා. අම්මා කියපු ගමන් අපේ හිතට එන්නේ කෙලවරක් නැති තරම් ආදරයක්. සෞම්‍ය ගතියක්. එතකොට ඒ ආදරය ඇතුලේ තියන කැපකිරීම් අපි සමහර වෙලාවට දකින්නෙත් නෑ. සින්දුව පටන් ගන්නේ ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා කියලා. ඉතින් එතනින්ම මට අපේ අම්මව සින්දුවට එනවා. අපි ඉස්සර ඉස්කෝලෙ යනකොට අම්මා නැගිටින්නේ උදේ 4.30ට. කෑම උයලා, තේ හදලා හැමදෙයක්ම ලෑස්ති කරලා අපිව ඇහැරනවා. අපි කොච්චර කම්මැලිද උදේට නැගිටින්ඩ.
ඊළග ව(ර්)ස් එක බොහොම ලස්සනට ගලාගන යනවා.

"රෑ කලුවර අරගන දරුවන් එනතුරු හිත නෑ නිවන් දකින්නේ
රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි, කවදාදෝ ඔය නෙත දරු සෙනෙහසින් මිදෙන්නේ"

අපි කවුරු හරි පන්ති ගිහින් හරි ගෙදර එන්ඩ පරක්කු වෙනවනම් අම්මා හැම විනාඩි පහක්ම දොර ගාවට ඇවිත් බලනවා මොකෝ පරක්කු කියලා. පාරේ බස් එකක් යන සද්දේ ඇහුනොත් බලන් ඉන්නවා මේකෙවත් එයිද කියලා. හැම වැඩක්ම ඉවර කරලා අම්මා රැට නිදාගන්නේ ගොඩක් පරක්කු වෙලා. මෙතන ඒක කියන්ඩ යොදාගන තියන උපමාව ගොඩක් සංවේදී. "රෑ කලුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ". ඊලගට අම්මව උපමා කරලා තියෙන්නේ මහාමායා දේවියට. ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ අම්මට. හැම අම්මා කෙනෙක්ම බුදුන්ගේ මව් විදියට සම කරලා තියනවා. මන් හිතන්නේ ඒක අම්මා කෙනෙකුට කරන්ඩ පුලුවන් ලොකු උපහාරයක්.

ඔය විදිහට අම්මා ගැන කතා කරද්දි මතකෙට එන තවත් සින්දුවක් තමා කපුගේ මහත්මයගේ "දවසක් පැල නැති හේනේ" ගීතය. ඒකේ තේරුම කවුරුත් දන්නවා ඇතිනේ. ඒ සින්දුවේ මගෙ ජිතට ගොඩක්ම දැනෙන්නේ අන්තිම පදේ. "මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ". අපේ අම්මට මං කොහේ හරි ඉඳලා ගෙදරට ලන්වෙනකොට කොහොම හරි තේරෙනවා. සමහර වෙලාවට කියන්නෙත් නැතුව කැම්පස් එකේ ඉඳලා ගෙදර එද්දි මං කැමතිම කෑම හදල අම්මා ඉස්සරහට වෙලා ඉන්නවා. ඒක අම්මා කෙනෙක්ට තියන ආදරේ වැඩි කමට දැනෙන දෙයක් වෙන්ඩ ඇති. මට මතකයි දවසක් ඔය සිංදුව ගැන කතා කරද්දි නංගි කෙනෙක් කිව්වා මේකෙන් තේරෙන්නෙ රචකයගේ අම්ම නැති වෙලා කියන එක කියලා. අම්මා කෙනෙක්ට කවදාවත්ම එනකල් බලන් ඉන්ඩ කියන්ඩ ඕනෙ නෑ.

අම්මා ගැන කතා කරන හින්දා මං තව පොඩි දෙයක් කියන්නම්.

"බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට"

අද අපේ රටේ තියන මහලු නිවාස, අනාත මඩම්, පාරවල් අයිනේ ඉන්න වයසක මිනිස්සු දිහා බලද්දි හිතෙන්නෙ, අනේ මේ මිනිස්සුන්ගේ ලමයි කෝ කියලා. අපිට තියන "දුවගන යන සමාජය"ත් එක්ක අපි ඕකත් සාධාරණීකරනය කරන්ඩ හදනවා. එහෙම කෙනෙක්ට මං කියන්නේ, හිතලා බලන්ඩ තමුන්ගේ ලමයට ආදරේ කරන්ඩ අපි මොනවා හරි කොන්දේසි දානවද කියලා.
අනිත් සිංදුව තාත්තා ගැන. අපේ සමාජයේ අපි තාත්තා ගැන කතා කරන්ඩ බයයි වගේ නේද. "තාත්තා" කියන වචනේ ඇතුලෙම ලොකු ගරුත්වයක් තියනවා. පිටින් මොකුත් පෙන්නන් නැතුව ඔක්කොම අමාරුකම්, කරදර ඇතුලේ තනියම තියාගන, පවුල වෙනුවෙන් හැමදෙයක්ම කැපකරන කෙනෙක්. ඕකයි තාත්තා කියන වචනෙට මට දෙන්ඩ පුලුවන් තේරුම. තාත්තගේ ආදරේ පිටට පේනවා අඩුයි. ඒත් හරියට පර්වතවක් වගේ. කවදාවත් හෙල්ලෙන් නෑ. මේ සිංදුවේ උපමා වලින් ඒක හිතට දැනෙන විදියට එලියට දෙනවා. අපේ තාත්තා හිටියේ හමුදාවේ. ඒ වගේම ගොවිතැන් කරා. ඉතින් සිංදුව අහද්දි මට පේනවා තාත්තා උදැල්ලත් අරන් වෙලට යන හැටි. මට තාත්තා කියන වචනෙ ඇහෙද්දි ඇතිවෙන්නෙ හයියක් (කොටින්ම කිව්වොත් solid හැඟීමක්).
"වලාකුලේ ඩා බිඳු තවරා, මහ පොලවට මහ වැසි ගෙනෙනා".

"තුරු හිස මුදුනේ මල් පළඳා,
කැකුලු මුවට පල වැල නෙලුවා.
ඒදඬුමං බැඳ, සත්කුලුපව් බිඳ
සිදාදියට එන මං තැනුවා"

මෙතන මට ඇතිවෙන හැඟීම විස්තර කලයුතු නෑ කියලා මං හිතනවා. මේ වචන වලින් තාත්තා කියන්නේ කව්ද කියන එක අර්ථවත් විදිහට ප්‍රකාශ කරලා තියනවා.

මගේ කතාව ගොඩක් දුරට ගියා නේද. එහෙනම් අපි මෙතනින් නවතිමු. නවතින්ඩ කලින් හිතන්ඩ අපිට අම්මයි තාත්තයි කියන්නේ ජීවිතේ නේද කියලා. අපි අද මෙතන ඉන්නේ ඒ අය හින්දා නේද. අපි හැමෝම මේ දේ දන්නවානම් ඇයි මේ මහලු මඩම්? ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්.

අපි කතා කරමු....................

7/15/2012

~මාවතේ ජීවිත 2~ වාසනා කූඩුව

මාවතේ ජීවිත 1


ජීවිතයෙ වාසනාව
ඇණ ගසාල ලෑල්ලකට
ලොකයාට වාසනාව
බෙදාදෙන්න සැරසෙන නුඹ......

බිහිකරනා ලක්ෂ කෝටි මිලියනපති
පසුකර යයි නුඹ යන මග
හෙටත් නුඹය බෙදාදෙනුයෙ
වාසනාව මග අද්දර..............

හිරු සැඟවෙන හොරාවක
අහස පොලව ගැට ගහන්න
බලා උන්නු නුඹෙ දෙනෙතෙ
පිරී තිබුනෙ සෙනෙහස දරු මුනුපුරු ..............

ඔටුවා 8



7/08/2012

මාවතේ ජීවිත 1


මැදුරු දොරකඩ වියලි සුලඟට වියරුවෙන්
සිනාසෙන නුඹ
තනිකමට ලොව මදුරු මැසි කැල සෙනෙහසින්
සනසනා නුඹ
සඳෑ සිරුරට වැදු දරු පෙම මාවතේ අද
මිලින වු නුඹ
නොපෙනුනෙ කිම කවුලුවට රිය සඟවනා
බිඳු කඳුලු නුඹ..................!



ඔටුවා (තෙවන වසර )