2/19/2014

ගරාජ්කාරයා

සත්‍ය කතාවකි


ළපටි කොස් ගසේ මුල ඉඳන් අඩි ගානක් උඩට තැවරිච්ච අළු තට්ටුව,
පිච්චිලා ගිය කොළ අතු රෑන  
කියපු කතාව තේරුම් ගන්න වැඩි ආයාසයක් වුවමනා උනේ නෑ.
ගහ වටේ බිම් ප්‍රදේශයත් ඊට නොදෙවෙනිව ඒ කතාවටම උල් පන්දම් දෙන්න උත්සුක උනා..
අඟුරු
අළු
දුම්
මුලිමනින්ම බිමට සමතලා වෙච්ච පරණ ගොඩනැගිල්ලක්
මහාම කාලකන්නි චිත්තවේගයකින් පපුව හූරලා දමන,ටිකකට කලින් සිද්ද වෙච්චි විනාශයක ගතු කියන තැන තැන විසිරුණු නශ්ඨාවශේෂ.

_____________

අපිට ඕනවෙලා තිබුනේ හිතෙන් ගොත ගොතා හිටපු දීර්ඝ වාක්‍යයකට නාම පද ,ක්‍රියා පද ,විශේෂණ පද ඇතුළත් කරලා ඒ වාක්‍යයේ තිබෙන හිස්තැන් පුරවගන්න එක විතරයි.
දැනට තියෙන්න මෙච්චරයි.

..............නිසා ඇතුවූ ගින්නකින් ගරාජය සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබේ.

එක වාක්‍යයක් ගොතන්න ගිය අපිට වාක්‍යය ගණනාවක් එකතු කරලා දිර්ඝ රචනාවක්ම ගොතන්න වුනේ වෙන කවුරුවත් හින්දා නෙවෙයි 
යට කී ගරාජ් එකේ අයිතිකාරයා නිසයි.
මනුස්සයා දිහාට හෙළපු එක බැල්මකින්ම, 'ගරාජ්කාරයා' නාම පදය ඉදිරියට භාවිතා නොකරන්න කාරණා රාශියක් අපි ඉස්සරහ ගොඩ නැගුනා.

උස මහත
දිගට වැවුනු කෙස් වැටිය
ලොකු රැවුල
කණ්නාඩි කුට්ටම
සරම
කමිසය
මේ ඔක්කොම අභිබවා ඉහළින්ම පෙනිච්ච අපූර්ව පෞර්ෂ්‍යයක්

"සුබ සන්ධ්‍යාවක් මහත්මයා.මම තමයි මේ වැඩපොළේ අයිතිකරු.මගේ අරමුණ උනේ මේ අපේ රටේ නැතිවේගන යන,විනාශ වේගන යන දේවල් යම් පමණකට හෝ ආරක්ෂා කරලා අපේ මතු පරපුරට ද.."

"සෑහෙන්න ඩැමේජ් එකක් වෙලා නේද?" සිංහල සාහිත්‍ය පාඩම නැවතුනේ වෙන කෙනෙක්ගෙන් එල්ල වෙච්ච බාධාවක් නිසා.
ම්ම්හ්ම් නෑ
 සිංහල පාඩම නැවතුනේ නෑ

"ඇත්තටම මහත්මයා මට පමණක් නොවෙයි.මේ බලන්න මේ ගහ මුල තියෙන්නෙ මොකක්ද කියලා.
(ගහක් මුල තිබෙන පරණ එන්ජිමක් පෙන්වයි )
මේක මහත්මයා එකදහස් නවසිය හතලිස් ගණන්වල ලංකාවට ගෙන්නපු ******* මොඩලයේ (මතක නැත ) කාරයක එන්ජිමක්.දැනට ලංකාවේ ඉතිරි දෙකයි.ඉතින් මහත්මයා මට කණගාටුව ඒකයි.මේ වගේ දුර්ලභ දේවල් ආරක්ෂා කරලා තියාගන්න තමයි මම මගේ ශක්තිය වැයකරන්නේ.
මම කලාකාරයෙක්"

මනුස්සයා කරන්නේ අතෑරලා දාපු පරණ වාහන කෑලි,අන්තෙටම හිඳිච්ච කොටින්ම තව දුරටත් වාහනයක් කියන්නත් බැරි චැසි කෑලි පවා උස්සගෙන ඇවිත් ඒවා පිළිසකර කරන එක.වාහනයේ බොඩිය පවා මුල ඉඳන්ම නවලා නවලා පුරුද්දලා හදාගත්තු අවස්ථා තිබිලා තියෙනවලු
හොඳම දේ ඒක නෙවේ
ඒක මනුස්සයාගේ රස්සාව නෙවේ
විනෝදාංශය
වියදම් වලින් පරිපූර්ණ විනෝදාංශයක්...

ඔහු බොහෝමත්ම උද්‍යෝගයෙන් ,රුචියෙන් අහළ පහළ වැතිර තිබුණු ,ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න හිතාගෙන ඉන්න වාහන කොටස් පෙන්නලා දෙන්න ගත්තා.
අවසානයක් නැතුව
වෙහෙසක් නැතුව....
ඒත් අපිට අර වාක්‍යයේ හිස්තැන පුරවගන්න ඕනෙ

"කොහොමද මේ ගින්න ඇතිවුනේ"

"බොහොම කණගාටුදායකයි මහත්මයා.මමයි මගේ බාසුන්නැහෙයි අර පේන ,එකදාස් නවසිය පනස් දෙකේ නිපදවපු ****** කාරයේ චැසිය සුද්ද කරලා ඒකේ යම් ස්ථානයක් පෑස්සීමට තමා උත්සහ කලේ .මම කාබයිඩ් සිලින්ඩරය අරිනවාත් සමගම තමයි ටෝච් එක ළඟින් ඇතිවෙච්ච ගිනි පුළිඟුව කාබයිඩ් සිලින්ඩරය දක්වා ගිහින් සිලින්ඩරය ගිනි ගත්තේ .ගින්න අඩි හැටක් හැත්තෑවක් විතර උඩට විහිදුනා මහත්මයා.අපායේ ගිනි ජාලා වගෙයි.

සටහන: මෙහි පෑස්සීම් කටයුතු සඳහා යොදාගෙන තිබුනේ ඔක්සි -ඇසිටිලින් දැල්ලයි.ඇසිලිටිලින් වායුව (මෙහි පැවසෙන ආකාරයට 'කාබයිඩ්') ඔක්සිජන් සමඟ දැවීමෙන් ලබාගන්නා අධික තාපයෙන් පෑස්සීම සිදුකෙරේ. 

නිසි ආරක්ෂක උපකරණ නොමැති කමින් ,වායු නළ තුළින් ආපස්සට ගමන් කළ ගිනි පුළිඟුවක් වායු සිලින්ඩරයට ඇතුල් වීමේන් ගින්න ඇතිවී තිබිණ.


මනුස්සයෙක්ගේ කටින් එළියට නේන වචන බොහොමයක් මූණෙයි,ඇස්වලයි තැවරෙනවා සාමාන්‍යයෙන්.
ඒත් මේ තැවරිච්ච වචන අල්ලගන්න එක නම් ලේසි දෙයක් උනේ නෑ.
හැබැයි 'දුක' ට සම්බන්ධ වචනයක් තිබුනේ නෑ.
ඒක විශ්වාසයි
ම්ම්ම් උපේක්ෂාව ?

එක සැරේක මිනිහා,ළඟ පාත තියෙන කන්දකට මුවා වෙච්චි දාගැබක් අයිති පන්සල ගැන කියනවා
තව සැරේක ලාවට කොළ පාට වැටිච්ච කුඹුරට ඇඟිල්ල දික් කරලා ඒක ගැන කියනවා.
ඒ දෙක තියෙනකල් එයාට වරදින්නේ නෑලු.
ඇත්තටම කියනවානම් හරි ගිය පාටකුත් පේන්න නෑ කියලා හිතුනේ පරණ ගෙදරයි,එච්චර සශ්‍රීක නැති වත්ත පිටියයි දැක්කාමයි.ඒත් ඒ ගැන අහන්න ගියේ නෑ අපි.

කතාවෙහි තියෙන බුහුටි කමත් එක්කම 'මේ නම් පම්පෝරිකාරයෙක්'ය කියන සිතිවිල්ලත් හිත ඇතුළට කාන්දු වෙන්න පටන් ගත්තු එකනම් නවත්තන්න බැරි වුනා.විශේෂත්වය උනේ 'සිද්ද වෙච්ච අනතුර' ඒ කතාවෙන් ඉතාම බොහොම කුඩා ප්‍රතිශතයක් වීමයි.කොටින්ම අනේ මම දැන් මොකද කරන්නේ,කොහොමද ජීවත් වෙන්නෙ,අනේ වෙච්ච අපරාදේ මේ කිසිම දෙයක් කියවුනේ නෑ.


ගින්නට හේතුව හොයාගැනිල්ලත් එක්ක පෙරකී වාක්‍යය සෑහෙන්න දුරට සම්පූර්ණ වීම නිසා ගෙදර බලා යාමේ තදියමත් කරදර දෙන්න වුනා.
ඊට කලින් එක දෙයක්.
මේ ඔක්කොටම මුල් වෙච්ච එකා
ගෑස් සිලින්ඩරය
ඒක බලලා ෆොටෝ එකක් දෙකක්වත් අරගැනීමේ වුවමනාවක් ඇතිවුනා..
ඌ පේන්නනම් හිටියේ නෑ.
කාලකන්නියා !

අර මනුස්සයාගේ කෙටි මඟ පෙන්වීමකින් සේසතම විනාශ කරපු සිලින්ඩර අලුගුත්තේරුවා ඉන්න තැනට ළඟා වුනා..
මනුස්සයෙක් උනානම් දෙකක් නෙළන්න හරි බැරියැ
ඒත් යකඩනෙ
ඒත් කොහොමහරි දකින්න බලාපොරොත්තු වෙච්ච දර්ශනයනම් නෙවේ එතන තිබුනේ
ගින්නෙන් පස්සේ කට්ට කළු පාට වෙන්න ඕන සිලින්ඩරය නෙවෙයි තිබුනේ (සාමාන්‍ය පාටනම් දුඹුරු වගේ ) 

හොඳට වැලි කඩදාසියකින් මැදලා පිහදාලා තිබුනා
ඒ වැඩේට අපේ සගයෙක්ට ටිකක් කේන්ති ගිහිල්ලා වගේ

'මොකක්ද මේ කරලා තියෙන්නේ '

කෙලින්ම උත්තරයක් නෙවේ ලැබුනේ.වට වන්දනාවක් 

'මහත්තයා මම විශ්වාස කරනවා මාත් සමඟ මේ වැඩ කරන ආයුධ උපකරණ වලට පවා පණ තියෙනවා කියලා.ඒවා අපේ යාලුවෝ වගේ.මම හිතාගත්තා මහත්මයා ආයේ මම මේකත් එක්ක වැඩ නොකළත් මතක සටහනම් වශයෙන් හරි තියාගන්න.ඒකයි පිරිසිදු කරලා එහෙම අලුතෙන්ම තීන්ත ආලේප කරන්න ලෑස්ති උනේ'
_____________

ලියලා ඉවරයි
අතේ වේදනාවක් දැනෙනවා
මදුරුවෙක් නේද
හිතට ඉස්සර වෙච්ච අනිත් අතේ අල්ල මදුරුවගේ ඇඟ මත පතිත උනා
මගෙ ඇගෙන් උගෙ ඇඟට ගිය ලේ ගොඩේම ඌ එළොව

අපේ හැටි එහෙමයි

ගහපන් බලන්න මට...
මාත් ගහනවා.................










කාලෙකින් පින්තාරු වූ යන්තරේ ලියන්නේ
ආපහු බ්ලොග දුවන එක ගැන සතුටුයි

සුබ පතනවා අලුත් ඈයින්ට



2/11/2014

හිරු නොබසින හැන්දෑවක

රහස් කියනා සීත මදනල..
හමා යන අර ඈත විල් තෙර..
ඔබේ අත ගෙන තනිවු මොහොතක..
සියොත් ගී වැල් රැදුණි සවනත..
නොබැස ඇස යට..
දිලෙන හිරු රැස්..
කිතිකවයි ඒ..
මතක සිතුවම්..
විහිද විකසිත සැලෙන ලවනත..
කැලත පොපියන රසය මනරම්..
සොයා වෙහෙසන..
කරුණු නම් කිම..
ඔබට කිසියම් විටක සිතුණිද,
ඇතිද මිහි මත,
මේ තරම් නම් සෙනෙහසක්...



෴ මීයා -10෴

රාත්‍රියේ වට වැස්ස..

හිරුගෙන්   මිදී      හෝරාවෙකින්
දැනුනෙන්  සීත ගේනා       සුළන්
ඇසුනෙන්  ඈත හෝ ගා     හඬින්
ලකුණෙන් දැනිනි වැස්සක  ගමන්   

පොරවා හිසේ සිට පා    මතින්
යහනා   සුවේ මවලා     සිතින්
සැලසුම් ඇඳී  නිදනා   ලෙසින්
සයනේ  බලා ගියෙ මා  තුටින්

සැණෙකින් හිතේ  අකුණක් ලෙසින්
කෙටුනා     යමක්  සිහිවී      ගියෙන්
පෙරදා        පුරේ  සිඟමන්      යදින්
සිටි  ඒ        දනා  කෙලෙසක  නිදන්

නොතෙමුනු කඩ   පිලක්   කොහොමින් හොයන්නද
කොතැනක  මේ   පෙට්ටි  කොළ   ටික     එලන්නද
තෙතවුනු     ඇඳි   ඇඳුම්    හැර    තව        අදින්නද
නැති කල    වෙන ඇඳුම්    මං     මක්       කරන්නද

ඉඳ ගත්   පිලත්  හිරිකඩ   වලකනු    නොහැකී
හුළඟත්  ඇවිත්  හිරිගඩු    ඇහරන       සෙයකී
වහගත්   නමුත්  හිස සිලි  කවරෙන්       සුරැකී
දෙවියනි තවත්  සීතල      ඉවසනු     නොහැකී

෴ සොමියා -11෴

2/04/2014

පසුතැවිල්ලකට පෙර ...

පුංචි කාලේ අප්පච්චි හවසට ගෙදර එනකොට මගට ගිහිල්ල අප්පච්චිගේ ගමන් මල්ල කරතියන්න් එනකොට හිතුනේ අප්පච්චිගේ මහන්සිය ගැන නෙවෙයි. මල්ලේ මොනවහරි කන්න ඇති කියල හිතාගෙන. මගේ පුංචි හිත දන්නා අප්පච්චිත් කන්න මොනවා හරි අරන් එන්නේ මල්ල හිස් උනහම මහේ මුහුණේ හිනාව හිස් වෙනවා බලන්න අකමැති හින්ද වෙන්න ඇති කියල මට හිතෙනවා. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන්න පටන් ගත්තම යාලුවෝ එක්කල වීර කතා කියද්දී අපි හැමෝටම වීරයෝ උනේ අපේ අප්පච්චිලා. එත් නිවාඩු දවස් වල අප්පච්චි වැඩට යනකනුත් මම නිදියනවා. අප්පච්චි කළුවරේම ඇවිත් මම නිදිද කියල බලල ගෙදරින් පිට වෙලා යනවා. මම නිදි නැතත් බොරුවට නිදි වගේ ඉන්නවා.  

අපි හිමින් සැරේ ශිෂ්‍යත්වෙට ලැස්ති වෙනකොට හවස පන්ති ඉවර වෙන වෙලාවට අප්පච්චිගේ මුහුණ ටියුෂන් පන්තිය ඉස්සරහ හෙව්වේ රෑට තනියම ගෙදර යන්න බය හින්ද වෙන්න ඕනේ. අප්පච්චිගේ අත අල්ලන් ගෙදර ගියේ කකුල් පැටලිලා වැටෙයි කියල හිතල නෙවෙයි. ඒ ශක්තිමත් අත අත අරින්න හිතුනේ නැති  නිසා. කාලයක් යද්දී අප්පච්චිගේ ඒ අත අල්ලන් යන්න මටම ලජ්ජා හිතුන. ඒ අතේ තිබුණු ශක්තිය පිරිහිලා තිබුණු නිසා නෙවෙයි. මගේ අතත් ඒ වගේ ශක්තිමත් කියල මගේ ඔලුවට වැටහුණු නිසා. ඇත්තටම එහෙම වෙලා කියල මට දනුනටත් වඩා යාලුවෝ එහෙම වෙලා කියල නිතරම කිව්වා මට මතකයි. මම පන්තිය ලගට යනකොට අප්පච්චිගේ අත අත්හැරිය. අප්පච්චිට මේක නොතේරුන නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති කාලයක් යද්දී අප්පච්චිගේ රූපෙ පංති ඉවර වෙන වෙලාවට දකින්න නොලැබුණේ. 

අප්පච්චිගේ අතේ එල්ලිලා අහන හිටපු කථා වලට වඩා අපිට අපේ කථා අහන්න ඕන උනා. වැඩි කල් නොගිහින්ම අප්පච්චිගේ ගොරහැඩි අත වෙනුවට සුකොමල අතක් අල්ලගන්න අපි පුරුදු උනා. අප්පචිගේ රළු කටහඩින් අහපු කථා වලට වඩා මිහිරි හඩකට අපි ප්‍රිය කළා. මේ හැම මේ හැම දෙයක් ම අප්පච්චිට තේරෙන්න ඇති. අප්පච්චි කවදාවත් පුංචි පුංචි දේවල් ඉස්සරහ සැලුනේ නැහැ. හැම දේම හිතේ හංගගෙන හටිය කාටත් හෝරාවට. 

උසස් පෙළ කරලා ප්‍රතිපල ආපු දවසේ අම්මගේ මුහුණේ හිනාවත් ඇස වල කදුලුත් තිබ්බත් තාත්තගේ මුහුණේ ලොකු වෙනසක් නොපෙනුනත් හදවතේ පුදුම ආඩම්බරයක් හිරවෙලා තිබ්බ කියල නම් මට දැනුනා. මුල්ම වතාවට කැම්පස් එකට එනකොට මගේ ඇදුම් මල්ලකුත් අප්පච්චි කරතියන් අවේ ඒ ආඩම්බරේ නිසාම වෙන්න ඕනේ. බෝඩිමේ ඉන්න කාලේ හවසට කෝල් එකක් දීල කොහොමද පුතේ කියල අහද්දී මම වැඩක් පස්සේ කතා කරන්න කියල කිව්වම මුකුත්ම නොකිය ෆෝන් එක කට් කලා මට තවම මතකයි. මට මේ සතියේ මේ වැඩේට සල්ලි ටිකක් ඕනේ කිව්වාම අප්පච්චි කවදාවත් ඇහුවේ නැහැ මහපොළ ලැබුන නේද කියල.  ඕනෙම වෙලාවට මගේ බැංකු ගිණුමේ සල්ලි තිබුණ. හැබැයි මම ඇහුවෙත් නැහැ අප්පච්චිඅ කොහොමද සල්ලි හොයාගත්තේ කියල.

සති අන්තේ ගෙදර යනකොට අප්පච්චි බොහොම ආඩම්බරෙන් බලා හිටිය මම එනකන්. ගෙට ඇතුල් වෙනකොටම මගේ ඇදුම් මල්ල අප්පච්චි අතට ගත්ත. මමත් මල්ල අප්පච්චි අතට දීල කුස්සියට ගිහින් පුටු කබලෙ වාඩි වෙලා අම්ම එක්ක ආගිය කෙරුවාව කියද්දී, අප්පච්චි එතනට අවේ නැහැ. හැබැයි ඒ හැම වචනයක්ම අප්පච්චි ඈතට වෙලා අහගෙන හිටිය කියල මම දන්නවා. ගෙදර ආපු දවසක අම්ම මොකද්දෝ ප්‍රශ්නයක් ගැන අප්පච්චි ගෙන් ඇහුවොත් අප්පච්චි පුතාගෙනුත් අහල බලන්න ඕනේ කියල කියනවා මට ඕනේ තරම් ඇහිලා තියනවා. ඉස්සර හැමදේම දන්න අප්පච්චි දැන් මගෙන් උපදෙස් ගන්නත් බලා ඉන්නේ ඉස්සර මට  අප්පච්චි වීරයෙක් උනා වගේ දැන් අප්පච්චි ට මම වීරයෙක් වෙලා නේද කියල මටම හිතෙනවා.

අප්පච්චි පෙන්ෂන් යන්න ඔන්න මෙන්න තියෙද්දී මටත් මගේ සරසවි ජීවිතේ ඉවර කරලා ගෙදර යන්න ලැබුණා. ඔය අතර රස්සාවක් කාරිය ලැබිල උදේ හවස පිස්සුවෙන් වගේ ය එනකොට අප්පච්චි එයාගේ කාර්යාලයේ වෙච්චි සිදුවීම් මගෙත් එක්ක කිව්වේ මටත් යමක් අරගන්න කියල මට තේරුනත් මම ඒවා අහන හිටිය වගේ පෙන්නුවා. ඉස්සර අප්පච්චි ගෙදර එනකොට අප්පච්චිගේ ගමන් මල්ල ගන්න මම මගට යනවා වගේ දැන් අප්පච්චි මම එනකන් මග බලා ඉන්නවා. එත් මගේ මල්ලේ කන්න මොකුත් තියේවි කියල බලාපොරොත්තුවක් ඔහුට තිබුනේ නැහැ, මගේ මහන්සිය විතරක් ඔහුට දැනෙන්න ඇති. අප්පච්චි ආදරේ කලේ මගේ ගමන් මල්ලට නෙවි කියල මට දැනුනා. එත් මම එක ගණන් ගත්තේ නැහැ. 

හැමදාම වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට මගට එන අප්පච්චි අද මගට ඇවිත් හිටියේ නැහැ. ගේ ඇතුලට ගියහම දැක්කේ අප්පච්චි වැටිලා තුවාල වෙලා , ඇදට වෙලා ඉන්නවා. හේතුව අහන්න තරම් මට හයියක් තිබුනේ නැහැ. වහලේ කැඩිච්ච උළු කැට මරු කරන්න කියල අප්පච්චි සති දෙකකට කලින් කිව්වා මට මතක් උනා. වහලට නගින්න තිබ්බ ඉනිමග ලිස්සල වැටිලා, කොහෙද පුතා මේ මනුස්සය කියන එකක් අහන එකක් ය අම්ම කියනවා ඇහෙනවා. එත් අප්පච්චි මට වැඩ පස්සේ වහල හදාගමු කියල මම කිව්වා නේද කියල මගේ හිත මගෙන් අහනවා .

අපි හැම දාම දැක්කේ අප්පච්චිගේ මුනේ හිනාව විතරයි. ඒ ව්‍යාජ හිනාවට යටින් අප්පච්චිම හංගල තිබ්බ වේදනාව අපිට කලින් දැනුනා නම් කියල මට හිතෙනවා. එත් කවදාහරි අප්පච්චි හිටියනම් කියල දැනෙන්න කලින් ඒ හිනාවේ අර්ථය තේරුණු එක ගැන මම සතුටු වෙනවා . නැහැ නැහැ තවත් පරක්කු නැහැ මම කෝල් එකක් ගන්නවා . 

සර් ,මට හෙට වැඩට එන්න වෙන්නේ නැහැ තාත්තට ටිකක් සනීප මදි කියල හෙටට නිවාඩුවක් ඉල්ලනවා.    


--------
අපි හැමෝගෙම අත්දැකීම් වල එකතුවකි. 

සුභාෂ් ~ 08 ඔටුවා 


2/03/2014

අම්මයි මමයි නුඹයි

අහස් කුස දරුණු වී
මහා වරුසා වැටුණු
අතීතයේ එක් දිනෙක
තනිව වුන් ඔබ තුරළු කරන්
මතකයි මා පැමිණි අයුරු
මගේ සෙනෙහස් නවාතැනට
අම්මාගෙන් එල්ල කෙරුණු
දහසක් බැණුමන් අතරින්

එදා පටන් ආදරයෙන්
රැක බලා ගත්තෙ නුඹ
මගේ සෙනෙහස් නවාතැනේ
රැකවරනය ලබා දෙමින්

නුඹ කරනා පුංචි වරදෙ
චෝදනාව හැමදාමත්
අම්මා මට ලබා දුන්නෙ
පිටු ගණනින් ලියා නමුත්
කවදාවත් මා දුන්නෑ
කිසි වරදක් නුඹේ කරට
මා නුඹ හට දුන් ආදරෙ
වෙනසක් නෑ කිසි දවසක

අම්මාගේ කෙනෙහිලිකම්
දරාගන්න බැරි වුණාම
නුඹ ආවේ මගේ ළගට
වේදනාව පිරුණු නෙතින්

දින සති ගෙවිල ගිහිල්ලා
අම්මාත් හැර සරසවියට
ගතින් නමුදු සිතින් නොවේ
මා පැමිණියෙ නුඹ තනිකර

සරසවියේ නිවාඩු දින
මා පැමිණිය නුඹ බලන්න
ආදරයෙන් හිස පිරිමැද
නුඹෙ දුක් ගිනි නිවාලන්න

කාලය නම් අරුමයක්ය
වෙනස් කරයි හැම සිතුවිලි
පුදුමයි මට අදහනු බෑ
නුඹ සිටියලු අම්ම ලගින්
කිව්වෙත් මට අම්මා මයි
මා නැති තනි මකාලන්න...

෴ සුදු කපුටි -11෴...

1/30/2014

ගීතය

පද වැලුත්
මගේ නෙවෙයි
සංගීතෙත්
මගෙ නෙවෙයි
ඒ තනුවත්
ඒකත් මගේ නෙවෙයි
ඒත්
මම අහනවා
මට දැනෙනවා
ඔහුගේ කරච්චල්
සංගීතයෙන්
ඇගේ මියුරැ කට හඩින්
ගැයෙනා ඒ
ගීතය

1/29/2014

Difference

My heart wanders slowly
Through sweet memories
To see smile
Your face
The way you tried to walk
How your little hand cliched mine
I hear your laugher
You ran here and there
In our garden
Dancing with flowers

Still flowers bloom
Sunrays peep through windows
But to me
World seems empty
All have changed
Our house
Will never be a home again
Since god look you
From me... My son..


පෙරවදනකට පෙර පසුවදනක්..

කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..

දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..

නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..

අවසරයි සමුගන්න

යලිත් නොදකින  ලෙසින්..

෴ සොමියා -11෴

1/21/2014

ඔබ..........

වසන්තය කැටුව එන සිහිනයේ කුමරු ඔබ

මා දෑස නිති පතන ඒ සොඳුරු දසුන ඔබ

මසිත විකසිත කරන උදා හිරු කුමරු ඔබ

සිත හඬයි කිම පමා පායන්න ගුවන් ගැබ



හන්තාන කඳු පියස බලන්නට ලස්සනයි

මහවැලිය පිස හමන සුළඟ සිසිලස ගෙනෙයි

මාවතේ අද්දරින් ඔබේ රුව නෙත ගැටෙයි

ජීවිතය සැබැවින්ම සුන්දරයි මට සිතෙයි



ඔබේ නෙතේ බැල්මකින් මගේ හද සැලෙනවා

දෙනෙත් පවසන රහස මා සිතත් දන්නවා

එහෙත් සැම දිනම ඔබ ගොළුවතම රකිනවා

ඔබේ සිත පමණක්දරෑමා සිතත් හඬනවා



අන්තිමේ සිවුවසර ගත්වේද නොදැනීම

දිනක අප වෙන්වෙලා යාද මිතුරන් ලෙසම

අද වගේ හෙටත් ඔබ රකීවිද ගොලුවතම

ප්‍රථම ප්‍රේමය අපේ මියැදේද සිත් තුළම



ඔබේ මුවඟින් නැගෙන හසරැල්ල කියන්නේ

මිතුරු දම් පමණක්ද මගේ සිත තැවෙන්නේ

ඔබෙ සිතුම් වදන් වැල් බවට පෙරළෙන දිනේ

අද හෙටම වන්නටයි මගේ සිත පතන්නේ

Where are you

Although regrets and sorrows
Won't turn back the clock
I want you to know, I was wrong
I'm sorry that I hurt you!
Since you have been gone
There so much I miss...
The warmth of your smile
 Fun, love and laughter we shaired
 And everything I had in my life
There's a longing within me
To have you back again!
Nothing can take the place of
You being with me...

නමකුත් නෑ, ලියපු කෙනෙකුත් නෑ...

හැමදාම හිනහෙමින්
කිරිපාට පෙන නැගුන
මහවැලිය මොකද මේ
මලානික ගුරු පැහැය...

වෙනදා මල් බරව
අතු බිමට නමාගත්
නුඹ මොකද මල් නැතත්
බිම දිහා බලාගෙන...

පාළුව මකත්ටද
කෝච්චිය “හූ“ කිව්වෙ
නුඹට බෑ කිසිදාක
කුරුළු ගී ගයන්නට...

මීදුමෙන් වසාගත්
හන්තානෙ සැගවුනත්
නුඹෙ මුවේ සිනා රැළි
නොමැකේවි කිසිදාක...

E/94/***

වළාකුල...

නුඹ ඇගේ සිත වගෙයි
නිමේෂයෙන් නිමේෂය
දැනෙන දුක එකතු කොට
විඳ දරා වේදනාවන්
තවත් ඉවසනු බැරිව
එක් වරම
වසී මහ කඳුලු වැසි
ඒ අනන්ත වූ වේදනාවන්
දිය කර කඳුලු බිඳු වල

෴ සොමියා -11෴

1/18/2014

නුඹලා යළිත් ළඟදිම එන බව ඇසුණා.......








නෙක නෙක පාට සමනල් මල් වල ..........ඇතිරූ 
හරිත වර්ණ තුරු පතරින් වැසි ................ඉවුරූ
හන්තාන වසා මිහිදුම් පටලය ..................ලහිරූ 
කිරණය කන්ඩිත කරා ගඟ දිය මත .........නැඹුරූ

මසක් ගොසින් මා එහි යන පුරුදු ...........ලෙසින් 
දුටුවේ නැතිය මා පෙර කිව් වදන් ...........ලෙසින් 
ගස් වල කොළ හැලි තිබුනා මැරුණ ......ලෙසින්
හරියට අඩනවා වාගේ කඳුළු ..................ඇසින්

ගං ඉවුරේ දෙපසම හරියට ....................පාලුයි
කොළ නැති රුක්ෂ ඒ පාළුව හා ...............යාලුයි 
ගසකින් ඇසුවා ඇයි මේ හැටි නුඹ ............පාළුයි 
ගස කිව්වා මෙලෙසින් මට වී ..................යාළුයි

දෙමසක් පමණ නුඹලා නැති සොවින් ...........අපි
සිටියා කඳුල තනිකම හා සොවින් .................හැපී 
ගස් මල් වල කොළ හැලුනා සුළඟ ................කිපී 
සියොතුන් හැර ගියා අත හැර දමා .................අපි

නුඹලා යලිත් ළඟදීම එන බව ..................ඇසුනා
අපි දළු දමා ඉවුරේ පාළුව ......................වැසෙනා 
යලිත් පෙරදී වගෙ නුඹල ව පිලි .............ගැනෙනා 
ලෙසින් සැවොම කඩි මුඩියේ හැඩ ........කෙරෙනා


 ෴ කොවුලී -11෴

12/05/2013

මේ මගේ ජිවිතය ද කියන්න මට.........

බලාපොරොත්තුකිසිදා ඉටු නොවනසැමදා මග බලනකදුලු බිදුනෙතින් එලි නොබහිනහැමදා හිතට වද දෙනසිනහ වැල්ලොවට දිස් වෙනහිතින් රිදුම් දෙනජිවිතයහීන මත සුන්දර වනසැබැවට කටුක වනඔබහෙට වෙනුවෙන් වෙහෙසෙනඅදක් ගැන නොසිතනමමහීන මත වැජඹෙනපැතුම් පොදි ගොඩ ගහනඅපිඅලුත් වූ හෙට දවස්අදුරෙම අත ගානලෝකයසැමදා එක සිතින්මැදහත් ව දිවි ගෙවනඇත්තට මමේ මගේ ජිවිතය දකියන්න මට
බලාපොරොත්තු
කිසිදා ඉටු නොවන
සැමදා මග බලන
කදුලු බිදු
නෙතින් එලි නොබහින
හැමදා හිතට වද දෙන
සිනහ වැල්
ලොවට දිස් වෙන
හිතින් රිදුම් දෙන
ජිවිතය
හීන මත සුන්දර වන
සැබැවට කටුක වන
ඔබ
හෙට වෙනුවෙන් වෙහෙසෙන
අදක් ගැන නොසිතන
මම
හීන මත වැජඹෙන
පැතුම් පොදි ගොඩ ගහන
අපි
අලුත් වූ හෙට දවස්
අදුරෙම අත ගාන
ලෝකය
සැමදා එක සිතින්
මැදහත් ව දිවි ගෙවන
ඇත්තට ම
මේ මගේ ජිවිතය ද
කියන්න මට


~08 කැකිරි~ 

10/26/2013

කවිකාරයාට කවිකාරිගෙන්………


විසේකාර කෙස් රොද,
මා මුව පුරා දඟ කරන තරම්.....
උරහිසේ සුව විඳින නුඹ දන්නවනම්......

                                කවිකාරයා

නුඹ මුව පුරා දඟ කරන මා කෙස් රොද,
මවන කවිකම්.....
නොදැන මා නුඹ උර මත සුව වින්ද තරම්....


                       උපුටා ගන්නා ලදී (කවිකාරිගෙන්)
                       එව්වේ: බට්ටා 06


10/09/2013

ළඟ සහ දුර ෴




එදා ඔබ
මිතුරියෙකි
ඇස නුදුටු
ළඟ නොසිටි
එහෙත්,
"කතා කළ..."

මෙදා ඔබ
"නැගණියකි"
නෙත ගැටුණු
නෙත ගැටෙන
එහෙත්,
කතා නොකරන...




9/15/2013

තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව


එකිනෙක බැදුණු කථා තුනක දෙවැන්න පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව 

"තුන්වන වේදිකාවේ නවතා ඇති යාල්දේවි සීග්‍රඝාමී දුම්රිය යාපනය හා කන්කසන්තුරය බලා පිටත් වේ ......"
දුම්රිය කෙමෙන් ඉදිරියට ඇදෙත්ම ඒකනායක මාමා දුම්රිය කවුළුවෙන් එලියට අතදමා තමුන්ගේ අත තදින් වැලද සිටි රාමා ගේ පුංචි පුතුගේ අත කෙමෙන් මුදා හැරියේය. පාර්වතීද කදුළු පිරුණු දෑසින් මාමා දෙස බලා සිටියේය. "අපි යන්නම්" ඒ ඇස් වල ලියවී තිබුණි. මෙතෙක් වෙලා නොහඩා සිටී මාමගේ ඇස් ද හඩන්නට විය. ඒ රාමා මියගියද රාමාගේ මතකය මාමා තුල ජීවමාන වූ නිසාය. 


දුම්රිය කෙමෙන් කෙමෙන් ඈත්ව ගියේය . මාමා ද තුන්වන වේදිකාවේ සිට දෙවන වේදිකාවට මාරු වුයේ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියට ගොඩවීම සදහාය. ලී දාර ගැසූ දිගු බංකු මත හිදගත් මාමාට රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රිය එනතුරු රාමා සමග ලී බංකු මතට වී බලා සිටි අයුරු මතක් වන්නට විය.
"ඒකනායක අයියා අදත් කෝච්චිය පරක්කුයි නේද?" සුපුරුදු සිනහව සමග ඔහු හා කතාවට එක්වුයේ රාමා ය. රාමාගේ මුහුණේ සැමවිටම සිනහවක් ඇදී තිබුනේය. රත්මලාන දුම්රිය වැඩපලට සේවයට පැමිණි රාමා මාමාගේ කුළුපග සගයෙකු වුයේ ඔහුගේ වූ මේ ප්‍රියමනාප බව නිසා බව මාමාට මතකය. 

රාමාගේ ගම යාපනයේය. එහෙත් ඔහු තම බිරිද පාර්වතී හා දරු දෙදෙනා සමග පදිංචිව සිටියේ වැල්ලවත්තේය. යාපනයෙන් කොළඹ පැමිණි රාමා යලි යාපනයට ගියේ අවුරුද්දට දෙවතාවකි. ඒ තයිපොන්ගල් උළෙලට හා සිංහල හින්දු අලුත් අවුරුද්දටය. "රාමා ඇයි වැඩියේ ගම පළාත් පැත්තේ යන්නේ නැත්තේ?" දිනක් ඒකනායක මාමා රාමාගෙන් විමසුවේය. "අපි කුලයෙන් පහලයිනේ අයියා එහෙ අපිට හරි කරදර ඉතින් අපි වැඩියේ මෙහෙ තාමා ඉන්න කැමති" ඒ රාමගේ වචනය. කුළ බේද ජාතිබේද ඒකනායක මාමාට පිලිකුල්ය. ඔහු අදහන බුදු දහමේත් , ඔහුගේ වමේ දේශපාලනයේත් කුළ වර්ගවාදය පිළිගන්නේ නැත. 
"එකනායක අයිය වමේ මිනිහ නේ මම ඔන්න අයියා නිසාම රතුපාට මහත්තයට ජන්දේ දුන්නා", ඒ 77 ජන්දයට පසුව වැඩට පැමිණි රාමාගේ වචනය. මාමගේ පක්ෂය ඇපත් නැතිව පරාජය වී සිටියත් රාමගේ වචන මාමාගේ සිතට සතුටක් විය.

"ඒකනායක අයියා දෙමල ඉගෙනගන්නකෝ" දිනක් රාමා මාමාට කිවේය. "උබ මගේ භාෂාව කතා කරනවා මං උබේ භාෂාව දන්නේ නැහැනේ", මාමාට ලජ්ජා හිතුණු හැටි මාමාටම මැවී පෙනුනි .රාමගෙන් ඉදහිට දෙමල වචන එකනයක මාමා උගත්තේය. ඒකනායක මාමගේ ගෙදරට නෑගම් පැමිණි විට රාමගේ පුතුන් කැඩිච්ච සිංහලෙන් ඒකනායක මාමගේ පුතුන් හා කතා කරනු අසා මාමා මෙන්ම මාමගේ බිරිය සොමාද රාමා හා පාර්වතී සමග සතුටු වුයේ රටේම අනාගතය මෙසේ වේනම් කියා සිතමිනි.
අසුවේ ජුලි වැඩවර්ජනය සැමගේ ජීවිත වෙනස් කරන්නට විය. ඒකනායක මාමාට, රාමාට මෙන්ම තවත් බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඒකනායක මාමා කරවල පෙට්ටියක් කර තියන් පවුලේ බර අදිද්දී රාම පිටකොටුවේ පොල්තෙල් කඩයක් රැකියාවට ගියේය. එතෙක් සිංහල අවුරුද්දට යාපනයේ ගිය රාමා අවුරුද්දට ඒකනායක මාමාගේ ගෙදර නෑගම් ආවේය. කැවිලි අතුරුදහන් වී තිබු ඒකනායක මාමාගේ අවුරුදු මේසයේ හිදගත් සියල්ලෝ, සෝමා පිළියෙළ කල කිරිබතක් නැකතට රසවිදි අයුරු මාමාට මතකය. "කැවිලි මොකටද අයියේ අපි ජීවත් වෙනවනේ ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවක් ඇවිත් අපිට අයේ රස්සාව ලැබුනට පස්සේ අපි කැවිලි කමු" රාමා මාමා ගේ සිත සැනසු අයුරු මාමාට මතකය.

යාපනයේ මුර සංචාරයේ යෙදී සිටි හමුදා සෙබළු 13 ක් මරා දමා ඇති බවත් එයින් පසුව රට පුරා කලබල ඇති වී ඇති බවත් මාමා ගුවන් විදුලියෙන් දැනගත්තේය. පස්දිනම මාමා කොළඹ ගියේය. රාමාවැඩ කල කඩය ගිනි තබා තිබුණි. කඩය තුල ගිනිගෙන දැවෙන මළ සිරුරු ය මාමාගේ හිස ගිනිගත්තේය මාමා රාමගේ නිවසට ගියේය. කොළඹ නගරයම අමු සොහොනක් වූ විට රාමාගේ නිවසද ඒ ගින්නෙන් දැවී අළුවී තිබුණි. මාමාට පාර්වතී හමු වුයේ  දින කිහිපයක් වැල්ලවත්තේ රස්තියාදු වූ පසුවය ඔවුන්ද රැගෙන මාමා ගනේමුල්ලේ මාමාගේ නිවසට් ගියේය, යලිත් යාපනයට යාම පර්වතීගේ අපෙක්ශාව  විය. සිය සැමියාගේ ඉරණම මේ වනවිට ඇය දැනුවත්ව සිටියේය. වෙනිදාට අගේ නළලේ තිබුණු තිලකය ඇය මකා දමා  තිබුණි. දරුවන්ද සුපුරුදු ඒකනායක මාටාට වුවද බිය විය . අද දහවල් නිවසින් පිටත් වනවිට රාමාගේ පුතාගේ වචන වලින් මාමාගේ හිස තවමත් ඇදුම් කයි. "මම ලොකු වෙලා අපේ ගේ ගිනිතියපු සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියනවා එත් අංකල්ගේ ගේ ගිනිතියන්නේ නැහැ අංකල් හොදයි. උබලගේ ගෙවල් ගිනිතිබ්බේ ජාතිවාදී සුළු පිරිසක් ගොඩක් මිනිස්සු උබලට ආදරෙයි කියල පුංචි පුතුට කියාදෙන්න තරම් පුතාට වයසක් නොවේ යයි මාමාට සිතුනි. එසේ කල නොහැකි වටපිටාවක් සමාජය විසින් ගොඩ නගා තිබුණි. 
කුළ බේදයෙන් බැට කා කොළඹ පැමිණි රාමාට කාලකන්නින් විසින් ගිණි තබා, පුංචි පුතුගේ හිසට වයිරය පොවා නැවත යාපනය තල්ලු කරරට ජාතිය රැක ගෙන තිබුණි. මාමගේ ඇස්වල හිර වී තිබුණු කදුළු බින්දු වලින් දෙකොපුල් තෙමි තිබුණි. 

"කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනු ඇත දුම්රිය නවත්වන්නේ ගණේමුල්ල රගම ...." ඒ ගම්පහ දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයයි.    
                   
සුභාෂ්  (ඔටුවා _ 08)
ප. ලි .
(පළමු කොටසින් පසුව දෙවන කොටස පල කිරීමට බොහෝ කල් ගතවීම පිළිබද කණගාටුව පල කරමි. හැකි ඉක්මනින් තුන්වන කොටස නැතිනම් බණ්ඩාරගේ කතාව ලියා පල කරමු )

9/08/2013

රැවටීම (අපි අපිවම )


උදේටත් චිකන් 
දවල්ටත් චිකන්
රැටත් චිකන්

කෙතරම් සංවර්ධිතද 
අප 
පිම්බී අභිමාණයෙන් 
පුප්පා ගිරිය
දෙසමින්  ලොවට 

උදේ දිවා රෑ 
වළදමු  
චිකන් නොව
පරිප්පු
චිකන් 
සුප්කැට යෙදු   

                                                                                                             
                                                                                                                අදහස 08 ටෝගා
                                                                                                               ලිව්වේ 08 ඔටුවා

9/03/2013

සොරා ගත් මගේ කවිය වෙත..


"ආදරයෙන්" 
වචන ගෙන
"සෙනෙහසින්"
පද වැල් කර
"සතුටින්" එපද
පෙලට ගොනු කර
ලියූ මාගේ
එකම කවි පෙල.....
සොරා ගෙන ! 
මගෙන් එය...
පද දෙක තුනක් වෙනස් කර
ලොවටම පෙනෙන්නට
ගායනා කරතී
මට ඇසෙන්නට...

දළබුවා ‘නමය