උබලා උෟට ලස්සන රූපයක් නැති නිසා
ඊයා, කැතයි, හිරිකිතයි කියලා කොන් කලා
උබලා ඌගේ ආරස්සාවට තියෙන කටු වලට බයේ
ඒ අහිංසකයව පාගල පොඩිකරන්න හැදුවා
ඌ බඩගින්න නිවා ගන්න හදද්දි
උබලට මල් ගහ ලොකුවෙලා ඌව ඈතට විසි කලා
ඌ අමාරුවෙන් උගේ ජීවිතේ බේරන් සමණළයෙක් වුනාම,
උබලා කියනවා උට අතීතෙ මතක නෑ කියලා..
ඒත් තේරැම් ගන්න සමනළයා උබලව මග ඇරලා පියාබන්නේ
ඌ දළබුවෙක් කාලේ උබලා ඌව වට්ටන්න හදපු හැටි
තාමත් හොදට මතක නිසයි.
10/22/2015
10/19/2015
හන්තාන අඩවියේ සිව් වසර නිම කරන්.. අවසරයි සමුගන්න මිහිරි මතකය අරන්.....෴
රෝස පාටින් පිපුණ රොබරෝසියා ගහක්..
සුදු පාට මල් හැලුවේ හිතිලාද දුක හුඟක්..
පුරවගෙන ආකාසේ කළු වලා මහ ගොඩක්..
හෙලන වැහි ඉකි බිඳුම් කියනවද දුක් කවක්..
අප දෙපා පහස නැත කියා මැසිවිලි නඟන්..
අක්බාර් පාලමත් හඬයි දෝ මට කියන්..
ආයෙමත් අප එතැයි දුක් කඳුලු තද කරන්..
ගලහ හන්දිය යළිත් ඉන්නෙපා මඟ බලන්..
මල් පාරේ කොඳුරන්න අපි මෙහේ නැති වේවි..
ගලින් නිම කළත් ඒ කුලුණු නම් දුක් වේවි..
වල සතියේ මතකයන් හිතට සතුටක් දේවි..
වසන්තයේ අගදි තව තවත් අය එක්වේවි..
සොයුර සොයුරිය නුඹව අපේ මතකෙට ඒවි..
එක්ව පියනැඟි මඟේ අප නැතුව නුඹ යාවි..
සිනහ සරදම් පිරුණු සැඳෑ සිහියට ඒවි..
යළිත් හමුවූ දිනෙක සෙනෙහසින් හිනැහේවි..
හිතේ නැඟි කඳුලු වැල් හිත තුළම සිර කරන්..
දිවි මඟේ මහ බරක් උරමතට තද කරන්..
හන්තාන අඩවියේ සිව් වසර නිම කරන්..
අවසරයි සමුගන්න මිහිරි මතකය අරන්..
.
.
.
.
රන්දු
10/14/2015
මාවතේ ජීවිත ~9~ මචන් කණපිට .........
සදුදා උදේට වැඩට යන එක සතියේ අනිත් දවස් වල වැඩට යනවට වඩා වෙනස් කියල දැනෙන්නේ මට විතරද කියල වෙලාවකට මට හිතෙනවා. ඉරිදා රෑ වෙනකන් ෆිල්ම් බලන එකේ රඟ දැනෙන්නේ සදුදා උදේ ඇදෙන් නැගිටිනකොට කියළ පහුගිය දවසක අපේම එකෙක් කිව්වා නේද කියල මට මතක් වෙනවා . එහෙනම් සදුදා උදේ අපි හැමෝටම පොදු ගැටළුවක් කියල මම හිතනවා .... කොහොම හරි කඩිමුඩියේ ඇදගෙන මමත් පාරට බහිනවා.
වෙනිදට ගුඩ් මෝනිග් කියන සමරේ අන්කල් අද හිනාවක් විතරක් දාගෙන යනවා ... ඒ හිනාවත් වෙනිදට වඩා වෙනස් කියලා තේරුම් ගන්න බැරිවම මමත් ගුඩ් මෝනිග් අන්කල් කියාගෙනම යනවා ... නැවතිලා කතාකරන්න වෙලාවක් නැහැ කියල අන්කල් දන්නවා... ඉස්කොලේ යන පොඩි උන් ටිකත් ඉස්සර කරගෙන මමත් එක පිම්මේ බස් එක අල්ලගන්න දුවනවා.... දුවනවා කිව්වට එක දිවීමත් අවිදිමත් අතර ගමනක් .... පොඩි උන් අතර හිටිය මොකෙක් හෝ කටකාර එකෙක් මොනවදෝ කියනවා මට ඇහෙනවා ... එත් ඒ මටද නැතිනම් උන්ගේ කතාවක් ද කියල හිතන්න උවමනාවක් නැති මමත් එක පිම්මේ ඉදිරියට යනවා ....
පොලිසියේ රාලහාමිත් උදේ පාන්දරම වැඩ. පාර මැද්දේ ඉදන් යන එන වාහන එක්ක ඔට්ටු වෙනවා... බස් එකට ටිකට් ගන්න මාරු සල්ලි කලිසමේ දකුණු සාක්කුවට දාගන්න පොඩි කාලේ ඉදන්ම තිබුනු පුරුද්ද නිසාම මමත් පර්ස් එකෙන් සල්ලි අරන් දකුණු සාකුවට දාගන්නවා... ඇත්තටම වමත් කාරයෙක් වෙච්චි මගේ පොඩි කාලේ පුරුද්ද සල්ලි වම් සාක්කුවට දාගන්න එක . පස්සේ වම් සාක්කුවට ෆෝන් එක එකතු වෙනකොට ඉබේම සල්ලි වම් සාක්කුවෙන් දකුණු සාක්කුවට මාරු වූනා.. ජීවිතේ එක එක කාලෙට එකතු වෙන දේවල් නිසා තිබෙන දේවල් වල ස්ථාන වෙනස් වෙන හැටි කියල මට හිතෙනවා .....
මතකයේ ගිලිලා හිටපු මට, මගේ ටි ෂර්ටය දැක්කම ඉහ මොළ රත් වෙන්න ගන්නවා ... "හත් ඉලව්වයි ටි ෂර්ට් එක කණපිට ............" මට ඉබේම වට පිට බැලෙනවා ..... කාට හරි වැඩේ මාට්ටු වෙලා වත්ද කියල හිතන මම වටපිට බලනවා ...... වැඩි දෙනෙකුට මම එතැන ඉන්නවද කියලවත් අවදානයක් නැතත් උන්ට වැඩේ තේරිලා කියල මගේ හිත කියනවා .... ඔය අතර එක අයෙක් මන් දිහා බලා ඉදල මන් ඔහුව දැකපු නිසා අහක බලාගන්නවා .... අහක බලන් තනියම හිනාවෙනවා .... මිනිහට නම් වැඩේ තේරුනා කියල මට හිතෙනවා .... "මිනිහ දැක්ක නම් මන් කණපිට ඇදන් ඉන්නේ කියල තනියම හිනා වෙන්න ඕනිය මට හෙමින් සැරේ කිව්වා නම් ඉවර නේ t ෂර්ටඑක මාරු කරගන්න තිබූන නේ......" මම මගේ වරදට, වරද දැකපු කෙනාට හිතින් බනිනවා .... ඇත්තටම මිනිහ මොකටද මට කියන්නේ මමත් දන්නවා කණපිට කියල. ඒ මනුස්සය කිව්වා නම් මාරු කරගන්නවා කියල හිතන් ඉන්නේ මොකටද ම්ට ඕනි නම් දැන් උනත් t ෂර්ටය මාරු කරගන්න පුළුවන් නේ කියල මටම හිතෙනවා. "වරදක් වහගන්න මිනිස්සු කොච්චර අවස්ථාවාදී වෙනවද? මුලික හේතුව පැත්තකින් තියල මුල් හේතුවෙන් ජනිත වෙන අතුරු පලයන් පස්සේ වැඩි අවධානයක් දෙනවද?" කියල මටම හිතෙනවා. "අන්න උබම හොද උදාහරනේ" කියල මගේ හිත මටම කියනවා ..
ඕන කෙනෙක් ඕන එකක් හිතපුවාවේ මන් මගේ පාඩුවේ ඉන්නවා මම මටම කියගන්නවා. t ෂර්ටයේ කණපිට වර්ණය , හොදපිට වර්ණය තරම් තීව්‍ර නොවුනත් , මැහුම් පාරවල් පිටට පෙනුනත් අලුත් මෝස්තරයේ මෙවැනි t ෂර්ට් ඇතිබව මට මතක් වෙනවා . එමනිසාම බොහෝදෙනෙකුට මෙහි අරුමයක් නැති ව ඇතැයි මගේ හිත නිදහසට කරුණු කියනවා . වරදක් කලත් සමාජය හා සසදලා එක වරදක් නොවේය කියල අපිවම රවටන්නේ පිට කවුරුවත් නොවේය අපේම හිත කියල මට හිතෙනවා. xl ලේබලය කොලරයේ පිටිපස්සේ එල්ලෙමින් අලුත් මෝස්තරයේ ව්‍යජත්වයට ඔච්චම් කරනවා කියල මගේ හිත අමතක කරලා.
කොහොමින් කොහොම හරි මම බස් එකටත් නැග ගන්නවා. සීට් එකක් නොලැබුන නිසාම හිටගෙන ඉන්න සිද්ද වෙනවා. බස් එකේ මිනිස්සුන්ට මං ගැන අවධානයක් නැතත්, හැමෝම මන් දිහා බල ඉන්නව කියල මට හිතෙනවා. ඔය මහා ලොකු හොර කම් මැර කම් කරන දේශපාලකයන් කොහොම චන්ද දායකයන් ඉස්සරහට එනවද කියල මට හිතෙනවා....... හැබැයි ඉතින් ඒ එන්නෙත් රෙද්ද කණපිට අදාල නෙවි නේ කියල මතක් වෙද්දී මම මගේ කණපිට ඇදපු t ෂර්ට් එක දිහා හොරෙන් බලනවා.
අම්මත් එක්ක මොන්ටි සොරි යන පුංචි දුවෙක් අම්මගේ කණට කරලා මොකක්දෝ රහසක් කියනවා. අම්මත් එක පාරම ඔලුව උස්සල මන් දිහා බලනවා. අම්මගේ යි දුවගෙයි දෙන්නගෙම ඇස් හතරම මන් දිහාට එල්ල වෙලා .... දුව අතින් කට වහගෙන හිනාවෙනවා. අම්මත් ජනේලෙන් ඉවත බලාගත්තත් හිනාව තද කරගෙන ඉන්නේ කියල මට පෙන්වා ..... ඇත්තටම දැන්නම් ගම කැවී ඇත. පුංචි දුවට වැඩේ මාට්ටු වී ඇත .... ලොකු මිනිසුන් අලුත් ෆැෂන් එකක් කියා වැඩේ සංකීර්ණ කරගත්තට පොඩි එකාට එහි වගේ වගක් නැත. උන් සැබවින්ම සම්මතයයි අසමම්තයයි අතර වෙනස ලොකු මිනිසුන්ට වඩා හොදින් දන්නවා යයි මට හිතේ.... උන්ගේ ලෝකය ලොකු මිනිසුන්ගේ ලෝකයට වඩා සරල නිසාම පෙනෙන දේ දකින්නට උන්ට පුළුවන් ඇති කියල මට හිතෙනවා . එතකොට ලොකු මිනිස්සු පෙනෙන දේ දකින්නේ නැතිද උඩු හිත මනසින් ප්‍රශ්නයක් අහනවා .. ලොකු මිනිසුන් පෙනෙන දේ දකින්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි . එහෙම නැතිනම් දකින දේ තේරුම් ගන්නේ තමුන්ගේ සිතුවිලි වල දිග පළලට .. ටිකකට කලින් කණපිට ඇදපු t ෂර්ට්ය අලුත් ෆැෂන් එකක් කියල මගේම හිත මාව රවටපු හැටි මතක් උනාම මමත් ලොකු මිනිහෙක් කියල මටම වැටහෙනවා .
සිතුවිලි සමුදාය මාව ප්‍රශ්නයෙන් ඈතට අරන් ගිහින් කියල හිතනකොටම බය අයෙමත් මාව යථාර්තයට එක්කන් එනවා . ඇත්තටම මේ වෙලාවේ භය වෙන්න ඕනේ මොකටද කියල මම හිතනවා . ඇත්තටම භය "ලජ්ජාවට" ය , අන් අය ඉදිරියේ මට වැරදීමක් සිදුවී ඇති බව පෙනීමේ ලජ්ජාවටය .. අර පොඩි එකී නිකමට හරි කිව්වොත් අංකල් ගේ t ෂර්ට් එක කණපිට කියල , මෙතෙක් නොදැක්කා සේ සිටී බොහෝ දෙනා හැරී බලනු ඇත. උන්ගේ අලුත් ෆැෂන් ආතල් එක , ක්ෂණයකින් සුන් වනු ඇත. එයින් පසු උන් නොදනුවත්වම උන්ගේ සිතුවිලි පොඩි එකී ගේ කතාව ඔස්සේ ම දිගහැරෙනු ඇත.. එය අපේ මිනිසුන්ගේ හැටිය. කවුරුන් හෝ කාට හරි ලේබලයක් ඇලවූ පසු වටේ සිටින අනිත් අයත් බලන්නේ එලෙසමය. උන්ට තවදුරත් සිතනු උගහටය... ලේබලය මොලය ඔෆ් කර ඇත. මගේ සිතුවිලි වලට බාධා කරමින් අම්මයි දුවයි බස් එකෙන් බහින්න දොර ගාවට යනවා . දුව තවමත් මන් දිහා බල හිනාවෙනවා .. "අංකල් ගේ t ෂර්ට් එක කණපිට" ඒ හිනාවේ ලියවිලා තියනව කියල මට හිතෙනවා . මමත් "ඔව් t ෂර්ට් එක කණපිට" කියල ලියපු හිනාවකින් ඇයට සංග්‍රහ කරනවා ... පුංචි උන් කෙතරම් අව්‍යජද ? ... උන් හැගීම් හංගන්නේ නැහැ නේ කියල මට හිතෙනවා . අයෙමත් සිතුවිලි මාව කොතරම් ඈතට අරන් ගිහින් ද කියල මට දැනෙනකොට මම බහින තැනට ලංවෙලා ... බස් එකෙන් බැහැගෙන මම ඔෆිස් එකට යනවා ....
සමරේ අන්කල්ගේ හිනවයි පොඩි දුවගේ හිනාවයි දෙකක් කියල මට හිතෙනවා ..... පිම්මේ දුවන්නේ නැතිව ඉස්කෝලේ යන පොඩි උන් ටික කිව්වා දේ ට යන්තම් හරි කන් දුන්න නම් ගෙදර ගිහින් t ෂර්ට් එක මාරුකරගන්න තිබුන කියල මට හිතෙනවා. අපි හැල්මේ දුවල ජීවිතේ කොච්චර නම් දේවල් නැති කරගන්නවද කියල මට හිතෙනවා ... "ඔයින් ගියා මදැයි නිකමට හරි අද බස් එකේ එකෙක්ට පොකට් ගැහුවා නම් උබට අම්බානක කන්න වෙනවා උබව තමා අහුවෙන්නේ. " මගේ යාළුවා කියනවා. කතාව ඇත්තය සාමන්‍යට වඩා යන්තම් හෝ වෙනස් වීම, නිකරුනේ වැරදි කරු වීමට හේතුවකි .....
පොකට් කාරයන් ටයි කෝට් හෝ සුදු ජාතික අඩුම ඇද පොකට් ගසන්නේ නැතිවා සේම ...... රටේ ධනය මංකොල්ල කන මහා පරිමාණ හොරුන් බොහෝ විට කළු කෝට් හෝ සුදු සරම් නැතිව සමාජ ගත වන්නේද නැත.... ඩෙනිම ඇදි පොකට් කාරයෙක් අසුවූ විට කන පලන මිනිසුන් ජාතික මංකොල්ල කරුවන් ගෞරව බුහුමන් දක්වයි. වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවයි..... ඇදුමින් බලයෙන් තත්වය මනින මිනිසුන් අතර ටිෂර්ට්ය කණපිට ඇදි මම, මගේ පුංචි බැල්මක වෙනසකින් ගුටි කෑමට නියමිතව සිටි බව මට හිතෙනවා ......
~08 ඔටුවා (සුභාෂ්)~
පෙර සබැදි ~
ප. ලි.
මාවතේ ජීවිත කතා කතා මාලාව 2012 ඉදල වරින් වල සමාජයේ හමුවුන විවිද චරිත පසුබිම් වුනි. මේ මාවතේ දුටු තවත් එක් චරිතයක්. මාස 2 3 කට ඉහත මටම සිදුවූ සත්‍ය සිදුවීමකි. කොටින්ම කිව්වොත් t ෂර්ටය කණපිට ඇදන් ගියේ මම ය .... සත්‍ය සිදුවීමට වඩා කතාව ගොඩ නැගීමට මනක්ලිපිත සසිදුවීම් එක්කල අතර .... අයෙමත් රෙදි ඇදන් යා යුතු නිසා තවත් කොටස් ඉවත් කරන ලදී ...
10/01/2015
මම..
පුංචි කාලේ !
ශිෂ්‍යත්වෙට දන්නැතුවම දිව්වා.
ර්ට පස්සේ A 10 ක් පස්සේ දිව්වා..
පස්සේ කැම්පස් යන්න,
ර්ට පස්සේ මාස්ටර්ස්..
තව ටික දවසකින් ඩොක්ටරේට්..
ඒ අස්සේ අතරින් පතර,
විභාග, එසන්මන්ට්, පබ්ලිකේසන් and වයිවා
කන කට්ට තවත් කට්ටක් කලා..
ටිකක් හති වැටුනම පිටිපස්ස බැලුවා..
ගමන මගින් නවත්වපු උන්,
අද ලස්සන පර්මනන්ට් ජීවිත ගතකරනවා..
දැක්කම දුකයි ..හිතටත් බයයි..
අනාගතේ ෂුවර් නැති Temporary ජොබක් කරන
තාමත් හීන පස්සේ හති දාගෙන දුවන
මම ගැනම.
8/29/2015
මචන්....
එකෙක් මේ ලගදි අහනව
ඇයි බන් අයියා උඹ දැන් හරි වෙනස් වෙලානෙ.
මොකෝ කේස් එක කියලා
මම උට කිවුව
පිස්සුද බන් මල්ලි එහෙම එකක් නෑ කියල
ඒ පාර මේ යකා කියනව
ඉස්සර හිටපු මාටියා අයිය නෙවෙයි දැන් ඉන්නෙ
මොකක් හරි වෙනසක් තියනව කියල
බෙරෙන්නම බැරි තැන ඔන්න ඔහෙ කියල
මම පොරට කිවුවා මෙහෙම
ප්‍රශ්න මල්ලි ප්‍රශ්න.
බුවත් පාස් අවුට් වෙලා හිටපු එක හොදට ගියා
බුවාට හ්ම්ම්ම්........... කියවුනා
හිතපන් නිකමට වත් මම ඒ කතාව
අවුට් උනේ නැති ජුන්නෙක්ට කිවුව නම්
ඌ තාම මට හිනා වෙනවා
අනේ දාස් ගනන් පඩි ගන්න මුන්ට තව ප්‍රස්න කියල
ඈ බන් මචන්, පවු නේද බන් ඕකුන්....?
ඇයි බන් අයියා උඹ දැන් හරි වෙනස් වෙලානෙ.
මොකෝ කේස් එක කියලා
මම උට කිවුව
පිස්සුද බන් මල්ලි එහෙම එකක් නෑ කියල
ඒ පාර මේ යකා කියනව
ඉස්සර හිටපු මාටියා අයිය නෙවෙයි දැන් ඉන්නෙ
මොකක් හරි වෙනසක් තියනව කියල
බෙරෙන්නම බැරි තැන ඔන්න ඔහෙ කියල
මම පොරට කිවුවා මෙහෙම
ප්‍රශ්න මල්ලි ප්‍රශ්න.
බුවත් පාස් අවුට් වෙලා හිටපු එක හොදට ගියා
බුවාට හ්ම්ම්ම්........... කියවුනා
හිතපන් නිකමට වත් මම ඒ කතාව
අවුට් උනේ නැති ජුන්නෙක්ට කිවුව නම්
ඌ තාම මට හිනා වෙනවා
අනේ දාස් ගනන් පඩි ගන්න මුන්ට තව ප්‍රස්න කියල
ඈ බන් මචන්, පවු නේද බන් ඕකුන්....?
8/20/2015
මාතෘකාවක් නැත.
නිදා
සිටින්නට
බැරිම
තැන
අවදි
වුනෙමි
ඒත් සිහිනය
සැබෑවට
වඩා
සොදුරැ බව
වැටහුනු
විට
නැවත
දෑස්
පියා ගතිමි
ඒහෙත් දැන්
නින්දත් , සිහිනයත්
දෙකම
යන්නට
ගිහින්.
7/29/2015
***...... අයියො අදත් ඇණ ......***
මොනවද අම්මේ අකුරු ජාතියක්
පේපර් වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා හදන්නේ
x y ඔක්කොම කලවම් කරලා
පුතා දන්නෙ නෑ මිඩ් එක කාලෙට
ෆෑකල්ටියේ හරි වැඩ කෙරෙතී
ඩෙඩ් වීක් උන් කුප්පි දමද්දි
ෆෑකල්ටියේ පේපර් හදතී
මේවට උත්තර කොහොම ලියන්නද
කොහොමද මෙවා විසදන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ලූප් එකේ මේ ඉෆ් එල්ස් එක් කර
දිගට දිගේ ඇත පේපරයේ
ඒවායින් මේ සබ්ජෙට් ඇණ වෙයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ අම්මෙ අර අනිත් ළමයි නම්
හෝ හෝ ගා මොනවද ලියති
උන් දන්නව ඇති පේපර් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
ලෙක්චස් වල හරි වැඩ කෙරෙති
එක එක තාලෙට කියන කියන දේ
පේපර් වල තව තව ලියැවේ
බිම බැලුවත් x උඩ බැලුවත් x
නෙස්ටඩ් ලූප් හැමතැන ඇත්තේ
සෑමදාම අපිටම මෙහෙමම වෙන්නේ
විභාග දවසට හොදටම ඇඬිලා
ෆැකල්ටියේ හැම එක්සෑම් කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
කොල්ලන් වාගෙම කෙල්ලන් වාගෙම
සර්ලටත් දුක හිතෙයි පුතේ .........
- 11 ජුණ්ඩයියා -
6/23/2015
නිදිකුම්බා...............෴
නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින්
ළඟට කැන්දා...
බලා හිඳිමි දෑස අයා නෙළනු
කොහොම මන්දා...
කොමළ වතේ පහස දැනෙන විට
හැංගෙන හින්දා...
දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින්
මං වින්දා...
.
.
.
.
.
බයිසන් - 10
ඡායාරූපය : බයිසන් 10
6/01/2015
ආගන්තුකයාගේ ප්‍රේමය
"ආදරෙත් හරි පුදුමාකාර දෙයක් සයිලස්."
ඔහු පැවසුවේ වසර ගණනක් හඳුනන යාලුවෙක් වගේ. පැයකට කලින් බීර වීදුරුවක් තොල ගාමින් හමුවූ ආගන්තුකයා...
මට තාම හොඳින් මතකයි ඇය දුටු මුල් දිනය. අම්මා කතා කරනකොට දොර රෙද්දෙන් ලැජ්ජාවෙන් එබිලා බලපු ඒ පුංචි කෙල්ල. එයාගේ මූන රතු උනු විදිය මට මතකයි. ඒත් හරිම දඟකාරයි. කාලයක් ගතවෙද්දි අපි දැන අඳුර ගත්තත්, එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ. ඒ ලැජ්ජාවට, ඒ හුරතලේට මං එදා ඉඳලම ගොඩක් ආසා උනා. කාලෙත් එක්ක ඒ සුන්දර රූපේ මට මගේ කරගන්ඩ ඕනා උනා. හැබැයි ඒ ආත්මාර්තකාමී හැඟීමක් සයිලස්.
නැවත බීර වීදුරුව අතට ගත් ඔහුගෙ දෑස අර්මුණකින් තොරව යොමුව තිබුනි. මැදිවියත් ලංකල ඔහුගේ වයස හතලිහක්වත් ඇති, මං හිතුවා.
මං ඈට මුලින්ම ආදරය ප්‍රකාශ කරද්දි, මගේ හිතේ ආදරයක් තිබුනා කියලා මට හිතෙන් නෑ. මට ඕනා උනේ ඈ මගේ කරගන්ඩ. ඒ ආත්මාර්තකාමී හැඟීම ආදරයක් විදියට මං පිටකලා. මුලින් පිළිනොගත්තත්, ටික දවසකින් ඇයත් කැමති උනා. ඒ ඇගේ කුළුඳුල් ආදරය. ඇගේ හිතට ඒක කොයි විදිහට බලපෑවද කියලා මං දන්නේ නෑ. ඒත් ඈ මගේ උනාම මං සතුටු උනා.
ඔහුගේ දෑස දෙස මං නිහඬවම බලා සිටියා. අතීත මතකවල සතුට අතරේ ඒ දෑස අතරමං වෙලා.
ඇයත් එක්ක ගත කරපු ඒ කාලේ හරිම සුන්දරයි සයිලස්. ඒ වගේ හුරතල් දඟකාරකමක්. අපිට හමුවෙන්ඩ ලැබුනෙත් ඉතා කලාතුරකින්. ඒත් ඒ කතාකරන ඇස්දෙක, ඒ දඟකාර කෙහෙරැල්ල, ඈ ලඟින් හැමවිටම හමපු ඒ ආදරණීය සුවඳ. මට අදටත් දැනෙනවා. ඒත් මං ඒ හැමදෙයක්ම නැතිකරගත්තා.
ඔහු නැවත එලඹුනේ දිගු නිහඬතාවයකටයි. ඔහුගේ මුහුණින් දිස්වූයේ දුකක් නොව ශාන්ත ගතියකි. ඔහු කතාව පටන් ගන්න තුරු මං බලන් හිටියා.
උඹටත් මෙහෙම දැනිලා තියනවද සයිලස්. දෙයක් ලබාගන්ඩ කලින් අපි ඒකට කොච්චර ආස කරනවද, ඒක ලබාගන්ඩ කොච්චර බලාපොරොත්තු තියාගන්නවද. ඒත් ඒ දේ ලැබුනාම අපිට ටික ටික අගයක් නැති වෙනවා. ඒක මගේවත් උඹෙවත් වැරැද්ද නෙවෙයි සයිලස්. ඒක තමයි මිනිස් සොබාවය. ඒක අපිට නැතිඋනාම අපි ආයෙත් ඒකට ආදරේ කරනවා.
ඔහුගේ මුහුනේ වූයේ මඳ සිනහවකි.
"ඒ කෙල්ල අහිමි උනානම් නුඹ කොහොමද සතුටු වෙන්නෙ?" මම හඬ අවදි කළා.
මං ඒ විරහවට ආදරේ කලා සයිලස්. ඒ දුක මගේ හිතට සතුට ගෙනාවා. උඹ මේ විදියට හිතලා තියනවද. දුකක් අපිට විඳවන්ඩ පුලුවන්, නැත්නම් විඳින්ඩ පුලුවන්. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං ආදරය කරා. ඒ ආදරය ඇතුලේ මට ඈ හිමිකරගැනීමේ ඕනකමක් නෑ. ඇය මගේ විය යුතුයි කියලා මට හිතෙන් නෑ. මගේ විරහවේ ආදරය තුල ආත්මාර්තයක් නැතිවුනා.
"ඇය නුඹට හිමිකරගන්ඩ බැරිඋනා. ඒ වගේ ආදරයකින් ඇති පලේ මොකක්ද?"
සැබෑ ආදරයට හිමිකරගැනීමක් අත්යවශ්‍ය නෑ සයිලස්. සැබෑ ආදරය තුල ආත්මාර්තයක් නෑ. උඹට හිතෙනවද මං බොලඳයි කියලා. ඒත් ඒ බොලඳ සිතුවිලි අතරේ සැබෑ ආදරයක් උඹ දකින්නේ නැද්ද? මං මලකට ආදරය කලා සයිලස්. ඒ වර්ණවත් සිනිඳු පෙති වලට, ඒ හිත හිරිවට්ටපු සුවඳට. ඒ මලට පෙම් බැඳපු බඹරා මම. ඒත් ඒ මල නෙලාගන්ඩ මට උවමනා නෑ. මල විනාශ කරලා මලේ සුවඳ නැති කරන්ඩ මං සූදානම් නෑ. ඒ සුවඳ, ඒ සිනිඳු පෙති මතකයේ පුරෝගන මං පිටවුනා. මලෙන් පල ඇතිඋනාද, පෙති හැලුනද කියලා මං හෙව්වේ නෑ සයිලස්. එහි සුවඳ වින්දේ කව්ද කියලා මං දන්නේ නෑ.
"ඉතින් ඒ ආදරය නැති උනාට නුඹට දුක නැද්ද?"
මට දුකක් දැනෙනවා ඇති. ඒ විරහව ඇතුලේ හිරවෙච්චි කඳුලකුත් ඇති. ඒත් ඒ මතකය මාව සනසනවා. උඹට තේරෙනවද. අදටත් මං ඒ මලට ආදරෙයි. ඒක ඉතාම පිවිතුරු හැඟීමක් පමණයි. ඒ වින්දනීය විරහවට, ඒ ආදරණීය මතකයන්ට මං හැමදාම ආදරේ කරාවි.
පුදුම නිවුනු බවක් මං ඔහුගේ මුහුනේ දැක්කා.
"ආදරේ හරි පුදුමාකාර දෙයක් සයිලස්."
5/25/2015
කවියට කවියක්....................
ඇසිල්ලක් පාසා
කවියටයි හිත ආසා
නැතත් රස බාසා
එයින් වේවිද කුමන දෝසා
විරිත මත යතිය
රැකලම බොහොම හතිය
හුරු පුරුදු ගතිය
අතැර දැමුමට සිතක් නැතිය
සොඳුරු පද පාවී
හිත අද්දරට ඒවී
තවත් රස වේවී
නුඹේ සවනත සොයා ඒවී
දුක කඳුළ සින්දා
පාළුව තනිය බින්දා
කවිය නුඹ හින්දා
මමත් සැනසුම් සුවය වින්දා
.
.
.
.
.
චාලි - 11
5/16/2015
තුන් ඈදුණු කතාවක් ~අවසන් කොටස ~ බණ්ඩාරගේ ගේ කතාව
එකිනෙක බැදුණු කථා තුනක තුන්වැන්න(අවසන් කොටස)
පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව
දෙවන කොටස තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව
අත වූ ටෙලිග්‍රෑම් කඩදහිය කුසුමා අතට දෙමින් ඒකනායක මාමා ලී පුටුවට බර වුනි. ඇත්තෙන්ම මනුස්සයෙක්ට මෙච්චර කරදර වෙන්න පුළුවන්ද යයි මාමාට සිතුනි.
"ඒකනායක මල්ලිට කියන්න ඇත්තටම මල්ලි සතුටයි දුකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. දෙකම හැම වෙලේම තියන්නේ බොහොම ලගින් එත් එක පාරකට පෙන්නේ එන්නේ එක්කෙනයි".
අතීතයේ දවසක කැන්ටිමේ ප්ලේන්ටියක් බොන ගමන් ඉතුරු ලැබුණු රුපියලේ කාසිය පෙන්වමින් බණ්ඩාර කියනවා මාමාට මතකය. බණ්ඩාරගේ ගම්පලාත නුවර කිට්ටුවය.
"අපි සිංහල රාජවන්සයේ ඈයෝ....".
බණ්ඩාර නිතර කියයි. කෙතරම් හිත හොද මිනිහෙකු වුවද බණ්ඩාරගේ මෙම රජවංස කතාව අනෙක් උදවියට එතරම් දිරවන්නක් නොවීය.
එත් හැමොගෙම් ජීවිත කණපිට පෙරලුනු අසුවේ ජුලි මාසයේ ඒකනායක මාමාට අත්වූ ඉරණම බන්ඩාරටද අත්විය. ඔහුගේ රැකියාව අහිමි වනවිට බණ්ඩාරගේ වැඩිමහල් පුතු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.
"ඉඩම් විකුණලා හරි මල්ලි කොල්ලට උගන්වනවා..... උගේ ආසාව දොස්තර මහත්තයෙක් වෙන්න...."
බණ්ඩාර කිවේ තමුන්ගේ පුත්‍රයා ඉහලින් සාමාන්‍ය පෙළ සමත් වූ දිනය. රස්සාව නොමැති වුවත් ඔහු යලිත් ඉක්මනට තමුන්ට රස්සාව ලැබෙතැයි බලා සිටියේය. යලිත් නුවර තම ගම්පලාතට ගිය බණ්ඩාර ගැන මතකය කෙමෙන් කෙමින් ඒකනායක මාමගේ සිතෙන් ඇත් වන්නට විය.
එහෙත් එකතරා හැන්දෑවක හදිසියේම මාමගේ නිවසට බණ්ඩාර පැමිණියේය. ඔහු වැහැරී ගොසිනි. ඇද සිටී අදුමද බෙහෙවින් කිළුටු වී තිබුණි. මුහුණේ දැඩි රැවුලක් මෙන්ම දිගට අපිලිවට වැවී තිබුණි කොණ්ඩය බණ්ඩාරගේ පෙර තිබුණු පෙනුම වෙනස් කර තිබුණි. දින ගණනකින් නින්ද ඔහු අසලටවත් පැමිණ නැති බව මාමාට සිතිනි.
"එකනායක මල්ලි පුතා අතුරුදහන් වෙලා දැන් මාස ගානක් වෙනවා මම රට වටේම හෙව්වා කිසිම ආරංචියක් නැහැ".
ඒ බණ්ඩාරගේ අදොනාවයි. කිසිදාක නොසැලුණු මේ අභිමානවත් මිනිසාගේ දෑස් කදුලින් පිරී යනු මාමා බලාසිටියේය. බණ්ඩාරගේ පුතා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වුයේ මනහුවර දිත්රික්කයෙන්ම ඉහලින් සමත් වෙමිනි.
විශ්ව විද්යාල ඇතුලත්වීමේ සහතිකය මරණ සහතිකය වූ සමයක භීෂණයේ සෙවනැලි බණ්ඩාරලාගේ පුතුන්ගේ ජීවිත මතටද වැටී තිබුණි. ඒකනායක මමද බණ්ඩාර සමග හමුදා කදවුරු ගානේ ගියේය. හමු නොවූනු දේශපාලන නායකයෙකු නොමැත. එහෙත් කිසිවෙකුත් පුත්‍රයා ගැන කිසිවක් නොදනියි. යනෙන සෑම ගමනකදීම බණ්ඩාර බසයේ වීදුරු කවුළුවෙන් හිස එලියට දමාගෙන මහමග දැවෙන තරුණ මලකදන් අතර තමන්ගේ පුත්‍ර යා ගේ මුහුණ සෙවීය.
"ඒකනායක මල්ලි එක්කෝ මුන් පුතාව මැරුවත් කමක් නැහැ දස වද දිදී තියාගෙන ඉන්නේ නැතුව..." මරණය රජ කරන සමයක ආදරණීය පියෙකුට වුවද තම පුත්‍රයාගේ මල සිරුර දැකීම එක්තරා ආකාරයක සැනසීමක් බවට පත්කර තිබුණි. ඔහු සිය පුත්‍රයාගේ ඉරණම දනී මාමාට සිතේ .
මාමාට අවසන් වරට බණ්ඩාර හමුවූයේ පසුගිය සතියේ බණ්ඩාර ගේ පුත්‍රයාගේ අවසන් කටයුතු කරන දිනයේය. බණ්ඩාරගේ සිහි විකල් වී තිබුණි. පුතුගේ දේහය වත් දැක බලාගැනීමට කිසිවෙකුටත් නොහැකිවන තරමට මෘගයන් අතින් විනාස වී තිබුණි. මහවැලි ගහේ පාවෙමින් තිබුණු අඩක් පිළිස්සුනු සිරුර හදුනා ගත්තේ බණ්ඩාර විසින්මය.
"පව් අසරණය" ටෙලිග්‍රෑමය කියවූ කුසුම කියන්නට වුනි.
"දැන් අපේ මහත්තය කවදද නුවර යන්නේ". අසන්නේ කුසුමාය.
" කොචිචියට පැනපු නිසා වැඩි කල් තියාගන්න එකක් නැහැ හෙටම අවසන් කටයුතු කරයි හෙට උදෙන්ම යන්න ඕන". ඒකනායක මාමා සිය මිතුරාගේ මළගමට යාමට සැරසුණි.
~ තුන් ඈදුණු කතාවක් පසුවදන~
(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින් තමුන්ගේ අයිතීන් වෙනුවෙන් කල උද්ගෝෂණයට පොලිස් බාධාකිරීම dailymirror.com/infolanka.com)
2012 අගෝස්තු 12 වෙනිදින "80 ජුලි වර්ජකයින්" කල උද්ඝෝෂණයකට පොලිසිය විසින් කල පහරදීම තුන් ඈදුණු කතාවක නිමිත්ත විය(ඒකනායක මාමා ගේ කතාව 2013-04-11).
එහි ගොනු වූ ඉතිරි චරිත දෙක රාමචන්ද්‍රන්( රාමචන්ද්‍රන්ගේ කතාව 2013-09-15) හා බණ්ඩාර, 80 දශකය තුල මිනිසුන්ගේ ජීවිත ගැන අපි අසා ඇති පරිදි ගොඩ නැගු චරිතය.
"80 වර්ජනයෙන් රැකියා අහිමි වූ හා එම වර්ජනයේ මහා වීරයන් රටේ පාලකයන් වූ ආණ්ඩුවෙන් කදුළු ගැස් කාපු, හැමදාම තැලෙන අපිදන්නා හදුනන හා නොදත් ඒකනායක මාමලා නොකියාම නික්ම ගිය රාමචන්ද්‍රන්ල, බණ්ඩාරලා වෙනුවෙන් .........."
සුභාෂ් (08_ඔටුවා)
පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව
දෙවන කොටස තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව
අත වූ ටෙලිග්‍රෑම් කඩදහිය කුසුමා අතට දෙමින් ඒකනායක මාමා ලී පුටුවට බර වුනි. ඇත්තෙන්ම මනුස්සයෙක්ට මෙච්චර කරදර වෙන්න පුළුවන්ද යයි මාමාට සිතුනි.
"ඒකනායක මල්ලිට කියන්න ඇත්තටම මල්ලි සතුටයි දුකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. දෙකම හැම වෙලේම තියන්නේ බොහොම ලගින් එත් එක පාරකට පෙන්නේ එන්නේ එක්කෙනයි".
අතීතයේ දවසක කැන්ටිමේ ප්ලේන්ටියක් බොන ගමන් ඉතුරු ලැබුණු රුපියලේ කාසිය පෙන්වමින් බණ්ඩාර කියනවා මාමාට මතකය. බණ්ඩාරගේ ගම්පලාත නුවර කිට්ටුවය.
"අපි සිංහල රාජවන්සයේ ඈයෝ....".
බණ්ඩාර නිතර කියයි. කෙතරම් හිත හොද මිනිහෙකු වුවද බණ්ඩාරගේ මෙම රජවංස කතාව අනෙක් උදවියට එතරම් දිරවන්නක් නොවීය.
එත් හැමොගෙම් ජීවිත කණපිට පෙරලුනු අසුවේ ජුලි මාසයේ ඒකනායක මාමාට අත්වූ ඉරණම බන්ඩාරටද අත්විය. ඔහුගේ රැකියාව අහිමි වනවිට බණ්ඩාරගේ වැඩිමහල් පුතු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.
"ඉඩම් විකුණලා හරි මල්ලි කොල්ලට උගන්වනවා..... උගේ ආසාව දොස්තර මහත්තයෙක් වෙන්න...."
බණ්ඩාර කිවේ තමුන්ගේ පුත්‍රයා ඉහලින් සාමාන්‍ය පෙළ සමත් වූ දිනය. රස්සාව නොමැති වුවත් ඔහු යලිත් ඉක්මනට තමුන්ට රස්සාව ලැබෙතැයි බලා සිටියේය. යලිත් නුවර තම ගම්පලාතට ගිය බණ්ඩාර ගැන මතකය කෙමෙන් කෙමින් ඒකනායක මාමගේ සිතෙන් ඇත් වන්නට විය.
එහෙත් එකතරා හැන්දෑවක හදිසියේම මාමගේ නිවසට බණ්ඩාර පැමිණියේය. ඔහු වැහැරී ගොසිනි. ඇද සිටී අදුමද බෙහෙවින් කිළුටු වී තිබුණි. මුහුණේ දැඩි රැවුලක් මෙන්ම දිගට අපිලිවට වැවී තිබුණි කොණ්ඩය බණ්ඩාරගේ පෙර තිබුණු පෙනුම වෙනස් කර තිබුණි. දින ගණනකින් නින්ද ඔහු අසලටවත් පැමිණ නැති බව මාමාට සිතිනි.
"එකනායක මල්ලි පුතා අතුරුදහන් වෙලා දැන් මාස ගානක් වෙනවා මම රට වටේම හෙව්වා කිසිම ආරංචියක් නැහැ".
ඒ බණ්ඩාරගේ අදොනාවයි. කිසිදාක නොසැලුණු මේ අභිමානවත් මිනිසාගේ දෑස් කදුලින් පිරී යනු මාමා බලාසිටියේය. බණ්ඩාරගේ පුතා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වුයේ මනහුවර දිත්රික්කයෙන්ම ඉහලින් සමත් වෙමිනි.
විශ්ව විද්යාල ඇතුලත්වීමේ සහතිකය මරණ සහතිකය වූ සමයක භීෂණයේ සෙවනැලි බණ්ඩාරලාගේ පුතුන්ගේ ජීවිත මතටද වැටී තිබුණි. ඒකනායක මමද බණ්ඩාර සමග හමුදා කදවුරු ගානේ ගියේය. හමු නොවූනු දේශපාලන නායකයෙකු නොමැත. එහෙත් කිසිවෙකුත් පුත්‍රයා ගැන කිසිවක් නොදනියි. යනෙන සෑම ගමනකදීම බණ්ඩාර බසයේ වීදුරු කවුළුවෙන් හිස එලියට දමාගෙන මහමග දැවෙන තරුණ මලකදන් අතර තමන්ගේ පුත්‍ර යා ගේ මුහුණ සෙවීය.
"ඒකනායක මල්ලි එක්කෝ මුන් පුතාව මැරුවත් කමක් නැහැ දස වද දිදී තියාගෙන ඉන්නේ නැතුව..." මරණය රජ කරන සමයක ආදරණීය පියෙකුට වුවද තම පුත්‍රයාගේ මල සිරුර දැකීම එක්තරා ආකාරයක සැනසීමක් බවට පත්කර තිබුණි. ඔහු සිය පුත්‍රයාගේ ඉරණම දනී මාමාට සිතේ .
මාමාට අවසන් වරට බණ්ඩාර හමුවූයේ පසුගිය සතියේ බණ්ඩාර ගේ පුත්‍රයාගේ අවසන් කටයුතු කරන දිනයේය. බණ්ඩාරගේ සිහි විකල් වී තිබුණි. පුතුගේ දේහය වත් දැක බලාගැනීමට කිසිවෙකුටත් නොහැකිවන තරමට මෘගයන් අතින් විනාස වී තිබුණි. මහවැලි ගහේ පාවෙමින් තිබුණු අඩක් පිළිස්සුනු සිරුර හදුනා ගත්තේ බණ්ඩාර විසින්මය.
"පව් අසරණය" ටෙලිග්‍රෑමය කියවූ කුසුම කියන්නට වුනි.
"දැන් අපේ මහත්තය කවදද නුවර යන්නේ". අසන්නේ කුසුමාය.
" කොචිචියට පැනපු නිසා වැඩි කල් තියාගන්න එකක් නැහැ හෙටම අවසන් කටයුතු කරයි හෙට උදෙන්ම යන්න ඕන". ඒකනායක මාමා සිය මිතුරාගේ මළගමට යාමට සැරසුණි.
~ තුන් ඈදුණු කතාවක් පසුවදන~
(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින් තමුන්ගේ අයිතීන් වෙනුවෙන් කල උද්ගෝෂණයට පොලිස් බාධාකිරීම dailymirror.com/infolanka.com)
2012 අගෝස්තු 12 වෙනිදින "80 ජුලි වර්ජකයින්" කල උද්ඝෝෂණයකට පොලිසිය විසින් කල පහරදීම තුන් ඈදුණු කතාවක නිමිත්ත විය(ඒකනායක මාමා ගේ කතාව 2013-04-11).
එහි ගොනු වූ ඉතිරි චරිත දෙක රාමචන්ද්‍රන්( රාමචන්ද්‍රන්ගේ කතාව 2013-09-15) හා බණ්ඩාර, 80 දශකය තුල මිනිසුන්ගේ ජීවිත ගැන අපි අසා ඇති පරිදි ගොඩ නැගු චරිතය.
"80 වර්ජනයෙන් රැකියා අහිමි වූ හා එම වර්ජනයේ මහා වීරයන් රටේ පාලකයන් වූ ආණ්ඩුවෙන් කදුළු ගැස් කාපු, හැමදාම තැලෙන අපිදන්නා හදුනන හා නොදත් ඒකනායක මාමලා නොකියාම නික්ම ගිය රාමචන්ද්‍රන්ල, බණ්ඩාරලා වෙනුවෙන් .........."
සුභාෂ් (08_ඔටුවා)
5/15/2015
මගේ හීනෙට නුඹ ඇවිදින්....
බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. වෙලාවක් නෑ කියලා බොරු කියන්ඩ ඕනේ නෑනේ. හිත එකලාසයක් නැතුව.
මං සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලියපු කවියක් ආයෙමත් දාන්ඩ හිතුනා. මේවා කියවද්දි මතක් වෙනවා අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා....
අද වාගේ මතකයි
මට අත් පටලං දෙවැට දිගේ
දුව පැන ඇවිදපු අන්දම්
අපෙ බාලේ මගේ නගෝ...
ඒ සුලඟට ගහගන ආ
හිරිමල් වයසේ හැඟුමන්
කිතිකැව්වා අප හිත් පොඩි
අනංග හී සර විදිමින්...
ඒ උනාට නුඹව නොදැක
ඉන්නේ කෝම මාත් නගෝ
මගේ හීනෙට නුඹ ආවේ
කියන්නදෝ නුඹේ ආලේ...
මං සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලියපු කවියක් ආයෙමත් දාන්ඩ හිතුනා. මේවා කියවද්දි මතක් වෙනවා අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා....
අද වාගේ මතකයි
මට අත් පටලං දෙවැට දිගේ
දුව පැන ඇවිදපු අන්දම්
අපෙ බාලේ මගේ නගෝ...
සීත ඉමේ සැපට හැදුනු
පොප්ලර් ගස් දෙකක් වගේ
ජීවන සුලඟේ වෙලෙමින්
පියමැන ආ මඟ මතකයි...
ඒ සුලඟට ගහගන ආ
හිරිමල් වයසේ හැඟුමන්
කිතිකැව්වා අප හිත් පොඩි
අනංග හී සර විදිමින්...
නුඹ දාලා සිදාදියට
අකුරු කරන්නට ආවත්
මං දාලා ගම අතහැර
නුඹ ගියේ නෑ මගේ නගෝ...
ඒ උනාට නුඹව නොදැක
ඉන්නේ කෝම මාත් නගෝ
මගේ හීනෙට නුඹ ආවේ
කියන්නදෝ නුඹේ ආලේ...
සිදාදියේ ගැටිස්සියන්
පෑවත් දහසක් ඉඟිබිඟි
අමතක නෑ නඟේ උඹව
මං එනවා නුඹ බලන්ඩ...
පරා '06
5/12/2015
|| ඔවුහු ||
"අමතක කරල දාන්න"
ඔවුහු ඈට කීහ.
ඔවුහු ඈට කීහ.
"අමතක කරල දාපං බං"
ඔවුහු ඔහුටද කීහ.
"වැඩක් නෑ"
"තේරුමක් නෑ"
"ගිය දේ ගියා"
"වෙන අතක් බලාගන්න"
ඔවුහු කීහ.
"ඕවා ඔහොම තමයි"
"මොනවා කරන්නද"
"මිනිස්සුන්ට තමයි හැම දේම"
ඔවුහු නැවතත් කීහ.
"උදව්වක් කරන්න පුළුවන්ද"
ඈ ඇසුවා ය.
"ඔව් කියන්න"
ඔහු කීය.
ඔවුහු නොකීහ.
.
.
.
මල් සූටික්කි - 12
4/04/2015
(පස)මිතුරු෴
මහ ලොකු නිල් දාහේ කොලේ
උඹ නම් මහ හරිම එකෙක්
ලස්සන රස කෑම තියන
පාට පාට හෝටලයට
ලස්සන පාටින් දිලිසෙන
ඇදුම් තියෙන සාප්පුවට
මම ඉන්නවා ඔයත් එක්ක
යමුයි කියලා මා පොලඹන්
මාව ඇදන්
එක්ක ගිහින්
ගනින් ගනින්
මේක ගනින්
අන්තිමේදි
උඹ මෙතනින්
හෙමින් සැරේ
මුදලාලිගේ
සාක්කුවට
පැනලා ගිහින්
අර බලපන් දහයෙ කොලේ
මුදලාලිගේ සාක්කුවෙන්
හෙමින් සැරේ මා ගාවට
දහය හොදයි
කඩවල් දෙස ගෙන යන්නෑ
ගෙන ගොස් මා හැර යන්නෑ
යාචකයොත් එපා කියයි
දහය හොදයි
උඹ හිටපන් මාත් එක්ක
ජන්තු - 09
3/27/2015
ලෙසා දොරගුලු රන්දා වසා හදවත ඉන්නෙ කිම්දා........
සුපුන් සිසි වත විලසි
මහද ගගනත සදිසි
නැතුව කිංකිණි මල් වැසි
තවත් මොහොතක් මහද ඉවසි
අසූ කෙළ කප් සුවහස
දකිනු රිසි මල් මදහස
බොමුද වන මල් මී රස
වඩිනු හද වෙත සුවඳ මල් ඉස
බැඳුනු දිය පෙඳ පාසි
කඩිත්තක අඳුරින් වැසි
නොගැටි බඹරිඳු ඇස දිසි
සහස්පත සොඳ පිපුණු විලසි
නිසා පෙම මම බන්දා
රසා නැත් නිම් නන්දා
ලෙසා දොරගුලු රන්දා
වසා හදවත ඉන්නෙ කිම්දා
.
.
3/25/2015
පාළුව.....
තනි වෙලා ඈ ගොළු වෙලා
පාළුවේ ඈ සිර වෙලා
දෑස් හැඬුමෙන් රතු වෙලා
දෙතොල් ඇත ඇගෙ වියළිලා
පුර හඳක් වන් ඇය එදා
අමාවක දැන් රජ වෙලා
අඳුර දෑසට හුරු වෙලා
තනිය ඈ ළඟ නැවතිලා
වේදනාවෙහි කිමිදිලා
පිහින යයි ඈ සොය සොයා
සැනසුමක් නොම දුටු නිසා
පතුලෙහිම ඈ සැඟවුනා
දැනෙන නෙක විද වේදනා
සඟවමින් ලැබ චෝදනා
ගියා ඈ වෙන්වෙලා
මුතු අහුරු වෙරළට එවා
පාළුවේ ඈ සිර වෙලා
දෑස් හැඬුමෙන් රතු වෙලා
දෙතොල් ඇත ඇගෙ වියළිලා
පුර හඳක් වන් ඇය එදා
අමාවක දැන් රජ වෙලා
අඳුර දෑසට හුරු වෙලා
තනිය ඈ ළඟ නැවතිලා
වේදනාවෙහි කිමිදිලා
පිහින යයි ඈ සොය සොයා
සැනසුමක් නොම දුටු නිසා
පතුලෙහිම ඈ සැඟවුනා
දැනෙන නෙක විද වේදනා
සඟවමින් ලැබ චෝදනා
ගියා ඈ වෙන්වෙලා
මුතු අහුරු වෙරළට එවා
........
.
.
මල් සූටික්කි - 12
3/20/2015
සසර කිම........?
එතරක් නැති සාගරයක්ද
හොඳින් රැවටී ලුහුබඳින මිරිඟුවක්ද
දිය පොදක් නැති කතරක්ද
නැතහොත්
කිසිදාක එකිනෙක හමු නොවෙන
රේල් පීලි යුගලක්ද......
හෙට ලොව ජය ගනිම්හයි කියුවද
ලොවත් මාත්
විටෙක එකම ප්‍රවේගයෙන්
විටෙක අඩු වැඩි වේගයන්ගෙන්
එකම සමාන්තර රේඛා පද්ධතියක
දුවන තවත්
එක්තරා ලක්ෂ්‍ය දෙකක් පමණි......
.
.
සැවැන්දරී - 12
3/18/2015
මගෙ නොවන සකි සඳ.....
මගේ නොවන සකි සඳ
අසාපන් රන් කඳ
අර දිලෙන පුන් සඳ
වගෙයි නුඹ පෙම් සඳ..
සිහිල දෙන පුන් සඳ
මිලින යන රෑ සඳ
අමාවකව ද අද
කියාපන් රන් කඳ..
දරන්නට දුක් කඳ
නුහුරු මගේ මල් හද
තලා මල් කෙමි සිඳ
නොයන් මගේ රන් කඳ..
.
.
හිනාමලී - 10
වගෙයි නුඹ පෙම් සඳ..
සිහිල දෙන පුන් සඳ
මිලින යන රෑ සඳ
අමාවකව ද අද
කියාපන් රන් කඳ..
දරන්නට දුක් කඳ
නුහුරු මගේ මල් හද
තලා මල් කෙමි සිඳ
නොයන් මගේ රන් කඳ..
.
.
හිනාමලී - 10
12/26/2014
සයිබර් විරුවෝ

උදේම නැගිටලා
මැසින් එක ඹන් කරලා
තරුණ දේශප්‍රේමියන්
රජෙක් හදන්නට පෙලගැසිලා
විරුද්ධ අදහසක් දුටු තැන
දේශ අනුරාගයෙන් මත්ව
කී බොර්ඩ් එක රුගෙන
සටන් කරයි මතුරජ බේරා ගැනුමට
විධායක බල තල මොනාද?
දහතුන දහ අට මොකක්ද?
ඒ ගැන දැනුමක් ඕනැ නැත
අපේෂකයා වෙනුවෙන් සටන් කරනට
පවුල මිතුදම් පවා අමතක කර
අපේෂකයා වෙනුවෙන් දිවි කැප කොට
සටන් කරනා මේ සයිබර් විරුවන් දැක
ඇඩෙනව මට තනි ඇහැට වෙන වෙනම
දළබුවා‘9
12/02/2014
Colombo
අහසට බර මහ වැහි වැටෙනා සඳ
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…
නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…
කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...
කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…
නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…
කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...
කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
Subscribe to:
Posts (Atom)












